වසරේ පළමු ශතකය සචිත්‍ර සේරසිංහගෙන්

475

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ පෙළහැර පාන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ පළමු ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ අද (02දා) සමත් විය.

එමෙන්ම එම ක්‍රීඩා සමාජයේම පුලින තරංග පිත්තෙන් දක්ෂතා දක්වමින් අද දවසේ කැපී පෙණුන අතර පන්දු යැවීමේ දී බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංක සහ සිංහල ක්‍රීඩා සමාජයේ අකාෂ් සේනාරත්න ද දක්ෂතා දැක්වූහ.

මේ අතර අද ආරම්භ වූ අනෙක් තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරු සංගීත් කුරේ ද අර්ධ ශතකයක් වාර්තා කළේය.

සාන්ත ජෝසප් හා සාන්ත සෙබස්තියන් කරට කර සටනක

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ 2018 නව වර්ෂය ආරම්භ වූවාට පසුව පැවති පළමු තරග දෙක අද (2) දිනය…

හලාවත මේරියන්ස් සහ බදුරලිය අතර තරගය

හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කඩුලු 9ක් දැවී ලකුණු 356ක් ලබා සිටියහ. දිනයේ කැපී පෙණෙන පිතිකරු වූයේ 30 හැවිරිදි දකුණත් පිතිකරු සචිත්‍ර සේරසිංහ ය.

සචිත්‍රගේ ඉනිම පන්දු 138කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර දෙකක් ඇතුලත් විය. මීට අමතරව පුලින තරංග පන්දු 124ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේය. සචිත්‍ර සහ පුලින අතර පස් වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 94කි.

මීට අමතරව ඉසුරු උදාන ලකුණු 41ක් ද, නායක මාලින්ද පුෂ්පකුමාර ලකුණු 31ක් ද ලබා ගනිමින් මේරියන්ස් ඉනිම ශක්තිමත් කළහ.

සුපුරුදු පිතිකරු ශෛලියෙන් මිදී තරමක මන්දගාමී ඉනිමක නිරත වූ පුලින තරංග 5 වැනි කඩුල්ලේ සිට 8 වැනි කඩුල්ල දක්වාම වැඩි ලකුණු සබඳතා පවත්වමින් මේරියන්ස් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වීම කැපී පෙණුනි.

ප්‍රතිවාදී කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූයේ දකුණතින් පිට දඟපන්දු යවන අලංකාර අසංක ය. ඔහු ලකුණු 74කට කඩුලු 4ක් දවා ගත්තේය.

දිනයේ යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාව 90ක් වූවද, පන්දු රකින්නන් විසින් වේගපන්දු යවන්නන් වැඩි වශයෙන්ම භාවිතා කිරීම හේතුවෙන් තරගයේ පළමු දිනයේ දී යැවුණේ පන්දුවාර 84ක් පමණි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 356 (84.0) කසුන් විදුර 23, සචිත්‍ර සේරසිංහ 103, පුලින තරංග 70, ඉසුරු උදාන 41, මාලින්ද  පුෂ්පකුමාර 31, තීක්ෂිල ද සිල්වා 20, ඩිලේෂ් ගුණරත්න 3/76, අලංකාර අසංක 4/74, දුවිඳු තිලකරත්න 2/80

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර තරගය

හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු දිනය නිමා වන විට සත්කාරක කෝල්ට්ස් ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 268ට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පිතිහරඹයක නිරත වූයේ 22 හැවිරිදි වමත් පිතිකරු සංගීත් කුරේ ය. ඔහු පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේය. ඊට අමතරව නායක දිල්රුවන් පෙරේරා (45) සහ 20 හැවිරිදි කවීශ්ක අංජුල (නොදැවී) ලකුණු 37ක් ලබා ගත්හ.

පන්දු යැවීමේ දී 21 හැවිරිදි වමතින් දඟපන්දු යවන ආකාශ් සේනාරත්න ලකුණු 76කට කඩුලු 4ක් ද, නායක සචිත්‍ර සේනානායක ලකුණු 70කට කඩුලු 3ක් ද දවා ගත්හ.

දිනය නිමා වෙද්දී දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා නොදැවී පිටියේ රැඳී සිටියහ. දිමුත් කරුණාරත්න ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22කි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 268 (82.3) සංගීත් කුරේ 53, දිල්රුවන් පෙරේරා 45, ප්‍රියමාල් පෙරේරා 32, අවිශ්ක ප්‍රනාන්දු 32, විශාද් රන්දික 21, නිසල තාරක 20, කවිශ්ක අංජුල නොදැවී 37, සචිත්‍ර සේනානායක 3/70, කසුන් මධුශංක 2/53, අකාශ් සේනාරත්න 4/76

එස්. එස්. සී: පළමු ඉනිම කිසිවෙක් නොදැවී 37 (5.0) දිමුත් කරුණාරත්න නොදැවී 22

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න