බංග්ලාදේශය සහ මාලදිවයින පරාජය කිරීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකාව තරගාවලියට

488
Sri Lanka U19 Football Sqaud 2017

වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අද (31) ආරම්භ වන අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් දකුණු ආසියානු කණ්ඩායම් වන මාලදිවයින සහ බංග්ලාදේශය පරාජය කිරීමේ අපේක්ෂාව ඇතිව තරගාවලියට සහභාගී වේ.

තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතය, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සුමිත් වල්පොළ මහතා යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළ අතර කෙසේ නමුත් ඔවුන්ට පුහුණු වීමට හැකි වූයේ මාසයක් වැනි කෙටි කාලයක් පමණි. එම පුහුණුවීම් කටයුතු සඳහා ද වර්ෂාවෙන් සහ වෙනත් විවිධ අපහසුතා වලින් බාධා එල්ල විය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මුහුණ දුන් දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් මෙසේ පුහුණුවීම් කටයුතු ආරම්භ වීම ප්‍රමාද විය.

ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා B කාණ්ඩයෙන් එක්වන අතර එහි සිටින අනෙක් කණ්ඩායම් වන්නේ උස්බෙකිස්තානය, සත්කාරක ටජිකිස්ථානය, බංග්ලාදේශය සහ මාලදිවයින යි. මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය අද දිනයේ සිට නොවැම්බර් මස 08 වන දින දක්වා ටජිකිස්ථානයේ හිසොර් නුවර ‘Hisor Central Stadium’ සහ දුශාන්බේ නුවර ‘Republican Central Stadium’ යන ක්‍රීඩාංගණවල දී පැවැත්වේ.  

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සාන්ත පීතර විද්‍යාලයේ තිවංක ලියනපතිඅරණ හට හිමි වී ඇත. ඔහු සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ද නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෙකි. කණ්ඩායමේ උපනායකත්වය හිමි වී ඇත්තේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ අසේල මදුෂාන් හටයි.

සංචිතය

ෂෙහාන් තිවංක (නායක) (සාන්ත පීතර විද්‍යාලය), අසේල මදුෂාන් (උපනායක) (සාන්ත ජෝසප් විද්‍යාලය), නෙත්ම මල්ෂාන් (සාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුර), සසංග දිල්හාර සාන්ත ලුෂියා විද්‍යාලය, කොළඹ), අවිශ්ක කවිඳු (ඕල්සෙන්ස් විද්‍යාලය), මොහොමඩ් සජිත් (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), අමාන් ෆයිසර් (හමීඩ් අල් හුසේනි විද්‍යාලය, කොළඹ), ෂෙහාන් යශ්මිල (සාන්ත පීතර විද්‍යාලය), තංගරාසා අජිත් (ශාන්ත හෙන්රි විද්‍යාලය, යාපනය), චමත් රශ්මිත (සාන්ත ජෝසප් විද්‍යාලය), පසිඳු කාවින්ද (වෙස්ලි විද්‍යාලය, කොළඹ), සුරේෂ් පුෂ්පකුමාර (සුගත විද්‍යාලය, කළුතර), මොහොමඩ් නසීක් (සහිරා විද්‍යාලය, මරදාන), මොහොමඩ් නජ්මාන් (මුස්ලිම් විද්‍යාලය, කළුතර), රිෆ්කාන් මොහොමඩ්, ශබීර් රසූනියා (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), නුවන් ගිම්හාන (නාලන්ද විද්‍යාලය, මරදාන), මොහොමඩ් අශ්රස් (කින්නියා මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය), මොහොමඩ් රිෆ්ලාන් (ඌව විද්‍යාලය, බදුල්ල), චන්ද්‍රසේකරන් සජේන්තන් (මධ්‍ය මහා විද්‍යාලය, යාපනය), විමුක්ති මදුමාල් (කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර), ඇන්තනි දුල්ශාන් (කරුණාරත්න බෞද්ධ විද්‍යාලය, වැලිසර), මොහොමඩ් මුස්නි (බස්නාහිර ක්‍රීඩා සමාජය)

නිලධාරීන්

සුමිත් වල්පොළ (ප්‍රධාන පුහුණුකරු), රෝහණ වික්‍රමරත්න (සහාය පුහුණුකරු), ලලිත් වීරසිංහ (ගෝල රකින පුහුණුකරු), තිලක් අපොන්සු (කළමණාකරු), ඩබ්. එස්. නන්දසිරි (සහාය කළමණාකරු), එස්. එන්. කේ. සිල්වා (අභ්‍යාසක)

තරග කාලසටහන

  • ඔක්තෝබර් 31 – ශ්‍රී ලංකාව සහ මාලදිවයින – ප.ව.2.00 – Hisor Central Stadium, Hisor
  • නොවැම්බර් 02 – ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය – ප.ව.12.00 – Republican Central Stadium, Dushanbe
  • නොවැම්බර් 04 – ශ්‍රී ලංකාව සහ ටජිකිස්ථානය – ප.ව.3.00 – Republican Central Stadium, Dushanbe
  • නොවැම්බර් 08 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය – ප.ව.2.00 – Hisor Central Stadium, Hisor

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<