ජාත්‍යන්තර වොලිබෝල් කණ්ඩායම් 16ක් සහභාගී වන “ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය” එළඹෙන ජූලි 24 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මේ වන විට පුහුණුවීම්වල නිරත වේ. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ සුරබායා නුවරදී යි.

12 දෙනෙකුගේ සංචිතයක් ආසියානු ජ්‍යෙෂ්ඨ කුසලානයට

ඉන්දුනීසියාවේ සුරබායා නුවර දී ආරම්භ වීමට නියමිත 19 වන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන්…

තරගාවලිය පැවැත්වෙන 19 වැනි වතාව මෙය වන අතර එය ඉන්දුනීසියාවේදී පැවැත්වෙන්නේ 2 වන වරටයි. කාණ්ඩ 4ක් යටතේ තරගවදින ආසියානු ජාත්‍යන්තර වොලිබෝල් කණ්ඩායම් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලියට එක්වන්නේ C කාණ්ඩයෙනි. එහි සිටින අනෙකුත් කණ්ඩායම් වන්නේ ජපානය, කොරියාව සහ වියට්නාමය යි. ජපානය මෙම තරගාවලියේ වත්මන් ශූරයන්ද වේ.

ඉතිහාසය

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියට සහභාගී වන 11 වැනි අවස්ථාව මෙයයි. ඉතිහාසයේදී ඔවුන් ඒ තුළ දක්වා ඇති හොඳම දක්ෂතාවය නම් 2011 වසරේදී 8 වැනි ස්ථානයට පත්වීමයි. 1995 වසරේදී 9 වැනි ස්ථානයටද පත්ව ඇති ඔවුන් 2015 පැවති තරගාවලියේදී හිමිකර ගත්තේ 13 වැනි ස්ථානය යි.

මෑත ඉතිහාසය

2016 වසරේදී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සහභාගී වූ අවසන් ජාත්‍යන්තර තරගාවලියයි. එහිදී රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවත් අවාසනාව නම් ඉන්පසු මෙතෙක් ජාත්‍යන්තර තරග කිසිවක් ඔවුන්ට ලැබී නොතිබීමයි.

මම විශ්වාස කරන දෙයක් තමයි අපට වැඩිපුර ජාත්‍යන්තර තරග තියෙනවා නම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට එන්න පුළුවන් කියන එක.” ප්‍රධාන පුහුණුකරු චාල්ස් තිලකරත්න මහතා එසේ කීය.

නමුත් දේශීය වොලිබෝල් පිටිය පසුගිය වසර පුරාවටම උණුසුම් වූ අතර ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, මංචි ජාතික වොලිබෝල් ශූරතාවලිය ආදී තරගාවලි කිහිපයක්ම අති සාර්ථකව පැවැත්වුණේ ජාතික වොලිබෝල් ක්‍රීඩකයන්ට ක්‍රියාකාරී වන්නට අවස්ථාව සලසා දෙමිනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වොලිබෝල් ඉතිහාසයට වසර 100ක් සපිරුණු 2016 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය වොලිබෝල් කණ්ඩායම නිර්මාණය වීමද සිදුවිය. ඒ විදුලි බල මණ්ඩල වොලිබෝල් කණ්ඩායමයි.

Photos : Sri Lanka Men’s Volleyball – 19th Asian Volleyball Championship

පසුව වොලිබෝල් සම්මේලනයේ සභාපති ධූරයට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්වූ අතර එළඹෙන ආසියානු වොලිබෝල් ශූරතාවලිය ඔහුගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගාවලියයි.

2013 ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 104 වැනි ස්ථානය ලබාගෙන තිබුණි. 2017 ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව සමඟින් C කාණ්ඩයෙන් සහභාගී වන ජපානය ලොව 19 වැනි ස්ථානයත්, කොරියාව 23 වැනි ස්ථානයත්, වියට්නාමය 122 වැනි ස්ථානයත් ලබාගෙන තිබුණි.

පුහුණුව සහ පුහුණුකරුවන්

ආසියානු ශූරතාවලිය සඳහා වන ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම තම පුහුණුවීම් ඇරඹුවේ මීට මාස 5කට පමණ ඉහතදී යි. ක්‍රීඩා අමාත්‍යංශයේ පහසුකම් යටතේ එහි නේවාසිකව පුහුණුවන කණ්ඩායම අත්දැකීම් සහිත ක්‍රීඩකයන් බහුතරයකින් සමන්විත ය. එමෙන්ම පුහුණුකරුවන්ද අත්දැකීම් රැසකින් සමන්විතයි. දකුණු ආසියානු රිදී පදක්කම්ලාභී ක්‍රීඩකයන් 09 දෙනෙක්ම මෙවර කණ්ඩායමට ඇතුළත් වීම සතුටුදායක ය. ඊට අලුතින් එක්වී ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණි.

