ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම හොංකොං දේශයට

354
Srilanka AHF Hockey

නොවැම්බර් මස 19 වැනිදා සිට 27 වැනිදා දක්වා මැලේසියාවේ හොංකොන් හිදී පැවැත්වීමට නියමිත පස්වැනි ආසියානු හොකී කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර ඇති අතර එහි නායකත්වය නලන්ත ද සිල්වා හට ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය ලිපි: ලෝක කැරම් ශූරයින්ට ක්‍රීඩා ඇමතිගෙන් උපහාර

මාස 5ක් තුළ ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී කරවා ගනිමින් පුහුණු සැසියක් පැවැත්වූ අතර එහිදී වඩාත් හොඳින් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 18 දෙනෙක් මෙම තරගාවලිය සඳහා සහභාගී කරගත් බව, එහි වත්මන් පුහුණුකරු වන ජාතික හොකී ක්‍රීඩක අනුරුද්ධ හේරත් බණ්ඩාර සදහන් කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවැති ලෝක ලීග් ශූරතා පිරිමි හොකී තරග මාලාවේ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් 17 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇති බවත්, ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටි එම්. එම්. මුලාෆර් නැවතත් කණ්ඩායමට එක් කර ඇති බවත් අනුරුද්ධ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

තවද ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයක් රැගෙන යාමට හැකියාවක් තිබේ නම්, එය පෙර පුහුණුවීම් සඳහා ඉතා වැදගත් බවත්, එලෙස සිදු කිරීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවත් එතුමා ප්‍රකාශ කලේය.

ඉතිහාසයෙන් බිඳක්

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම සහභාගී වූ තරගාවලි ලෙස අප්‍රේල් මාසයේ පැවැති ලෝක ලීග් ශූරතා පිරිමි හොකී තරගාවලිය සහ 2016 සාක් ක්‍රීඩා උළෙල හැදින්විය හැකිය.

පසුගිය අප්‍රේල් මාසයේ සිංගප්පූරුවේ පැවැති ලෝක ශූරතා හොකී තරගාවලියේ මූලික වටයේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත විය.

මෙම තරගයේදී අපරාජිතව අවසන් වටයට සුදුසුකම් ලැබීම සුවිශේෂී කරුණක් වූ අතර අවසන් මහා තරගයේදී කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි විශිෂ්ඨ ක්‍රීඩා විලාසයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් දැක ගන්නට හැකිවිය. විශේෂයෙන්ම චීනය හමුවේ ගෝල 3- 3ක් ලෙස ජය පැරදුමෙන් තොරව තරගය අවසන් කළ අතර එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූයේ වත්මන් නායක නලන්ත ද සිල්වා විසිනි.

පුහුණුකරු

ශ්‍රී ලංකා ජාතික පිරිමි හොකී කණ්ඩායම ජයග්‍රාහී මාවත ඔස්සේ යොමු කොට නිසි මාර්ගෝපදේශකත්වය සැපයීමේ භාරදූර වගකීම මෙවරද හිමිවී ඇත්තේ ජාතික හොකී ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර තරග තීරවරකයෙකුද වන, අනුරුද්ධ හේරත් බණ්ඩාර වෙතයි.

තයිලන්තය, උස්බෙකිස්තානය, බංගලාදේශය හා මැකාවු මෙම තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල් ලෙස හැදින්වේ. මෙවර කණ්ඩායමේ නායකත්වය දරණ නලන්ත ද සිල්වාගේ ජාත්‍යන්තර දක්ෂතා ශ්‍රී ලංකා හොකී සම්මේලනය බලාපොරොත්තුවෙන් පසුවේ. 2010 සහ 2012 වර්ෂයන් හී නායකත්වය දැරූ තුසිත රත්නසිරි සහ සඳරුවන් ප්‍රියලංක ද මෙවර සංචිතයේ 18 දෙනා අතර වෙයි. මෙහිදී එම්. එම්. මුලාෆර් යනු ශ්‍රී ලංකාවට සිටින බලාපොරොත්තු තැබිය හැකි ප්‍රවීන ක්‍රීඩකයෙකු වන අතර 2014 වසරේ ආසියානු ක්‍රීඩා තරගාවලියේදී කැපීපෙන කාර්යභාරයක් ඉටුකරන ලද ක්‍රීඩකයෙකි.

මෙම තරගාවලිය දෙස අවධානය යොමු කිරීමේදී ඉතා හොද මානසික හා ශාරීරික මට්ටමකින් ක්‍රීඩකයන් පසුවන බවත් අවසන් තරගයට සුදුසුකම් ලැබීම තම කණ්ඩායමේ එකම බලාපොරොත්තුව වන බවත් ශ්‍රී ලංකා පිරිමි ජාතික හොකී කණ්ඩායමේ නායක නලන්ත ද සිල්වා පැවසූ අතර වැඩිදුරටත් ඔහු කියා සිටියේ ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල් විදේශීය තරග රාශියකට සහභාගී වීමෙන් අනතුරුව මෙම තරගාවලිය සඳහා තරග කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් ලෝක ලීග් ශූරතාවයෙන් පසුව සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගය මෙය වන බවත්ය.

මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය

නලන්ත ද සිල්වා (නායක), එන්. ඩී. බී දිසානායක (උපනායක), තුසිත් දර්ශන රත්නසිරි, එච්. පී. කේ ධර්මරත්න, ඉසංක ජයසුන්දර, සදරුවන් ප්‍රියලංක, මදුරංග විජේසිංහ, ළහිරු ගිහාන් වීරසිංහ, දමිත් මදුශංඛ බණ්ඩාර, තරංග ගුණවර්ධන, ලක්ෂාන් නානායක්කාර, සී. අසංක වෙළගෙදර, අමිල දයාන් රත්නසිරි, ශමික ගුණවර්ධන, තරිදු හේන්දෙනිය, පුෂ්පකුමාර හේන්දෙනිය, අනුරාධ සුරේෂ්, එම්. එම්. මුලාෆර්

• කණ්ඩායම් කළමනාකරු – තමරා පරගොඩ ලියනගේ
• පුහුණුකරු – අනුරුද්ධ හේරත් බණ්ඩාර
• සහය පුහුණුකරු – පුලතිසි චාමික ලැනරෝල්
• වෛද්‍ය නිලධාරී – දාමින්දා අත්තනායක
• සම්භාහක – අකිල දිනේෂ ගමගේ

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට