ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ පරාජය වේ

447
@Asian Volleyball Championship

2 වන ආසියානු අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ බලාපොරොත්තු තායිලන්ත කණ්ඩායම හමුවේ තරග වට 3-1ක් ලෙස පරාජය වීමත් සමඟ බොඳ වී ගියේය.

ජපානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වේ

අවුරුදු 23න් පහළ ආසියානු වොලිබෝල් තරගාවලියේ ජපානය සමඟ පැවති තරගය..

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ජපානය සමඟ පැවති තරගය තරග වට 3-0ක් ලෙස පරාජයට පත්විය. තායිලන්ත කණ්ඩායම ද ජපාන කණ්ඩායම හමුවේ පරාජයට පත්වුවත් ඔවුන් තරගය 5 වන තරග වටය දක්වා රැගෙන යන්නට සමත් වූ අතර අවසානයේ ඔවුන් එම තරගය පරාජයට පත්වූයේ තරග වට 3-2ක් ලෙසිනි. එහි දී තායිලන්තය පළමු වටය ලකුණු 28-30ක් ලෙස පරාජයට පත්වූ අතර දෙවන වටය ඔවුන් ලකුණු 25-20ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් විය. ජපානය ලකුණු 25-19ක් ලෙස තරගයේ දෙවන වටය ජය ගනිද්දී තායිලන්තය හතර වන වටය ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ තරගයේ තීරණය පස්වෙනි තරග වටය දක්වා රැගෙන යමිනි. එහි දී ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ ජපානය එම තරග වටය ජය ගත්තේ ලකුණු 15-08ක් වශයෙනි.

තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තායිලන්තය සමඟ පැවති මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය. තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ පළමු වටය ජය ගත්තේ ලකුණු 25-23ක් ලෙසයි. කෙසේ වුවත් නැවතත් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණි තායිලන්ත ක්‍රීඩකයින් මීළඟ තරග වට තුන ලකුණු 21-25ක්, 19-25ක් හා 18-25ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට සමත් විය.

අවසාන තරග වට තුනේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තායිලන්ත කණ්ඩායමට හොඳ තරගයක් දෙන්නට සමත් වුවත් එම  තරග වට වල අවසාන ලකුණු කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යන්නට තායිලන්ත ක්‍රීඩකයින් සමත් විය. කෙසේ වුවත් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, ජපාන කණ්ඩායම සමඟ පැවති තරගයට වඩා ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට තරගාවලියේ 9 වන ස්ථානය දිනා ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හෝ චීන කණ්ඩායම හා උස්බෙකිස්තානය සමඟ 9 සිට 11 ස්ථාන දක්වා තරග සඳහා තරග වැදීමට නියමිතයි.

මීට අමතරව ඉරානය සහ පකිස්ථානය A කාණ්ඩයෙන් ද, චීන තායිපේ සහ කසකස්තාන කණ්ඩායම් B කාණ්ඩයෙන් ද තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<