ඉන්ද්‍රජිත් කුරේ ඔහුගේ හොඳම ඔලිම්පික් දස්කම් දක්වයි

446
Indrajith Cooray
credit gose to -bucksfreepress.co.uk

ක්‍රීඩකයින් 09 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය දරමින් බ්‍රසීලයේ රියෝ නුවරට පිටත් වූ ඉන්ද්‍රජිත් කුරේ අද (21) තම ඉසව්ව වන පිරිමි මැරතන් තරඟය සඳහා සහභාගි වූ අතර එහිදී කුරේ 34 වැනියා ලෙස තරඟය අවසන් කරන ලදි.

පසුගිය ලිපි: සුමේදගේත් බලාපොරොත්තුව බිදි යයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම හා අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන ඉන්ද්‍රජිත් කුරේ පිරිමි මැරතන් තරඟය ඔහුට හැකි උපරිමයෙන් ජවය යොදා සාර්ථකව සහභාගි වෙමින් තරඟය සාර්ථකව අවසන් කල අතර ඔහු අද පැවති ඔලිම්පික් මැරතන් තරගයේ දී පැය 2 විනාඩි 17 තත්පර 06 කින් තරඟය අවසන් කරමින් 34 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් විය.

මෙම ඉසව්වේ පළමු ස්ථානය ලබාගැනීමට කෙන්යානු ක්‍රීඩක එළියුඩ් කිප්චොග් සමත් වූ අතර, ඔහු එම තරඟය පැය 2 විනාඩි 08 තත්පර 44කින් අවසන් කරමින් පිරිමි මැරතන් තරගයේ රන් පදක්කම ලබාගන්නා ලදි.

තවද රිදී පදක්කම ඉතියෝපියානු ක්‍රීඩක ෆෙයිසා ලෙලීස් පැය 2 විනාඩි 09 තත්පර 54කින් තරගය අවසන් කරමින් ජයග්‍රහණය කල අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම ඇමරිකානු ක්‍රීඩක ග්ලේන් රෑප් පැය 2 විනාඩි 10 තත්පර 05 කින් අවසන් කරමින් ජයග්‍රහණය කරන ලදි.

තවද මෙම තරඟය සඳහා ලොවපුරා සිටින දක්ෂ මැරතන් ක්‍රීඩකයින් 155 දෙනෙකු පමණ සහභාගි වූ නමුදු එම තරඟය අවසන් කලේ ක්‍රීඩකයින් 140 දෙනෙකු පමණි.

එම 140 දෙනා අතුරෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ඉන්ද්‍රජිත් කුරේ 34 වැනි ස්ථානයට පත්වීම සතුටට කරුණකි. කුරේ ඔහු සහභාගි වු 3 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙයයි.

ඉන්ද්‍රජිත් කුරේ දැනට ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම මැරතන් ක්‍රීඩකයෙකු වන අතර ඔහු දැනට වාර්තා කර ඇති හොඳම කාලය පැය 2 විනාඩි 13 තත්පර 47 කි.

තවද එම කාලය ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද වේ. කුරේ මීට පෙර සහභාගි වූ ඔලිම්පික් තරඟයන් වල කාලයන්ට සාපේක්ෂව අද වාර්තා කල කාලය ඔලිම්පික් තරඟයකදී ඔහු විසින් වාර්තා කල හොඳම කාලය ද වේ.

කුරේ මෙලෙස සාර්ථක වීම සඳහා ඔහුගේ පුහුණුකරුවන් වන නික් ටේලර් හා මේජර් උපාලි වික්‍රමසිංහ යන මහත්වරුන් කැපවීමෙන් ක්‍රියාකල අතර ඔහුගේ කැපවීම හා උත්සාහයද යම්තාක් හෝ ඵලදායි වූ බව මෙම තරඟය අවසානයේ දී පැහැදිලි විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට