ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සාර්ථකව මලාවි සංචාරය නිමා කරයි

182

ජාතික හා ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමඟ තරගය හයක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම මලාවි දේශයේ සාර්ථක සංචාරයක් නිමා කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දින 11ක මලාවි සංචාරය ජූලි 26 වැනිදා ආරම්භ වූ අතර අගෝස්තු 5 වැනිදා අවසන් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මලාවි වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම සමඟ දෙවරක් තරග කළ අතර ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමඟ තරග දෙකක්, මලාවි ක්වීන්ස් හෙවත් මලාවි ජාතික කණ්ඩායම සමඟ තරග දෙකකට ද ඔවුන් සහභාගී විය.  

සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වෙන 11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලිය සඳහා පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ සංචාරයේ නිරත විය.

පාසල් දැල්පන්දුව අගෝස්තුවේ උණුසුම් වේ

නෙස්ලේ ලංකා ආයතනය, ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය (SLSNA) හා එක්ව…

ශ්‍රී ලංකා හා මලාවි වයස අවුරුදු 20න් පහළ (පළමු තරගය)

තරගයේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මලාවි වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම සමඟ තරගය ලකුණු 56-56ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

පළමු කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17-14ක් ලෙස පෙරමුණේ සිටි අතර දෙවන කාර්තුව අවසන් වූයේ ලකුණු 11-11ක් ලෙස සම සමවය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-25ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරමුණේ සිටියහ.

තෙවන කාර්තුව ඉතා තියුණු වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු පරතරය ලකුණු හතරක් දක්වා ඉහල දමා ගැනීමට සමත් විය. (45-41)

අවසන් කාර්තුවේ දී මලාවි වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම තරගයේ පාලනය තමන් සතුකර ගත්තේ තරගය ලකුණු 56-56ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමිනි.

ශ්‍රී ලංකාව හා කුකොමා ඩයමන්ඩ්ස් කණ්ඩායම අතර (2වන තරගය)

මලාවි හි ප්‍රධානතම ක්‍රීඩා සමාජය වන කුකොමා ඩයමන්ඩ්ස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය දෙවන තරගයට එක්වූ අතර එරට ජාතික ක්‍රීඩිකාවන් පස් දෙනෙක් ද ක්‍රීඩා කළ ඩයමන්ඩ්ස් කණ්ඩායම හමුවේ ලකුණු 53-39ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය.  

පළමු කාර්තුව අවසානයේ ලකුණු 10-12ක් ලෙස අවසන් වූ අතර දෙවන අර්ධය ද දැක්වුණේ ලකුණු 21-25ක් ලෙස ශ්‍රී ලංකාව පසුපසින් සිටිමිනි. තෙවන කාර්තුව ඉතා අඩු ලකුණු ගණනක් වාර්තා වූ වටයක් වූ අතර (7-9) කුකොමා ක්‍රීඩිකාවන් සිව්වැනි හා අවසන් කාර්තුවේ ලකුණු 19ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබාගත්තේ ලකුණු 11ක් පමණි.

ශ්‍රී ලංකා හා මලාවි වයස අවුරුදු 20න් පහළ (තෙවන තරගය)

මලාවි වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම සමඟ දෙවන තරගයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 67-64ක අමිහිරි පරාජයක් අත්විඳින්නට සිදු විය.

පළමු කාර්තුව අවසානයේ මලාවි ක්‍රීඩිකාවන් ලකුණු 16-17ක් ලෙස පෙරමුණේ සිටි අතර දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 14ක් රැස් කරගද්දී මලාවි ක්‍රීඩිකාවෝ තවත් ලකුණු 17ක් ලකුණු පුවරුවට එකතු කිරීමට සමත් වූහ.

තෙවන කාර්තුවේ කරට කර සටනක් දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 16-17ක් ලෙස වටය අවසන් කළ අතර අවසන් කාර්තුව ද ඔවුන් ප්‍රබල ලෙස ක්‍රීඩා කළ නමුත් ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු හතරක් මදි විය.

ශ්‍රී ලංකාව හා බ්ලූ ඊගල්ස් (සිව්වැනි තරගය)

මලාවි හි තෙවන හොඳම ක්‍රීඩා සමාජය වන බ්ලූ ඊගල්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ මීළඟ තරගය වූ අතර එම තරගයෙන් ද ලකුණු 55-66ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

ලකුණු 20-08ක් ලෙස සුපිරි ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ නමුත්  දෙවන කාර්තුවේ නැවතත් සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු ඊගල්ස් ක්‍රීඩිකාවන් පළමු අර්ධය අවසානයේ ලකුණු 33-28ක් දක්වා ලකුණු පරතරය අඩු කරගන්නට සමත් විය.

තෙවන කාර්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ ඊගල්ස් කණ්ඩායම ලකුණු 45-49ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් වූ අතර අවසන් කාර්තුවේ දීත් සුපිරි  ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ඔවුන් ලකුණු 17ක් රැස්කර ගද්දි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැස් කරගත්තේ ලකුණු 10ක් පමණි.

ශ්‍රී ලංකා හා මලාවි (5වන තරගය)

මලාවි ක්‍රීඩිකාවෝ ලකුණු 71-51ක් ලෙස මේ තරගය ජය ගැනීමට සමත් වූහ. පළමු කාර්තුවේ දී තර්ජිනී සිවලිංගම්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 17-16ක් ලෙස පෙරමුණ ලබාගන්නා ලදි. දෙවන කාර්තුව 15-16ක් ලෙස අවසන් වූයේ පළමු අර්ධය අවසානයේ ලකුණු පුවරුව 32-32ක් බවට පත් කරමිනි.

තෙවන හා සිව්වන අර්ධවල දී මලාවි ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සම්පූර්ණයෙන් තමන්ගේ ග්‍රහණයට ගත් අතර මලාවි ක්‍රීඩිකාවන් ලකුණු 20-08ක් හා 11-19ක් ලෙස තෙවන හා සිව්වන කාර්තු අවසන් කළාය.

ශ්‍රී ලංකාව හා මලාවි (හයවන තරගය)

මලාවි ජාතික කණ්ඩායම හා පැවති දෙවන තරගයෙන් ද ලකුණු 48-76ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය.

පළමු කාර්තුවේ 14-21ක් ලෙසත් දෙවන කාර්තුවේ 20-38ක් ලෙසත් සත්කාරකයින් ඉදිරියේ සිටියේය.

තුන්වන හා සිව්වන කාර්තු ලකුණු 15-19ක් 11-19ක් ලෙස ජය ගත් මලාවි ක්වීන්ස් ක්‍රීඩිකාවෝ තරගයේ ජය තමන් සතුකර ගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ සිටින අතර ජාත්‍යන්තර තලයේ ඉතා ඉහළ අත්දැකීම් ඇති මලාවි ක්‍රීඩිකාවෝ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ රැඳී සිටියි. නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මලාවි ක්වීන්ස් ක්‍රීඩිකාවෝ සත්වන ස්ථානය දිනා ගන්නා ලදි.

අවසාන වතාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මලාවි රාජ්‍යය හමුවුනේ 2015 දැල්පන්දු ලෝක කුසලානයේ දී වූ අතර එහි දී මලාවි ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව ලකුණු 18-101ක් ලෙස පරාජය කරන්නට සමත් වූහ.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මලාවි ක්‍රීඩිකාවන්ට හොඳ සටනක් දුන්නේ ඔවුන්ගෙන් ප්‍රශංසා ද ලබා ගනිමින්.

“බොහොම දියුණු වූ කණ්ඩායමක්, ඔවුන් ධනාත්මක දේවල් ගොඩක් නැවත ගෙදර අරන් යාවි”

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පන්දු යොමු කිරීම් පිළිබඳ වඩා උනන්දු විය යුතු අතර පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවති ආරාධිත දැල්පන්දු තරගාවලියේදීත් මේ අඩුපාඩුව කැපී පෙනුණි.

ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිලකා ජිනදාස මහත්මිය මෙසේ අදහස් දැක්විය.

“ක්‍රීඩිකාවන් හොඳින් ක්‍රීඩා කළා, අපි බලාපොරොත්තු වෙනවා ආසියානු තරගාවලියේ දීත් ඔවුන් එසේ ක්‍රීඩා කරයි කියලා, මේ වගේ තියුණු තරගාවලියක් ක්‍රීඩා කිරීම ඉතා වැදගත්, ආක්‍රමණකාරී ලෙස ක්‍රීඩා කිරීම ඉගෙන ගන්න මේ වගේ තරගාවලියක් ඉතා වැදගත්”

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<