මැතිව්ස්ට විවේකයක්

238

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ තරග දෙකක් සීමිත පන්දු වාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හට අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (19) නිවේදනය කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ අද පැවැත්වෙන තරගය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙවන තරගය සඳහා මැතිව්ස් සහභාගී නොවන බවයි.

ශ්‍රී ලංකා යෞවනයන්ගේ අර්ධ අවසන් පූර්ව සිහිනය බිඳ වැටෙයි

මුල්පෙළ පිතිකරුවන් සිය වගකීම ඉටු කරන්නට යළිත් අසමත් වීමත් සමඟ ලෝක කුසලාන..

මැතිව්ස්ගේ පුරප්පාඩුව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකත්වය භාර ගන්නා බවත් එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

බංග්ලාදේශ තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය එක්දින සහ පන්දුවාර 20 නායකත්වය සඳහා නැවත පත් කෙරුණු ඇන්ජලෝ මැතිව්ස් හට මීට පෙර ද අවස්ථා ගණනාවක දී පාදයේ ආබාධ හේතුවෙන් තරග රැසක් අහිමි වී තිබේ. නායකත්වය නැවත භාර ගැනීමෙන් පසු සහභාගී වූ පළමු තරගය වන සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු තරගයේ පිතිකරණයේ යෙදෙමින් සිටිය දී මැතිව්ස්ගේ දකුණු පාදයේ කලවා මස්පිඩු ආශ්‍රිත ආබාධ තත්ත්වය නැවත මතු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයෙන් ලකුණු 12ක පරාජයකට ද මුහුණ දෙන ලදි.

බංග්ලාදේශයෙන් ලැබෙන ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ මැතිව්ස්ගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා ඔහුට ප්‍රතිකාර කළ එංගලන්ත වෛද්‍යවරුන් වෙත යවා ඇති බවයි. ඉන්දීය තරග සංචාරය තුළ දී ද ආබාධයකට ලක්ව තරග කිහිපයක් අහිමි වූ මැතිව්ස් හට නායකත්වය පැවරීමත් සමඟ ඔහුව බංග්ලාදේශ තරග සංචාරය සඳහා  තෝරා ගෙන තිබුණේ ද විශේෂඥ පිතිකරුවෙකු ලෙස පමණි.

මැතිව්ස් වෙනුවට නිරෝෂන් දික්වැල්ල අද බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය සඳහා කණ්ඩායමට කැඳවා තිබෙන අතර එම තරගයේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් පසුගිය මාස 7ක කාලය තුල ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමක් මෙහෙයවන 6 වන නායකයා වීම ද කැපී පෙනේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<