ඉන්දියාවට එරෙහිව ප්‍රබල එක්දින සංචිතයක්!

1802
Sri Lanka name strong squad for ODIs against India translation

මෙම මස 20 වන දා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත, සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික තේරීම් කමිටුව විසින් නම්කොට ඇත.

“පිට පිටම ඇතිවූ ආබාධ පරාජයට මූලික හේතුවයි” – දිනේෂ් චන්දිමාල්

මීට හරියටම වසරකට පෙරාතුව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙසින් කිරුළු දරාගෙන මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම …

මීට පෙර ඉන්දියානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට  තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර ඊට පෙර පැවති සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරගාවලිය ද ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-2ක් ලෙස පරාජයට පත්විය.

ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලැබූ වමත් දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සහ වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මෙහි දී ප්‍රථම වරට එක්දින සංචිතයක් සඳහා ඇතුළත් කර ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති  තරගාවලියේ  සංචිතයට ඇතුළත් කරනු නොලැබූ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර, තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරා ද මෙම සංචිතයට කැඳවා ඇත.

“සෑම කණ්ඩායමක්ම නොයෙක් පසුබෑම්වලට මුහුණ දෙනවා, එය ලෝකයේ සෑම කණ්ඩායමකටම අදාළ වන න්‍යායක්. කොතරම් දක්ෂ කණ්ඩායමක් වුවත් එවැනි පසුබෑම්වලට විටින් විට මුහුණ දීමට සිදු වෙනවා. වසර 18කට අධික කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් අධිරාජ්‍ය තුල සිය බලපරාක්‍රමය ටෙස්ට්, එක්දින සහ 20/20 යන සියලු අංශවලින් දරාගෙන සිටියා. අප කණ්ඩායම දැන් මුහුණ දෙන අමිහිරි තත්වය හමුවේ එය අමතක කරන්න එපා.”

“උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු අපට විවෘතව කතා කළ නොහැකි. නමුත් නිසැක වශයෙන් තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා. කෙසේ වුවත් එහි ධනාත්මක බලපෑම මතුපිටින් පෙනීමට තව යම් කලක් ගත වේවි. ඉතිං මම කියා සිටින්නේ මදක් ඉවසන්න, වැදගත්ම කරුණු වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න.”

“ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්ය නගා සිටුවීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත් වෙනවා. අප ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන්, අපගේ එකම අරමුණ මිලියන විස්සකට අධික ශ්‍රී ලාංකිකයින් හට ආඩම්බරය රැගෙන ඒමයි. ඉතිං ඒ සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යම මොහොතයි මේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස තරග නායක ලෙස මා හට ඔබගෙන් ඉල්ලා සිටින ආයාචනය මෙයයි, “අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගි, මල්ලී. අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමඟ රැඳී සිටින්න. යලිත් සිංහයින් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න”

මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේය.

මෙම වසරේ මුල භාගයේ දී පැවති බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය සඳහා මිලින්ද සිරිවර්ධන අවසන් වරට සහභාගී වූ අතර චාමර කපුගෙදර හට ආබාධයක් නිසා ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය අතරතුර දී තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය. තිසර පෙරේරා ද ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව සංචිතයට කැඳවනු නොලැබූ අතර ඔහු එතැන් පටන් එංගලන්තයේ ග්ලුසෙෂ්ටෂයර් හිදී පැවති ‘Natwest T20 Blast’ තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලැබීය.

අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල් සහ කුසල් ජනිත් පෙරේරා ආබාධවලට ලක්ව සිටින නිසා සංචිතයට ඇතුළත් කර නොමැති අතර සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ක්‍රීඩා කළ නුවන් කුලසේකරට සහ අසිත ප්‍රනාන්දුට මෙම සංචිතයේ සිය ස්ථාන අහිමි වී ඇත.

එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය: උපුල් තරංග (නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු  

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට