යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්තයේ ජය මාවත අහුරයි

4695
Sri Lanka President's XI v England lions practice match day 3 report

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නුදුරේදීම ආරම්භ වීමට නියමිත නිල නොවන ටෙස්ට් තරග දෙකටත්, එක්දින තරග පහටත් පූර්ව සූදානමක් වශයෙන් පැවැත්වුනු තුන්දින පුහුණු තරගය අද (14) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. විශේෂත්වය වන්නේ තරගයේ ප්‍රථම දිනයේ වාසිය මුළුමනින්ම එංගලන්ත ලයන්ස් පිළ සතු වූවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතිරි දින දෙකේදී අළු ගසා දමා නැවතත් විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණ වීමයි.

චන්ද්‍රගුප්තගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙනෙයි

ඊයේ දිනයේ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ තරුණ වේග පන්දු බල ඇණියට මුහුණ දිය හැකි ආකාරයක් සිතාගත නොහැකිව මංමුළා වුනු ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම මුහුණපා සිටියේ තරග පරාජයක දැඩි අවදානමකටයි…

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නිපුන් කරුණානායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිතිකරුවන් මුල් ඉනිමේදී ලකුණු 153කට සීමාවුනු අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ලයන්ස් කණ්ඩායම ලකුණු 279ක් රැස් කලේ තරගයේ ග්‍රහණය මුළුමනින්ම සියතට ගනිමිනි. නමුත් ඊයේ දිනයේදී තම දෙවැනි ඉනිම වෙනුවෙන් පිටිය මැදට පියමන් කල ශ්‍රී ලංකා පිතිකරුවෝ එකම වරද දෙවතාවක් සිදුවීමට ඉඩ නොතැබූහ. ඒ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වශයෙන් මොරටුව ද සොයිසා ලකුණු පුවරුවේ ලකුණු 324ක් සටහන් කරමිනි.

ඒ වෙනුවෙන් අගනා දායකත්වයක් සැපයූ වමත් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත හතරේ පහර 14ක් සමගින් ලකුණු 91ක් රැස් කළේය. ඔහු දමාදුන් අඩිතාලම ඔස්සේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගූ ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 72ක් රැස් කළේ පරාජයේ අඳුරු සෙවනැලි ශ්‍රී ලංකා පිළෙන් ඈතට ගෙන යමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ එක් හයේ පහරකින් අලංකාරවත් විය. මීට අමතරව හශාන් ප්‍රභාත්, කෞෂාල් සිල්වා සහ මලින්ද පුෂ්පකුමාර වැනි ක්‍රීඩකයින්ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට හැකි පමණින් දායක විය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සාර්ථකත්වය නිසා එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 199ක ඉලක්කයක් හිමිවිය. එය යථාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ඉතිරිව තිබුනු පන්දුවාර සංඛ්‍යාව සීමිත වූ බැවින් ඔවුන්ට එක්දින තරගයකට උචිත පිතිකරණ රටාවක් අනුගමනය කිරීම අනිවාර්ය විය. එය හොඳින් හිතේ තබාගත් එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් කිහිපදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. ආරම්භක පිතිකරු කීතන් ජෙනින්ග්ස් ඒ සඳහා මූලිකත්වය ගත් අතර, තරග ජයග්‍රහණය මෙන්ම සහෝදර පිතිකරුවන්ට ශ්‍රී ලංකාවේ නුපුරුදු තණතිලි වලට හුරුවීමට අවස්ථාවක් ලබාදීමද එකලෙස වැදගත් කොට සැලකූ ඔහු ලකුණු 49ක් ලබා සිටියදී පිටිය හැර ගියේය.

ඒ වනවිටත් තරග ජයග්‍රහණය කරා ක්‍රම ක්‍රමයෙන් ලඟා වෙමින් සිටි එංගලන්ත ලයන්ස් පිළ එක් අවස්ථාවකදී කඩුලු 3ක් දැවී ලකුණු 162ක් ලබාගෙන සිටියහ. නමුත් ශ්‍රී ලංකාව පරාජයේ මරු කටින් ගලවාගත් මලින්ද පුෂ්පකුමාර සහ තරිඳු කෞෂාල් එංගලන්ත මැදපෙළ කඩුලු එකින් එක බිඳ දැමුවේ ඔවුන්ට අදාළ ඉලක්කය කරා ලඟාවීමේ මාවත සම්පූර්ණයෙන්ම අහුරා දමමිනි. අංක 3 පිතිකරු නික් ගබින්ස් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 52ක් රැස් කලත් ඔහුගේ සහයට පිතිකරුවෙකු නොසිටීම නිසා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලෙස සටහන් විය.

මෙම පුහුණු තරගයේදී ද දක්ෂතා දැක්වූ රොන් චන්ද්‍රගුප්ත, මලින්ද පුෂ්පකුමාර වැනි ක්‍රීඩකයින් ද තවත් දේශීය පිටියේ දක්ෂයින් රැසක්ද ශ්‍රී ලංකා A සංචිතය සමගින් එක්වී ඇති නිසා ලබන 17 වැනිදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පළමු සිව්දින ටෙස්ට් තරගය පිලිබඳ සුබවාදී බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට දැන් අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 53.3): රොන් චන්ද්‍රගුප්ත 48, ඩිලාන් ජයලත් 26, තරිඳු කෞෂාල් 18*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 11, ටොම් හෙල්ම් 3/18, ටොම් කුරාන් 2/23, ක්‍රේග් ඕවර්ටන් 2/31.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 279 (පන්දුවාර 69.1): ටොම් වෙස්ට්ලි 95, ලියාම් ලිවින්ග්ස්ටන් 84, සෑම් කුරාන් 24, කීතන් ජෙනින්ග්ස් 13, මලින්ද පුෂ්පකුමාර 3/82, විමුක්ති පෙරේරා 2/27, නිසල තාරක 2/60, තරිඳු කෞෂාල් 2/59.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 324 (පන්දුවාර 100.5): රොන් චන්ද්‍රගුප්ත 91, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 72, ඉරෝෂ් සමරසූරිය 42, හෂාන් ප්‍රභාත් 42, තරිඳු කෞෂාල් 26, මලින්ද පුෂ්පකුමාර 20, ඔලී රේනර් 3/55, සෑම් කුරාන් 2/34, රෝලන්ඩ් ජෝන්ස් 1/10.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 171 (පන්දුවාර 37.1): නික් ගබින්ස් 52*, කීතන් ජෙනින්ග්ස් 49, හසීබ් හමීඩ් 39, ජෝ ක්ලාර්ක් 10, මලින්ද පුෂ්පකුමාර 3/35, තරිඳු කෞෂාල් 2/60.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න ක්‍රිකට් ක්‍රීඩා පිටුවට