කෝල්ට්ස් හා බී. ආර්. සී පූර්ණ ජයග්‍රහණ භුක්ති විඳී

476

බී. ආර්. සී හා කෝල්ට්ස් කණ්ඩායම්වලට ජයග්‍රහණ හිමි කර දෙමින්  2017/18 ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ A කොටසේ පළමු සතියේ තරග අදින් (10) අවසන් විය.

හලාවත මේරියන්ස්ට විශිෂ්ට ජයක්; ශතක වැස්සක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” තෙදින ක්‍රිකට් තරගාවලියේ A කොටසේ තරග අද (9) දෙවන දිනටත් ක්‍රියාත්මක විය. එහි දී පැවැත්වූ එක් තරගයකින්…

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

A කාණ්ඩයේ තරගයක් ලෙස කොල්ට්ස් පිටියේ දී මෙම තරගය නිමා වූයේ සත්කාරක කෝල්ට්ස් පිලට ඉනිමක හා ලකුණු 55ක දැවැන්ත ජයක් හිමි කර දෙමිනි.

කෝල්ට්ස් ලකුණු 400ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ බ්ලූම්ෆීල්ඩ් වෙනුවෙන් නිසල් ෆ්‍රැන්සිස්කෝ හා නිපුන් කරුණානායක පිළිවෙළින් ලකුණු 33ක් හා ලකුණු 28ක් ලබා ගත්හ. දෙවන දිනය අවසානයේ කෝල්ට්ස් පිල බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 295ක් ඉදිරියෙන් පසුවිය.

බ්ලූම්ෆීල්ඩ් අවසන් කඩුලු කිහිපය ඉක්මනින්ම දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය ඇතුළු කෝල්ට්ස් ක්‍රීඩකයින් සමත් විය. එහි දී ප්‍රභාත් ලකුණු 27ක් කුල කඩුලු 7ක් දවා ගන්නා ලදි. බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 151කට සීමා වූ නිසා කෝල්ට්ස් කණ්ඩායම යළිත් ඔවුන්ට පිතිකරණයේ නිරත වීමට ආරාධනා කළේය. එම ඉනිම ද පළමු ඉනිම මෙන්ම ඉක්මනින්ම කඩා වැටුණු අතර පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය හා දිල්රුවන් පෙරේරා කඩුලු 4 බැගින් දවා ගන්නා ලදි. රමේශ් මෙන්ඩිස් හා නිපුන් හග්ගල අර්ධ ශතක ලබා ගත්ත ද එම ඉනිම් ද්විත්වය ඔවුන්ගේ පරාජය වළක්වන්නට සවියක් නොවීය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 400/10 (148.5): හශාන් දුමිඳු 168*, මොහොමඩ් ශිරාස් 65, දිල්රුවන් පෙරේරා 60, සංගීත් කුරේ 37, මලිත් ද සිල්වා 5/105.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 151/10 (54.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 33, නිපුන් කරුණානායක 28, ප්‍රභාත් ජයසූරිය 7/27.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම (F/O) – 194 (56.5): රමේශ් මෙන්ඩිස් 52, නිපුන් හග්ගල 51,දිල්රුවන් පෙරේරා 4/69, ප්‍රභාත් ජයසූරිය 4/56


බී. ආර්. සී හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී බී. ආර්. සී පළමු ඉනිම ලකුණු 187කට සීමා කිරීමට චානක කොමසාරු හා මදුක ලියනපතිරණගේ ඇතුළු වරාය අධිකාරි පන්දු යවන්නන් සමත් විය.

අද දිනය ආරම්භ වන විට බී. ආර්. සී දෙවන ඉනිම 116/8ක් ලෙස දැක්විය. උදෑසනම බී. ආර්. සී ඉනිම ලකුණු 126කට සීමා විය. මදුක කඩුලු 4ක් දවා ගන්නා ලදි.

අනතුරුව ලකුණු 122ක ඉලක්කයක් ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට ලැබුණ ද එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට යශෝද ලංකා ගේ ලකුණු 24 හැරෙන්නට වෙනත් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට වරාය පිතිකරුවන් අපොහොසත් වීම නිසාවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 84කට සීමා විය. අවසානයේ ලකුණු 35ක තියුණු ජයක් ලබා ගැනීමට බී. ආර්. සී කණ්ඩායමට හැකි විය. පන්දු යැවීමේ දී තිලකරත්න සම්පත් කඩුලු 3යි.

බී. ආර්. සී පළමු ඉනිම – 187/10 (65.5): විකුම් සංජය 51, චාමිකර එදිරිසිංහ 24, චානක කොමසාරු 3/40, මදුක ලියනපතිරණගේ 3/41.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉනිම – 192/10 (65.3): යොහාන් ද සිල්වා 103,  මදුක ලියනපතිරණගේ 30, යශෝද ලංකා 26, චාමිකර එදිරිසිංහ 3/40 සුරාජ් රන්දිව් 3/49.

බී. ආර්. සී දෙවන ඉනිම – 126/10 (48.3): ලසිත් ලක්ෂාන් 48, මදුක ලියනපතිරණගේ 4/18, අදීල් මලික් 3/29.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය දෙවන ඉනිම – 86 (38.5): යශෝද ලංකා 24, අදීල් මලික් 19, තිලකරත්න සම්පත් 3/18.


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය

A කාණ්ඩයේ මෙම තරගයේ අද දිනය ආරම්භ කරන විට මුවර්ස් පිල සැරසන්ස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 144ක් පසුපසින් පසුවිය.

මුවර්ස් මැදපෙළ ස්ථාවර කළ සහන් විජේරත්න ලකුණු 43ක් ලබාගෙන මුවර්ස් පිල ලකුණු 375ක් දක්වා රැගෙන එන ලදි. රොහාන් විජේතිස්ස ලකුණු 53කට කඩුලු 4යි.

ලකුණු 57ක වාසියක් සහිතව පිටියට පිවිසි සැරසන්ස් තරගයේ අවසන් දිනය වූ අද දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 208ක් ලබාගන්නා ලදි. එහි දී නවිඳු විතානගේ නොදැවී ලකුණු 70*ක් රැස්කර ගන්නා විට සචිත්‍ර පෙරේරා සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට සැරසන්ස් පිලට හැකි විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 432/10 (102.3): ඇන්ඩි සොල්මන්ස් 152, ගමිඳු කනිශ්ක 108, චතුර රන්දුනු 41, තරිඳු රත්නායක 5/156, ශිරාන් ප්‍රනාන්දු 4/114.

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම  – 375/10 (103.2): ප්‍රමෝශ පෙරේරා 142, ඉරෝශ සමරසූරිය 111, සහන් විජේරත්න 43, රොහාන් ජයතිස්ස 4/53, සචිත්‍ර පෙරේරා 3/67.

සැරසන්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 208/7 (57): නවිඳු විතානගේ 70*, සචිත්‍ර පෙරේරා 50, සාලිය සමන් 34, ශිරාන් ප්‍රනාන්දු 2/21, සුපේශල ජයතිලක 2/37.


බදුරලිය ක්‍රිකට් සමාජය හා ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය

මෙම තරගයේ දෙවන දිනය අවසන් වන විට ටැමිල් යූනියන් පිල බදුරලිය පළමු ඉනිමට වඩා ලකුණු 181ක් පෙරමුණේ පසුවෙන ලදි.

දිනෙත් තිමෝද්‍ය හා බිනුර ප්‍රනාන්දු අර්ධ ශතක ලබාගෙන ලකුණු 182/5ක් දක්වා සිය කණ්ඩායමේ ලකුණු පුවරුව රැගෙන එන ලදි. පසුව සිය ඉනිම අත්හිටවූ ටැමිල් යූනියන් පිල බදුරලිය ක්‍රිකට් සමාජයට ජයග්‍රහණය සඳහා ලකුණු 319ක ඉලක්කයක් නියම කළත් බදුරලිය පිල සිය කඩුලු රැකගෙන දිනය අවසානය දක්වා සිය ඉනිම දියත් කරන ලදි. එහි දී දිල්හාන් කුරේ ලකුණු 55ක් ලබා ගන්නා ලදි.

තරගය ජය පරාජයෙන් තොරව නිමාවුවත් ටැමිල් යූනියන් පිලට පළමු ඉනිමේ ජය හිමි විය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 332/10  (93.1): මනෝජ් සරත්චන්ද්‍ර 119*, ජීවන් මෙන්ඩිස් 77, සිතිර ගිම්හාන් 43, අලංකාර අසංක 5/106.

බදුරලිය ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 196/10 (64.1): පැතුම් නිස්සංක 100, රමිත් රඹුක්වැල්ල 6/40.

ටැමිල් යූනියන් ක්‍රිකට්  සමාජය දෙවන ඉනිම – 182/5 dec (48.4): දිනෙත් තිමෝද්‍ය 68, බිනුර ප්‍රනාන්දු 54, දිලීශ ගුණරත්න 2/55.

බදුරලිය ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 167/6 (52): දිල්හාන් කුරේ 55, රමිඳු ද සිල්වා 43, රමිත් රඹුක්වැල්ල 2/62.


එස්. එස්. සී හා රාගම ක්‍රිකට් සමාජය

එස්. එස්. සී පිලට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගය කුරුණෑගල වෙළගෙදර පිටියේ A කාණ්ඩයේ තරගයකි.

රාගම පළමු ඉනිමට උදාර ජයසුන්දර ලකුණු 71ක් එක් කරමින් දක්ෂ පිතිකරණයක නිරත විය. ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 47යි. පන්දු යැවීමේ දී පා දඟපන්දු යවන 27 හැවිරිදි ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 63ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි.

දෙවන දිනය අවසානයේ එස්. එස්. සී පිල කිසිවෙක් නොදැවී ලකුණු 36ක් ලබාගෙන සිටි අතර එතැන් සිට ක්‍රියාත්මක වූ අද දිනය තුල සිය ඉනිම 307/6ක් දක්වා රැගෙන ඒමට දසුන් ශානක හා මිලින්ද සිරිවර්ධන සමත් වූයේ ශතකයක් හා අර්ධ ශතකයක් වාර්තා කර ගනිමිනි. අමිල අපෝන්සු කඩුලු 4යි. පසුව සිය ඉනිම අත්හිටවූ එස්. එස්. සී පිල රාගම ක්‍රීඩා සමාජයට සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුනි. ලහිරු මිලන්ත හා ශෙහාන් ප්‍රනාන්දු එම ඉනිම තුල පිළිවෙළින් ලකුණු 61ක් හා ලකුණු 50ක් ලබා ගත්තේය.

රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 187/10 (66.4): උදාර ජයසුන්දර 71, ශෙහාන් ප්‍රනාන්දු 47, ජෙෆ්රි වැන්ඩසේ 5/63.

එස්. එස්. සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 307/6 dec (76): දසුන් ශානක 114*, මිලින්ද සිරිවර්ධන 60, කෞශාල් සිල්වා 47, අමිල අපෝන්සු 4/129.

රාගම ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 156/5 (52): ලහිරු මිලන්ත 61, ශෙහාන් ප්‍රනාන්දු 50, චරිත් අසලංක 3/26

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<