පසුගිය දා නිමා ව දුටු දකුණු ආසියානු තරඟාවලිය නියෝජනය කරමින් සහභාගී වු ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම වසර 10කට පසුව සාග් පදක්කමක් ගෙන ඒමට සමත් වීම කැපි පෙනෙන සිදුවීමක් විය. 

 සාග් තරඟාවලියට සහභාගී වු ජාතික වොලිබෝල් කණ්ඩායම 

ජාතික වොලිබෝල් කණ්ඩායමට නිසි නායකත්වය ලබා දෙමින්, ජයග්‍ර‍නය කරා රැගෙන ගිය කණ්ඩායම් නායක ජනිත සුරත් මෙසේ  සිය අදහස් ප්‍ර‍කාශ කර සිටියේය.

“ඇත්තටම වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් අංශයෙන් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණක්. නායකයකු ලෙස මගේ ස්වකීය දක්ෂතා ප්‍රගුණ කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයෙන් ලැබුණු පන්නරය ඉමහත් පිටිවහලක් වුනා, ඒ වගේමයි පිරිමි වොලිබෝල් ක්‍රීඩාවෙන් අපි සාග් රිදී පදක්කම ලබා ගත්තේ මීට අවුරුදු 10කට කලින්. අපි මෙවර තරඟාවලියට ගියෙත් කොහොම හරි මෙවර එම පදක්කම නැවත දිනා ගන්නවා කියන අධිෂ්ඨානය ඇතිවයි.ඒවගේම අපි සාග් යන්න පුහුණු වුණේ මාස තුනක් වගේ කෙටි කාලයක් ඇතුලත, නමුත් ඊට වඩා හොඳින් පුහුණු වල නිරත වුනා නම් මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න තිබුණා.ඒ නිසා ආසියාතික තරගාවලියට දැන්ම ඉදලා පුහුණුවීම් ආරම්භ කළොත් හොදයි කියලා මම හිතනවා“ යැයි ඔහු පැවසීය.

වසර 10කට පසුව රිදි පදක්කමක් මව්බිමට දායාද කළ අපේ වොලි බෝල් කණ්ඩායමමීගමුව තිඹිරිගස්කටුව ප්‍රදේශයේ උපන් ජනිත සුරත් තම මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවේ මීගමුව දුටුගැමුණු මහා විද්‍යාලයෙනි. පසුව උසස් අධ්‍යාපනය සඳහා ශාන්ත මරියා මහා විද්‍යාලයට ඇතුළත් වු ඔහු වයස අවුරුදු 18දී වොලිබෝල් ක්‍රීඩාවට යොමු විය. 2007 වර්ෂයේදී ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වන ඔහු 2014 වසරේදී  ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායමේ ද නායකයා වෙයි.

තම අදහස් වැඩිදුරටත් ප්‍ර‍කාශ කරමින් ඔහු කියා සිටියේ “මම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්නේ 2008 වර්ෂයේ ඉදලා, අපේ වරාය කණ්ඩායම මේ දක්වා පැවති ජාතික වොලිබෝල් තරඟාවලි මාලාවේදී පිට පිට තුන්වරක් ශූරතාවය දිනා ගත්තා. එයින් ලැබුණු පන්නරය සාග් තරඟාවලියේදී නායකයකු ලෙස ඉදිරියට යන්නට මට තවත් ලොකු පිටිවහලක් වුණා.“

වසර 10කට පසුව රිදි පදක්කමක් මව්බිමට දායාද කළ අපේ වොලි බෝල් කණ්ඩායම“වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වගේම වරාය සභාපති ධම්මික රණතුංග මැතිතුමාත් අපි ගැන නිරන්තයෙන්ම සොයා බලනවා. වරායේ අපි සේවය කළාට පසුගිය කාලයේදී අපේ ක්‍රීඩකයින්ට නිසි පිළිගැනීමක් තිබුණේ නැහැ. දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අපගේ වෘත්තීය ගරුත්වය වගේම ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නත් දැන් විශාල ශක්තියක් වරාය අධිකාරියෙන් ලැබෙනවා. ඒ වගේම පසුගිය දා වරාය අමාත්‍යාංශයේ තිබුණා ක්‍රීඩා කුසලතා ඇගයීමේ උත්සවයක්. මගේ මේ ජීවිතයේ පළමුවැනි වතාවට තමයි එවැනි ඇගයීම් උත්සවයකට මම සහභාගි වුණේ. ඒකෙන්ම එදා සහ අද අතර වෙනස ඔබට තේරෙනවා ඇති” යැයි ජනිත් සුරත් වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියත් වොලිබෝල් ක්‍රීඩාවත් අතර ඇති සබඳියාව ද සිහිපත් කරමිනි.

අවසානයේ ස්වකීය ජයග්‍රහණය සඳහා උපකාර කළ සියලු දෙනාටම තම හදපිරි ස්තුතිය පුද කර සිටිමටද ඔහු අමතක කලේ නැත.