ලහිරු තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

2582

දිනෙන් දින තරගකාරීත්වය වැඩි වන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ කැපී පෙණෙනම පිතිකරු වූයේ රාගම ක්‍රිකට් කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න ය.

28 හැවිරිදි මේ වමත් පිතිකරුවා අද තම පළමු පෙළ ක්‍රිකට් දිවියේ හොඳම පෞද්ගලික ඉනිම වාර්තා කළේය. ඒ නොදැවී ලකුණු 166ක් ලබා ගනිමිනි. ඔහුගේ ඉනිම පන්දු 258කින් සමන්විත වූ අතර අලංකාර හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඊට අයත් විය.

පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිස දස වැනි වසර ක්‍රීඩා කරන තිරිමාන්නගේ මීට කලින් පැවති හොඳම ඉනිම වී තිබුණේ ලකුණු 156යි. මෙම තරගය තිරිමාන්නගේ 99 වැනි පළමු පෙළ තරගයයි.

අකලංක සහ ලසිත්ගෙන් දක්ෂතා

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (05) ඇරඹි තරගවල දී සුවිශේෂී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම…

සී. සී. සී. සහ රාගම අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ සී. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 273ට පිළිතුරු ලෙසින් රාගම ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 345ක් ලබා ගත්හ. දිනය නිමා වන විට සී. සී. සී. ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ක්‍රීඩා කරමින් කඩුල්ලක් දැවී ලකුණු 43ක් ලබා සිටිති.

රාගම ඉනිමේ ලහිරු තිරිමාන්න රැස් කළ ශතකයට අමතරව ෂෙහාන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගත්තේය.

සී. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (62.1) රොන් චන්ද්‍රගුප්ත 24, අශාන් ප්‍රියන්ජන් 70, ලසිත් අබේරත්න 96, ලහිරු මධුශංක 33, මනෙල්ක ද සිල්වා 26, ඉෂාන් ජයරත්න 2/55, සහන් නානායක්කාර 3/78, නිශාන් පීරිස් 3/55

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (101.2) (පළමු දිනය නිමා වන විට පන්දු වාර 24.3ක දී කඩුලු 3ක් දැවී 63) ෂෙහාන් ප්‍රනාන්දු 79, ලහිරු තිරිමාන්න නොදැවී 166, සමීර ද සොයිසා 38,  ලහිරු මධුශංක 4/73, අශාන් ප්‍රියන්ජන් 3/49

සී. සී. සී; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 43 (11.0) ඩිල්ශාන් මුණවීර නොදැවී 29


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගය

පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ලබා ගත් ලකුණු 120ට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායම අද සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ප්‍රතිවාදීන් අභිබවා ගියේය.

වරාය අධිකාරිය වෙනුවෙන් ගිහාන් රූපසිංහ පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ 23 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන දිනුක් වික්‍රමනායක ලකුණු 42කට කඩුලු 6ක් දවා ගත්තේය.  

ලකුණු 113ක් පිටුපස සිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 257ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 144ක් ඉදිරියෙන් පසු වෙන්නේ කඩුලු 6ක් අතැතිවයි.

ටැමිල් යූනියන් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ තරංග පරණවිතාන ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.5) ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, චමින්ද බණ්ඩාර 2/34, අකලංක ගනේගම 5/35, චානක කොමසාරු 2/37

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (54.2) (පළමු දිනය නතර කරන විට පන්දු වාර 41.0ක දී කඩුලු 6ක් දැවී ලකුණු 169; එන්.ආර්.ඩී. කැම්ප්ටන් 56) ගයාන් මනීශාන් 43, ගිහාන් රූපසිංහ 89, දිනුක් වික්‍රමනායක 6/42

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 257 (74.0) සිතාර ගිම්හාන් 23, රමිත රඹුක්වැල්ල 41, තරංග පරණවිතාන 78, දිනුක් වික්‍රමනායක 30, ජීවන් මෙන්ඩිස් නොදැවී 38,  මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 40, මදුක ලියනපතිරණ 3/67

තරගයේ පළමු දිනය තුලම ගාලු ක්‍රිකට් සමාජයෙන් පෙරළියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග හතරක් අද (5) ආරම්භ විය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ එන්. සී. සී. අතර තරගය

එන්. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 224ට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 369ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී දකුණතින් පන්දුවට පහර දෙන 22 හැවිරිදි ඩිල්ශාන් ද සොයිසා තම ශතකය ලකුණු 3කින් අහිමි කර ගැනීමට සිදු වූයේ ඔහුගේ සහායට අනෙක් අන්තයෙන් කිසිවෙකුත් නොසිටීම හේතුවෙනි. ඔහුගේ ඉනිම පන්දු 208ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 97කි.  

තරගයේ දෙවැනි දිනය නිමා වන විට එන්. සී. සී. කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිටියේය.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (59.2) භානුක රාජපක්ෂ 29, ඇන්ජලෝ පෙරේරා 80, තරිඳු කෞෂාල් 30, නුවන් කරුණාරත්න 39, ජනිත් සිල්වා 2/27, නුවන් ලියනපතිරණ 3/40, ජනක සම්පත් 3/33

ශ්‍රී ලංකා යුද හමුදාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 369 (106.1) (පළමු දිනය නතර කරන විට පන්දු වාර 28.0ක දී කඩුලු 2ක් දැවී 92) ලක්ෂිත මධුශාන් 71, නවෝද් ඉලුක්වත්ත 34, ඩිල්ශාන් ද සොයිසා නොදැවී 97, ජනක සම්පත් 79, නුවන් කරුණාරත්න ල2/31, ලසිත් අඹුල්දෙණිය 2/31

එන්. සී. සී; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 35 (8.2) ලහිරු උදාර නොදැවී 18

සැරසන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (06) ආරම්භ වූ මෙම තරගයේ දිනය නිමා වන විට සැරසන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 318ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනාගත් සත්කාරකයෝ තමන්ම පළමුවෙන් පන්දුවට පහර දුන් මේ ඉනිමේ දී ගමිඳු කනිෂ්ක සහ ප්‍රමෝද් මධුවන්ත අර්ධ ශතක වාර්තා කළහ.  නොදැවී පිටියේ රැඳී සිටින ප්‍රමෝද් පන්දු 185කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටී.‍

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 318 (90.0) රවිඳු ගුණසේකර 24, ඇන්ඩි සොලමන්ස් 33, මින්හාජ් ජලීල් 43, ගමිඳු කනිෂ්ක 62, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 84, මිෂෙන් සිල්වා 24, ලහිර සමරකෝන් 3/58, ධනෝෂ් රනෝදිත් 3/74, කොෂාන් ජයවික්‍රම 2/52


බී. ආර්. සී. සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී අද (06)  ආරම්භ වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු 128ට පිළිතුරු ලෙසින් දිනය අවසන් වන විට බදුරලිය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 123ක් ලබා තියුණු තරගයක නිරත වෙති.

පන්දු යවන්නන්ගේම තරගයක් වූ මෙහි දී අලංකාර අසංක සහ චාමිකර එදිරිසිංහ කඩුලු 5 බැගින් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (34.4) ටී. එම්. සම්පත් 30, රොමේෂ් බුද්ධික 23, හේෂාන් විතාන 23, චාමිකර එදිරිසිංහ 26, ඩිලේශ් ගුණරත්න 4/42, අලංකාර අසංක 5/45

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 123 (53.0) පැතුම් නිශ්ශංක 41, ඩිල්හාන් කුරේ 26, චාමිකර එදිරිසිංහ 5/18, සුරාජ් රන්දිව් 2/35

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න