අපේ හොකී කණ්ඩායම ආසියාවේ මොන කෝණයටද?

14

ආසියානු ක්‍රීඩා උළෙලට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයකි. හොකී ක්‍රීඩාවෙන් මෑත වසර 4ක 5ක කාලය තුළ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රගමනයේ කූටප්ප්‍රාප්තිය එය වේද?

අවම ආරක්‍ෂිත ආවරණ සහිතව කෙරෙන තරගකාරී සහ වේගවත් ක්‍රීඩාවක් වන ෆීල්ඩ් හොකී ක්‍රීඩාව සුද්දන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ මාතලේ ප්‍රදේශයෙනි. අගින් වක්වූ ලී පිත්ත සහ තද ප්ලාස්ටික් ආවරණයක් සහිත පන්දුව පැතලි බිමක කරන ගනුදෙනුව සැබවින්ම තරගකාරී ය.

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ ගමන ගැන කෙටි සඳහනක්

70 දශකයේ දී දකුණු ආසියාවේ ප්‍රබල කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද වන විට දකුණු ආසියාවේ සිව්වැනි ස්ථානයේ පසුවුනත්, ඉන්දියාව (5) සහ පාකිස්තානය (13) ලොව ඉහළම කණ්ඩායම් පහළොව අතර රැඳී සිටියි. බංගලාදේශය ද පළමු කණ්ඩායම් තිහේ දොරට තට්ටු කරමින් 31 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව මේ වන විට ලොව 38 වැනි ස්ථානය හොබවන හොකී කණ්ඩායමයි.

2016/17 හොකී වර්ල්ඩ් ලීග් තරගාවලියේ පළමු අදියරට ඉතිහාසයේ පළමු වතාවට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහි සංචිත ගතකිරීමේ වටයේ දී හමු වූ සියලු කණ්ඩායම් පරාජයට පත්කළේය. එහි අවසන් අදියරට සුදුසුකම් ලැබුවත් ජයග්‍රහණ ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වූයේ ප්‍රබල කණ්ඩායම් රැසක් හමුවේයි. නමුත් ඊට සුදුසුකම් ලැබීම පවා ශ්‍රී ලංකාව පැත්තෙන් සාධනීය සලකුණකි.

කෙසේ නමුත් 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අවස්ථාව ලබාගන්නේ 2014 වර්ෂයෙන් පසුවයි. 2014 දී වසර 36ක දීර්ඝ නැවතුමකින් පසු ඊට සුදුසුකම් ලැබූ ඔවුන් 2018දී නැවතත් ක්‍රීඩා උළෙලට සහභාගී වේ.

කණ්ඩායම

මෙරට හොකී නිජබිම වන මාතලේ ප්‍රදේශයෙන් ක්‍රීඩකයන් 11 දෙනෙකු ද දකුණු පළාතෙන් සහ වයඹ පළාතෙන් අනෙකුත් ක්‍රීඩකයන් ද කණ්ඩායමට සුදුසුකම් ලබා ඇත. නායකත්වය ලහිරු වීරසූරිය හට හිමිව ඇති අතර වසර තුනක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ සාධනීය වෙනසක් සිදු කළ අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි. ඕමාන් හිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී තෙවැනි ස්ථානය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ආසියාවේ 9 වැනි ස්ථානය හොබවයි. ඉන්දියාව, හොංකොං, දකුණු කොරියාව, ජපානය සමඟින් A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වේ. මැලේසියාව, පාකිස්තානය, බංගලාදේශය, ඕමානය, තායිලන්තය සහ සත්කාරක ඉන්දුනීසියාව B කාණ්ඩයෙන් ඊට එක්වේ.

Photo Album – Sri Lanka Men’s Hockey Team – Asian Games 2018

අත්දැකීම්

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසකගෙන් 18 දෙනාගේ සංචිතය සමන්විතයි.

ඉසංක ජයසුන්දර, හරේන්ද්‍ර ධර්මරත්න, නලන්ත ද සිල්වා, සඳරුවන් ප්‍රියලංක, මධුරංග විජේසිංහ, ධම්මික රණසිංහ සහ තරිඳු හේන්දෙණිය අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වේ. ඔවුන්ට ජාත්‍යන්තර තරග 50ක පමණ අත්දැකීම් ඇති බව නායක ලහිරු විජේසූරිය පැවසුවේය.

“ඒ අත්දැකීම් නිසා අපට එන පීඩනය විනාඩියෙන් විනාඩියට හසුරුවාගෙන තරග කරන්න හැකියාවක් තියෙන ක්‍රීඩකයන් අපට ඉන්නවා.” ඔහු කීවේය.

එමෙන්ම නවකයන් තිදෙනෙක් මෙවර සංචිතයට ඇතුළත් වන බව ද සඳහන් වේ. අත්දැකීම් බහුලයන් සමඟ එකට ක්‍රීඩා කරමින් සියලු දෙනාම එකාමෙන් පිටියට බසින බව නායක ලහිරුගේ මතයයි.

“හැමදේටම මූලික වෙන්නේ පුහුණුවීම් තමයි. අපට දක්ෂ ක්‍රීඩකයන් ටිකක් තමයි ඉන්නේ. ආසියාවේ 5, 6, 7 වගේ ස්ථානයක රැඳෙන්න තමයි අපේ බලාපොරොත්තුව.” ලහිරු පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ප්‍රකට පුහුණුකරුවෙකු වන අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා මෙවර කණ්ඩායමේ පුහුණුකරු ය. ඔහු ද ThePapare.com හමුවේ විශේෂයෙන්ම අදහස් දක්වන්නට අමතක නොකළේය.

ශ්‍රී ලංකා සංචිතය 

ඉදිරිපෙළ – සඳරුවන් ප්‍රියලංක, M. G. සංජීව, රජිත කුලතුංග, උදයශාන් ප්‍රනාන්දු, විපුල් ධනුෂ්ක, අනුරාධ සුරේෂ්.

මැදපෙළ – ලහිරු වීරසූරිය (නායක), මධුරංග වීරසිංහ, තරංග ගුණවර්ධන, හරේන්ද්‍ර ධර්මරත්න, ෂෙරාන් නිමංක, ගිහාන් සංගීත්.

පසුපෙළ – නලන්ත ද සිල්වා, ධම්මික රණසිංහ, ඉසංක ජයසුන්දර.

ගෝල රකින්නන් – තරිඳු හේන්දෙණිය, චමල්ක රුක්ෂාන්.

එදින නොපැමිණි –  පුෂ්පකුමාර හේන්දෙණිය

පුහුණු කාර්යමණ්ඩලය – අනුරුද්ධ හේරත් බණ්ඩාර (ප්‍රධාන පුහුණුකරු), චාමික ලැනරෝල් (සහාය පුහුණුකරු), තමරා ලියනගේ (කළමනාකාරිනී), පාලිත වාසලගේ (කළමනාකරු), G. සියාමුදලි (භෞත චිකිත්සක).

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<