ශ්‍රී ලංකා හොකී පිල සිංගප්පූරුවට

287

ලෝක ලීග් හොකී තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් සිංගප්පූරුව බලා පිටත්ව ගියහ.

ලෝක ලීග් හොකී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මෙවර සහභාගි වන්නේ අරමුණු කීපයක් පෙරදැරිවය. මෙරටින් ඔවුන් තරගාවලිය බලා පිටත්ව යෑමට ප්‍රථම අප ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමේ පුහුණුකරු, අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා සමඟ තරගාවලිය පිළිබඳව සාකච්ඡා කළෙමු.

කොහොමද මේ තරගාවලිය සඳහා සූදානම?

අපි සති කීපයක් තුළ උපරිම වශයෙන් මේ සඳහා පුහුණු වුණා.

කියන්නේ ලෝක ලීග් හොකී තරගාවලියේදී අපිට හොඳින් ක්‍රීඩා කරන්න අවස්ථාවක් තියෙනවා කියන එකද?

මෙහෙමයි. ඒක සාපේක්ෂව සිදුවන දෙයක්. මොකද අපි කොයිතරම් හොඳින් පුහුණු වුණත් ක්‍රීඩා කිරීම හා ජයග්‍රහණය කියන කාරණා තීරණය කළ හැක්කේ තරගාවලියෙදියි. මොකද අපි දන්නවා තරගය පැවැත්වෙන වේලාවේදී සිදුකළ යුතු වෙනස්කම් ක්‍රීඩා රටාව ක්ෂණිකව සිදුකළ යුතුයි. ඒ නිසා එය ක්‍රීඩා කරද්දී තමයි තීරණය කරන්නට හැකියාව ලැබෙන්නේ.

එතකොට ශ්‍රී ලංකා පිලට තරගාවලියේදී තියෙන බලාපොරොත්තු මොනවද?

අපි ලෝක හොකී තරගාවලියට සහභාගි වෙන්නේ යහපත් මානසිකත්වයෙන්. දැන් අපිට ඉස්සර තරම් ප‍්‍රතිවාදීන් ගෝල ප‍්‍රහාර එල්ල කිරීම පාලනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ තත්ත්වය වැඩිදියුණු කරලා ජයග‍්‍රහණ ලබාගත හැකි සීමාවට අවතීර්ණවීම තමයි අපි අපේක්ෂා කරන්නේ.

හොකී කියන්නේ හුඟක් වෙහෙසකාරී ක්‍රීඩාවක්. එතැනදී ක්‍රීඩකයන්ගේ ශක්තිය තරගාවලිය තුළ රැදී සිටින්න අතිශය වැදගත් වෙනවා. කොහොමද තත්ත්වය?

ඇත්තෙන්ම අපේ ක්‍රීඩකයන් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්නවා. අපේ පිටිය මැද ක්‍රීඩා කරන හොඳම ක්‍රීඩකයා මේ වනවිට තරමක් ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධව අර්බුදයට ලක්වෙලා ඉන්නවා. ඔහුගේ ආබාධය සුව කරගන්නට අවස්ථාව දෙමින් අපි ඔහුගේ දක්ෂතා කණ්ඩායමට කළමනාකරණය කරගන්නවා. ඇත්තෙන්ම හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා කියලා කියන්න හැකියි.

එතකොට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවූ හොකී කණ්ඩායම් සමඟ සසඳද්දී අද අපේ කණ්ඩායම හොඳ තැනක ඉන්නවා?

මෙහෙමයි. අපි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ගියේ අඩු ජාත්‍යන්තර අත්දැකීම් සමඟ. එත් අපි ප‍්‍රබල පාකිස්තානයට, ඉන්දියාවට හොඳ තරගයක් දුන්නා. ඒ තත්වය මෙතැනදී අපි තවදුරටත් වර්ධනය කරගන්න අපේක්ෂා කරනවා. හොකී ක්‍රීඩාව පුබුදුවන එක දීර්ඝ සැලසුමක්. ඒ සඳහායි අපි මේ ක්‍රියා කරන්නේ.

ශ්‍රී ලංකා හොකී පිල සිංගප්පූරුවටමෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින්නේ කුමන කණ්ඩායම් එක්කද?

මියන්මාරය, කසකස්ථානය හා සිංගප්පූරුව අපත් සමඟ සටන් කරනවා.

කොහොමද මේ කණ්ඩායම් වල හොකී තත්ත්වය ඔබ තක්සේරු කරලා තියෙන්නේ?

එතැනදී අපිට කසකස්ථානය හා සිංගප්පූරුවේ දක්ෂතාවය වඩාත් ඉහළින් ඉන්න බව කියන්න අවශ්‍යයි.

කියන්නේ මියන්මාරය කණ්ඩායම සමඟ තරගය අපිට වඩාත් වාසි සහගත වෙයි නේද?

අපි මියන්මාරයේ හොකී කණ්ඩායම ගැන වැඩි අවබෝධයක් නෑ. තරගාවලියේදී තරග වදිද්දී ක්‍රියාත්මක වෙන ආකාරය අනුව තමයි අපිට ඒ ගැන කියන්න හැකි වෙන්නේ. කොහොමත් අපි සුබවාදීව තරගාවලියට මුහුණ දෙනවා.

පසුගිය දවස්වල ලෝක ලීග් හොකී තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි නොකරගන්නා බවක් ජාත්‍යන්තර හොකී සම්මේලනය ප‍්‍රකාශ කළා නේද?

පුහුණුකරු වශයෙන් මට පරිපාලනය සම්බන්ධයෙන් කිසිවක් කිවිය නොහැකියි. කොහොම නමුත් මම දන්නා ආකාරයට කිසිම ගැටලුවකින් තොරව අපිට මේ සඳහා දැන් සහභාගිවෙලා ඉන්න හැකියාව ලැබිලා තියෙනවා.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ නාවික හමුදා ක්‍රීඩකයෙක් නේද?

ඔව්. ලලන්ත බණ්ඩාර, මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය නියෝජනය කළ දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහයවපු ක්‍රීඩකයා.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ?

එය ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙනවා.

අවසන් වශයෙන් කියන්න ඔබ ලංකාවේදී ලැබූ පුහුණුව සම්බන්ධයෙන්?

අපිට ක්‍රීඩා අමාත්‍යංශය මගින් නේවාසික පුහුණුවක් ලබාදුන්නා. එහිදී අපි දක්ෂතා වැඩිදියුණු කරගත්තා. ඒවගේම පුහුණු තරග සඳහා සහභාගි වුණා. ඒ සියල්ල අත්හදා බැලිය හැක්කේ තරගාවලියේදී තමයි.