‘MAS’ කණ්ඩායමේ වාසනාවට ගෝල කණුව හරස් වෙයි

512

ඉතා උණුසුම් තරගයකට පසුව කිසිවෙකු නොසිතූ විරූ ලෙස 2019 වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙන කුසලාන අවසන් මහා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ඒ අනුව 49 වැනි වරටත් පැවැත්වුණු වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ සම ශූරයින් ලෙස MAS Holdings A කණ්ඩායම හා Access Group A කණ්ඩායම අභිෂේක ලැබීය.

>>වෙළඳසේවා රග්බි නැවතත් සුපුරුදු ක්‍රීඩාංගණයට<<

ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩාංගණයේ දී ජූලි 19 වැනිදා සිට දින තුනක් පුරා තරගාවලිය පැවැත්වුණු අතර කණ්ඩායම් 24ක් තරගාවලිය සඳහා එක්විය. පසුගිය වසරේ ශූරයින් වූ Access Group A, Dialog Axiata හා MAS Holdings සුපුරුදු පරිදි ප්‍රබල ක්‍රීඩකයින්  රැසක් සමඟින් තරගාවලියට එක්විය.

කුසලාන අවසන් මහා තරගය

කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණේ Access Group A කණ්ඩායම හා MAS Holdings A කණ්ඩායම අතරයි. නයිජල් රත්වත්ත, ගයාන් වීරරත්න, රොෂාන් වීරරත්න, අනුරුද්ධ විල්වර, තිළිණ විජේසිංහ, රීසා රෆයිඩීන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් MAS කණ්ඩායම වෙනුවෙන් තරග වැදුණු අතර Access කණ්ඩායම වෙනුවෙන් කවිඳු පෙරේරා, සුදර්ශන මුතුතන්ත්‍රි, බුවනෙක උඩන්ගමුව, ජේසන් දිසානායක, රිචඩ් ධර්මපාල, කෙවින් ඩික්සන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කළහ.

ජාතික සත් සාමාජික කණ්ඩායමේ පුහුණු තරගයක් බඳු වූ මේ තරගයේ පළමු අර්ධය නිමා වූයේ Access කණ්ඩායම ලකුණු 5-0ක් ලෙස ඉදිරියෙන් හිඳිමින්. තරගයේ පළමු මිනිත්තු කිහිපයේ දී තිළිණ විජේසිංහ MAS කණ්ඩායම් වෙනුවෙන් පිටියේ දකුණු කොනෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් විනිසුරු එම අවස්ථාව නිශ්ප්‍රභ කරන ලදි. අනතුරුව පළමු අර්ධය නිමා වීමට මොහොතකට පෙර ජනිඳු දිල්ශාන් ගේ කෙටි පා පහරක් හඹා ගිය කෙවින් ඩික්සන් Access ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය.

ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ පා පහරින් ආරම්භ වුණු තරගයේ දෙවන අර්ධය ඉතා උණුසුම් විය. ජේසන් දිසානායක Access ලකුණු පුවරුව දෙගුණ කරමින් ප්‍රබල MAS ආරක්ෂක වළල්ල ඉක්මවා යද්දී, කෙවින් අමතර ලකුණු එකතු කළේ Access කණ්ඩායම නියමු අසුනේ තබමිනි.

කෙසේ වෙතත් සිය අත්දැකීම් මනාව උපයෝගී කර ගත් ගයාන් වීරරත්න මහනුවර අත්දැකීම්, MAS වෙත ගෙනෙමින් ගෝල කණු අතරින්ම ලකුණු රැස් කිරීමට සමත් විය. තරගයේ තීරණාත්මක මොහොතක දී ප්‍රබල Access ක්‍රීඩක නවීන් හේනකන්කාන්ම්ගේ හට කහ කාඩ්පතක් හිමි වූයේ MAS කණ්ඩායමට අමතර වාසියක් ගෙනෙමිනි.

එහි වාසිය අවසන් මිනිත්තුවේ දී ප්‍රයෝජනයට ගත් සඳුන් හේරත් MAS කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කළේ පිටිය කොනෙන් ධවල රේඛාව ඉක්මවා යමිනි. තරගයේ ජයග්‍රාහී ප්‍රවර්තනය තිළිණ විජේසිංහගේ අතින් ගිලිහී ගියේය.

අවසන් ලකුණු තත්වය: Access 12 (2T, 1C) – 12 (2T, 1C) MAS

තරගයේ තීරණය ලබා දීමට තරගය අමතර කාලය දක්වාත් ඇදී ගිය අතර වෙහෙසට පත්ව සිටි ක්‍රීඩකයින් එම මිනිත්තු 10 තුළත් ලකුණු රැස් කිරීමට සමත් වූයේ නැත.

තරගයට නව ජවයක් ගෙනෙමින් තරගාවලියේ නීති රීති අනුව දඬුවම් පහර ලබා දී තරගාවලියේ ශූරයින් තීරණය කිරීමට විනිසුරුවන්ට සිදු විය. එක් කණ්ඩායමකට දඬුවම් පහර තුන බැගින් හිමි වූයේ පිටියේ මීටර 25 සීමාවේ සිට ගෝල කණු මධ්‍යයේ හා මීටර 15ක් වම් පසට හා මීටර 15ක් වන්නටයි.

පළමුව ගෝල කණු මධ්‍යයේ ලැබුණු පහසු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට Access කණ්ඩායමේ කෙවින් ඩික්සන් හෝ MAS කණ්ඩායමේ රීසා රෆයිඩීන් අසමත් වූයේ ප්‍රේක්ෂකයින් පුදුමයට පත්කරමිනි. 

ගෝල කණුවලට දකුණු පසින් දෙවන දඬුවම් පහර ලබා ගත් තරින්ද රත්වත්ත Access වෙනුවෙන් අසාර්ථක වූ අතර MAS වෙනුවෙන් තිළිණ විජේසිංහ ගුවන්ගත කළ පන්දුව අලංකාර ලෙස ගුවනේ පාවී ඇවිත් අවාසනාවන්ත ලෙස ගෝල කණුවේ වැදී ඉවත ගියේ MAS බලාපොරොත්තු තත්පර ගණනකට සීමා කරමිනි. අවසන් දඬුවම් පහර දෙකම සාර්ථක කරගන්නට Access වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාරට හෝ MAS වෙනුවෙන් නයිජල් රත්වත්ත හට හැකි වූයේ නැහැ.

ඒ අනුව Access කණ්ඩායම හා MAS කණ්ඩායම 2019 වෙළඳසේවා සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ සම ශූරයින් ලෙස අභිෂේක ලැබීය.

පලඟ අවසන් තරගය

ඩයලොග් A කණ්ඩායම හා ජෝන් කීල්ස් A කණ්ඩායම අතර පැවැත්වුණු පලඟ අවසන් මහා තරගය තවත් ඉතා උණුසුම් තරගයක් විය.

නිරෝෂාන් ප්‍රනාන්දු ඩයලොග් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම රැස් කළේ ඊට මිනිත්තුවකට පෙර ජෝන් කීල්ස් කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම සම කරමිනි.

පළමු අර්ධයේ ලකුණු සම වී තිබුණු තරගයේ පෙරමුණ පිට පිටම වාර්තා වූ උත්සාහක දිනුම් දෙකක් මගීන් තමන්ගේ දෝතට ගන්නට ඩයලොග් කණ්ඩායම සමත් වූයේ විමුක්ති රාහුලගේ හා නිශෝන් පෙරේරාගේ උත්සාහක දිනුම් මගිනි.

ලකුණු 17-05ක් ලෙස පසුපසින් සිටි ජෝන් කීල්ස් ක්‍රීඩකයින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඩයලොග් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර හිරන්ත පෙරේරා අවසන් මිනිත්තුවේ දී සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ ලකුණු තත්වය 17-17ක් බවට පත් කරමින්.

අවසන් තීරණාත්මක ප්‍රවර්තනය ලබා ගත් තිළිණ වීරසිංහ පිටිය කොනේ සිට අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හැරියේ පලඟ කුසලානය ජෝන් කීල්ස් කණ්ඩායමට ගෙන එමිනි.

අවසන් ලකුණු තත්වය: ඩයලොග් 17 (3T, 1C) – 19 (3T, 2C) ජෝන් කීල්ස්

All blacks සහ Springboks සුභ මොහොතෙන් වැඩ අල්ලයි!

2019 රග්බි ශූරතා තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් පළමු වටයේ තරග ද්විත්වය ඊයේ (20) දිනයේ…

බඳුන හා පලිහ අවසන් මහා තරග

Brandix Intimates කණ්ඩායම Access Group B කණ්ඩායම ලකුණු 33–14ක් ලෙස පරාජය කරමින් බඳුන ශූරතාව දිනා ගන්නා ලදි. නැගී එන George Stuart කණ්ඩායම ලකුණු 31–10ක් ලෙස පරාජය කරමින් 3DH International කණ්ඩායම පලිහ අවසන් මහා තරගය ජය ගන්නා ලදි.

දිනය ආරම්භයේ දී පලිහ අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වුණු අතර අතිරේක කාලය කරා ඇදී ගිය තරගය George Stuart කණ්ඩායම ජය ගත්තේ පෑන් ඒෂියා කණ්ඩායම ලකුණු 17-12ක් ලෙස පරාජය කරමිනි. NDB කණ්ඩායම Virtusa ලකුණු 17-12ක් ලෙස පරාජය කළේ තියුණු සටනකට අනතුරුවයි.    

ඩයලොග් B කණ්ඩායම Ceylon Tobacco කණ්ඩායම ලකුණු 31– 05ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් පලිහ අවසන් පූර්ව අසුන වෙන් කර ගත් අතර 3DH international සොෆ්ට්ලොජික් කණ්ඩායම ලකුණු 31-12ක් ලෙස පරාජය කරමින් පලිහ අවසන් පූර්ව වටයට ඇතුළත් විය.    

පලිහ අවසන් පූර්ව වටයේ දී තියුණු තරගයකට පසුව George Stuart කණ්ඩායම ලකුණු 10-07ක් ලෙස NDB කණ්ඩායම පරාජය කළ අතර 3DH International ප්‍රබල ඩයලොග් B කණ්ඩායම පරාජය කළේ ලකුණු 35-12ක් ලෙසයි.   

බඳුන ශූරතාවයේ අවසන් පූර්ව වටයේ දී Brandix Intimates කණ්ඩායම ලකුණු 24-12ක් ලෙස සම්පත් බැංකු කණ්ඩායම පරාජය කළ අතර Access Group B කණ්ඩායම සිය ප්‍රතිවාදීන් වූ ජෝන් කීල්ස් B කණ්ඩායම ලකුණු 17-10ක් ලෙස පරාජය කරන්නට සමත් විය.    

අවසන් දිනයේ ප්‍රතිඵල සටහන

තරගය  ලකුණු තත්වය
පලිහ අර්ධ අවසන් පූර්ව වටය 1 Pan Asia 12 17 George Stuart
පලිහ අර්ධ අවසන් පූර්ව වටය 2 Virtusa 12 17 NDB Bank
පලිහ අර්ධ අවසන් පූර්ව වටය 3 3DH International 31 12 Softlogic Holdings
පලිහ අර්ධ අවසන් පූර්ව වටය 4 Ceylon Tobacco 5 31 Dialog Axiata B
බඳුන අවසන් පූර්ව තරගය 01 Brandix Intimates 24 12 Sampath Bank
බඳුන අවසන් පූර්ව තරගය 02 John Keells B 10 17 Access Group B
කුසලාන/පළඟ අවසන් පූර්ව තරගය  01 Access Group A 24 10 Dialog Axiata A
කුසලාන/පළඟ අවසන් පූර්ව තරගය  02 MAS Holding 33 5 John Keells A
පලිහ අවසන් පූර්ව වටය 1 George Stuart 10 7 NDB Bank
පලිහ අවසන් පූර්ව වටය 2  3DH International 35 10 Dialog Axiata B
පලිහ අවසන් මහා තරගය 3DH International 31 12 George Stuart
බඳුන අවසන් මහා තරගය  Brandix Intimates 33 14 Access Group B
පළඟ අවසාන මහා තරගය  Dialog Axiata A 17 19 John Keells A
කුසලාන අවසන් මහා තරගය Access Group A 12 12 MAS Holding

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<