චාල්ස් තිලකරත්න, ශ්‍රී ලංකාවේ නමගිය වොලිබෝල් පුහුණුකරුවෙකි. 2014 වසරේ ශ්‍රී ලංකාවේදී පැවති 19න් පහළ ආසියානු වොලිබෝල් ශුරතාවලියේදී කොරියානු කණ්ඩායම 3-2ක් ලෙස පරාජය කොට ඓතිහාසික ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉවහල් වූයේ ඔහුගේ පුහුණුකාරීත්වයයි. එහිදී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ආසියාවේ පස්වැනි ස්ථානය දිනාගත්තේය. මෙවර ආසියාව තරණය කරන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික වොලිබෝල් කණ්ඩායම පුහුණුකරවීමේ වගකීම හිමිව ඇත්තේ ඔහුටයි.

16නලීන් සම්පත්, ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම පන්දු සකසන්නෙක් බව සටහන් කළ යුතුය. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු රාජකීය විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාරගන්නා නලීන් ඔවුන්ට ජාතික ජයග්‍රහණ කිහිපයකටම පාර කීවේය. ඉන් අනතුරුව ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකාරීත්වයද හදිසියේම ඔහුට හිමි වූ අතර එහිදී ද නලීන්ගෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුවිය. මෙවර ආසියානු ශූරතා තරගාවලියට යන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයන්ගේ කණ්ඩායමේ සහය පුහුණුකාරීත්වය ඔහුට හිමි වී ඇත.

17K.M.K. සුනිල්, නම ඇසූ පමණින් වොලිබෝල් ප්‍රේක්ෂකයන්ට සිහිවන මෙම හිටපු වේගවත් යුධ හමුදා ප්‍රහාරකයා දැනට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ අභ්‍යාසක ධූරය දරයි. 90 දශකයේ මැදභාගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දකුණු ආසියානු කණ්ඩායමක් බවට පත්වූයේ මොහුවන් ප්‍රහාරකයින් නිසා බැව් අපට සිහිවේ. වොලිබෝල් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උපකාර වන්නේ ඔහුගේ ඒ අත්දැකීම් සහ පුහුණු කිරීම්ය.

කණ්ඩායමේ ක්‍රීඩකයන්

මෙවර කණ්ඩායමට උසපන්දු ප්‍රහාරකයන් 5 දෙනෙකුත්, කෙටිපන්දු ප්‍රහාරකයන් 4 දෙනෙකුත්, පන්දු සකසන්නන් 2 දෙනෙකුත්, එක් ලිබරෝ ක්‍රීඩකයෙකුත් ඇතුළත් ය.  

ෂමිල් මලින්ද (නායක)

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇති ෂමිල් යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ප්‍රහාරකයෙකි. බෝමිරිය ජාතික පාසලෙන් බිහි වූ ෂමිල්, වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය උසින් සහ ක්‍රීඩා දස්කම්වලින්ද සවිමත් ය.   

ගයාන් මධුශංක (උප නායක)

4

ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය වොලිබෝල් කණ්ඩායම වන විදුලිබල මණ්ඩල වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දරන ගයාන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උප නායකයා ය. වේගවත් පන්දු පිරිනමන්නෙකු මෙන්ම වේගවත් උසපන්දු ප්‍රහාරකයෙකුද වන ඔහු රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ නිෂ්පාදනයකි.  

ජනිත සුරත්

මීගමුව සාන්ත මරියා විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකු වන ජනිත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් නායකයා මෙන්ම මින් පෙර ශ්‍රී ලංකාවේ වොලිබෝල් නායකත්වයද හෙබවීය. ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම පන්දු පිරිනමන්නා යන සම්මාන ද්විත්වයම තමන් සතුකරගත්තේ ද ඔහුයි. මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේදී ද දක්ෂතම පන්දු පිරිනමන්නා වූ ජනිත වත්මන් සංචිතය නියෝජනය කරන ප්‍රබලයෙකි.

දීප්ති රොමේෂ්

ශ්‍රී ලංකාවේ දැනට සිටින වේගවත්ම උසපන්දු ප්‍රහාරකයා වන දීප්ති, වොලිබෝල් ක්‍රීඩාවට පිවිසෙන්නේ මීරිගම බණ්ඩාරනායක විද්‍යාලයෙනි. මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේදී දක්ෂතම ප්‍රහාරකයා සම්මානය දිනා ගැනීමට ඔහු සමත් විය.

රුමේෂ් දිසානායක

ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරන රුමේෂ් දක්ෂ අවහිර කරන්නෙකි. මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේදී දක්ෂතම අවහිර කරන්නාට හිමි සම්මානය ලබාගත්තේ ඔහු විසිනි. සීදූව දවිසමර විදුහලද නියෝජනය කර ඇති රුමේෂ් ජාතික කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකි.

චාමර මිහිරාන්

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන චාමර, යුධ හමුදා වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දරයි. ඔහු වේගවත් උසපන්දු ප්‍රහාරකයෙකි.  

නිලංක සංජය

ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රජාව අතර ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන නිලංක, මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා ය. චාලියන සුරතල් නාමයෙන් හැඳින්වෙන නිලංක දේශීය තරග පිටියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරයි. ඔහු වොලිබෝල් ක්‍රීඩාවට පිවිස ඇත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයෙනි.

කසුන් චතුරංග

මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේදී සහ ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේදී විදුලි බල මණ්ඩල කණ්ඩායමට අනුශූරතාවය ලබා දීම සඳහා පන්දු සකසා දීම සිදු කරන ලද්දේ ඔහු විසිනි. මාදම්පේ සේනානායක විද්‍යාලයේ නිෂ්පාදිතයක් වන ඔහු කණ්ඩායමේ දෙවන පන්දු ඔසවන්නායි.

ඒ. ඩබ්ලිව්. ලක්මාල්

විදුලිබල මණ්ඩල වොලිබෝල් කණ්ඩායමේ නිත්‍ය ලිබරෝ ක්‍රීඩකයා වන ලක්මාල්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයට පත්වන විටත් ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩකයා ය. හුංගම විජයබා විද්‍යාලයේ වොලිබෝල් තරුවක් වන ඔහුගේ දස්කම් ද ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනු ඇති.  

අයේෂ් පෙරේරා

සීදූව දවිසමර විදුහලෙන් වොලිබෝල් ක්‍රීඩාව හඳුනාගත් අයේෂ් පසුගිය වර පැවති ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා නායකත්වය දැරීය. ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ 22න් පහළ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ඔහුයි. තවමත් 21 වන වියෙහි පසුවන අයේෂ් දක්ෂ කෙටිපන්දු ප්‍රහාරකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ වොලිබෝල් අනාගතයට නැතුවම බැරි ක්‍රීඩකයෙකු විය හැකිය.

ලසිඳු මෙත්මාල්

සිය පරපුරෙන්ම වොලිබෝල් දස්කම් උරුම කරගත් ලසිඳු කොළඹ රාජකීය විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවේ දියුණුව සනිටුහන් කරගත්තෙකි. 23 වන වියෙහි පසුවන ලසිඳු, ශ්‍රී ලංකාවේ වොලිබෝල් සලකුණක් සේ සැලකෙන කාලික වසන්තප්‍රිය මහතාගේ පුත්‍ර රත්නයයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරන ඔහු මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

වසන්ත ලක්මාල්

මෑතකදී අවසන් වූ ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ වසන්තගේ උස නිසාම ඔහු දක්ෂ පන්දු අවහිර කරන්නෙකි. තවමත් 21 වන වියෙහි පසුවන ඔහු රදාවාන මහගමසේකර විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිස ඇති අතර මෙම තරගාවලිය ඔහුට හොඳ අත්දැකීමක් විය හැකිය.

අපේ පැතුම

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම හැදෑරීමේදී පෙනීයන කරුණක් වන්නේ ඔවුන් අත්දැකීමෙන් මෙන්ම නව්‍ය දස්කම් වලින් ද සවිමත් බවයි. කෙමෙන් ආසියානු මට්ටමේ අවදානම් කලාපයට (පළමු 10 දෙනාගෙන් ඉවතට) පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව යළි හැරවීමේ කාර්යය ඔවුනට හිමිවන ප්‍රමුඛ වගකීම වේ. ජපානය, කොරියාව හමුවේ ඔවුනට හිමිව ඇති මේ වගකීම පහසු එකක් නම් නොවේ.

එහෙත් ඊට අවශ්‍ය දස්කම් ඔවුන් සතුව ඇති බැවින් එය සාර්ථකව තරග පිටිය මතදී ප්‍රදර්ශනය කොට ශ්‍රී ලංකා නාමය ආසියාව මත බැබළවීමට හැකිවේවායි ThePapare.com අපි පතන්නෙමු.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට