ශ්‍රී ලංකාව වියට්නාමයටත් පරදියි

375
Sri Lanka lose to Vietnam

ඉන්දුනීසියාවේ සුරබායා නුවර දී පැවැත්වෙන 19 වන ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලියේ C කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය වියට්නාමයට එරෙහිව පැවති අතර එය ඉතා තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය කරන්නට වියට්නාම කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මීට පෙර පැවති ජපානය සහ දකුණු කොරියාව සමඟ තරග දෙකම පරාජයට පත්වුවත් එහි දී ඔවුන් ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් එල්ල කරන්නට සමත් විය. ඒ අනුව ජපානය සමඟ තරගය ලකුණු 25-17ක්, 25-19ක් සහ 25-17ක් වශයෙන් සහ දකුණු කොරියාව සමඟ තරගය ලකුණු 25-15ක්, 25-20ක් හා 25-20ක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව පළමු තරග දෙකම පරාජය වෙයි

19 වන වරට පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලිය මෙම දිනවල දී ඉන්දුනීසියාවේ සුරබයා..

අනතුරුව පැවති වියට්නාමය සමඟ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගත හැකිව තිබූ තරගයක් වුවත් ඉතා උණුසුම් තරගයකින් අනතුරුව එම තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජයට පත්විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 25-19ක්, 16-25ක්, 25-21ක්, 20-25ක් & 15-9ක් වශයෙනි.

ඒ අනුව තරගයේ පළමු වටය ලකුණු 25-19ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට වියට්නාම කණ්ඩායම සමත් වුවත් නැවතත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ දෙවන වටය ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය.

තරගයේ තෙවන වටයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරග වැදුණු අතර එම වටය අවසානයේ ලකුණු 04ක පරතරයක් රඳවා ගනිමින් ලකුණු 25-21ක් ලෙස එම වටය ජයග්‍රහණය කරන්නට වියට්නාම කණ්ඩායම සමත් විය. තරගයේ සිව්වන වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 15-10ක් වශයෙන් පෙරමුණ ගැනීමට සමත් වූ අතර එම වටය අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25-20ක් වශයෙන් එහි ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි.   

කෙසේ නමුත් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ වියට්නාම කණ්ඩායම තරගයේ පස්වන වටය ලකුණු 15-09ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

ප්‍රතිඵල (03 වන දිනය)

A කාණ්ඩය

  • කසකස්තානය විසින් සෞදි අරාබිය පරාජයට පත්කරන ලදි. 3-0 (25-13, 25-22, 22-17)
  • ඉන්දුනීසියාව විසින් කටාරය පරාජයට පත්කරන ලදි. 3-2 (24-26, 14-25, 25-20, 25-21, 15-11)

B කාණ්ඩය

  • පාකිස්ථානය විසින් ඉරාකය පරාජයට පත්කරන ලදි. 3-1 (26-24, 25-17, 17-25, 25-22)
  • ඉරානය විසින් චීන තායිපේ කණ්ඩායම පරාජයට පත්කරන ලදි. 3-0 (25-20, 30-28, 25-21)

C කාණ්ඩය

  • දකුණු කොරියාව විසින් ජපානය පරාජයට පත්කරන ලදි. 3-2 (25-22, 21-25, 17-25, 25-18, 15-8)
  • වියට්නාමය විසින් ශ්‍රී ලංකාව පරාජයට පත්කරන ලදි. 3-2 (25-19, 16-25, 25-21, 20-25, 15-9)

D කාණ්ඩය

  • තායිලන්තය විසින් හොං කොං කණ්ඩායම පරාජයට පත්කරන ලදි. 3-1 (23-25, 25-8, 25-19, 25-21)
  • ඔස්ට්‍රේලියාව විසින් චීනය පරාජයට පත්කරන ලදි. 3-0 (26-24, 25-13, 25-23)

  වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට