“අඩුපාඩු සියල්ල හදාගන්නවා” – නිසාම් අලී

332

2022 FIFA ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ 2023 ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව මුහුණදුන් තරගය මැකාවු රාජ්‍යය සමඟ පැවති අතර එම තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැකාවු කණ්ඩායම සමත් විය.

ප්‍රබල සටනකින් පසු නැවතත් ශ්‍රී ලංකාවට සෝසුසුම්

2023 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ…

එම තරගය, කටාර් හි තරග සංචාරය සහ ලාඕස තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු වන නිසාම් පකීර් අලී මහතා තම කණ්ඩායමේ දස්කම් පිළිබඳව අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා මැකාවු රාජ්‍යය අතර පැවති තරගය ගෝල 1-0 ක් ලෙස පරාජය වූ අතර එයට හේතුව ලෙස නිසාම් අලී මහතා පවසා සිටියේ තමන්ට මඟහැරුනු අවස්ථාවන් නිසා තරගය පරාජය වූ බවයි.

“කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. අනිවාර්යයෙන්ම අපිට අවස්ථාවන් ගොඩක් මඟහැරුනා. ඒත් එක්කම අපේ ආරක්ෂක පෙළ තරමක් දුර්වල වුනා. සමස්තයක් ලෙස කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. අපිට අඩුම ගෝල 4ක් 5ක් ලබාගන්න තිබුනා. ඒක හැම තැනකම තියෙනවා. කණ්ඩායම කෙතරම් හොඳින් ක්‍රීඩා කළත් අවසන් අවස්ථාවේදී ප්‍රතිවාදීන්ට ලැබෙන අවස්ථාවක ඔවුන් ගෝල ලබාගෙන ජයග්‍රහණය කරනවා.”

“අපි අපේ සියලු වැරදි පිළිබඳව වටහාගෙන ඉන්නවා. අපි ඒවට සූදානම් වෙලා ඉන්නවා. අපි ඒ වැරදි හදාගන්න පුහුණු වෙනවා. අපි මීළඟ තරගය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා.” යයි නිසාම් අලී මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලාඕසය අතර පැවති තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර අවසන් මිනිත්තු කිහිපයේදී තරග දෙකම පරාජය විය.

පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර තරගය අවසානයේදී ගෝල 1-2 ක් ලෙස පරාජය විය. දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර අවසානයේ ගෝල 2-2 ක් ලෙස තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් නිසාම් අලී මහතා පවසා සිටියේ ඔවුන් මැකාවු තරගය පිළිබඳව පමණක් අවධානය යොමු කළ බවත් තරගයේ අවසන් අවස්ථා වලදී නව ක්‍රීඩකයන් තරගයට යොමු කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්වූ බවත්ය.

“මගේ ප්‍රධාන අරමුණ වුනේ මැකාවු තරගය. ඒ හින්දා මම මගේ සැලසුම් වලට අනුව ක්‍රීඩකයන් යොදාගත්තා. ප්‍රතිවාදීන් ක්‍රීඩකයන් 5ක් 6ක් මාරු කරමින් තමයි ක්‍රීඩා කළේ. මම අත්‍යාවශ්‍ය වෙනස්කම් විතරයි කළේ. නව ක්‍රීඩකයන් යොදාගත්තම අවසන් මිනිත්තු වලදී එල්ල වෙන පීඩනය වැඩියි. මේ තරගවලදීත් ආරක්ෂක ක්‍රියාමාර්ග වල අඩුපාඩු තිබුනා.” යයි වැඩිදුරටත් අදහස් දක්වමින් අලී මහතා පැවසීය.

නවකයන්ගෙන් යන්න පුළුවන් උපරිම දුර යනවා – පකීර් අලී

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කරන කණ්ඩායම තේරීම සඳහා…

කණ්ඩායමේ ආරක්ෂක (defense) ක්‍රියාමාර්ග වල අඩුපාඩු පිළිබඳව අදහස් දක්වමින් නිසාම් අලී මහතා කියා සිටියේ එම අඩුපාඩු ශාරීරික යෝග්‍යතාවයේ ගැටලුවක් නිසා නොව තරගයේ සැලසුම් පිළිබඳව අවධානය ගිලිහී යාම නිසා ඇතිවූ බවයි.

“ශාරීරික යෝග්‍යතාවයේ කිසිඳු ගැටලුවක් නෑ. ඔවුන් 100% ක යෝග්‍යතාවකින් ඉන්නවා. ඔවුන්ට තරගයේ අවධානය ගිලිහී ගියා. මම ඒ පිළිබඳවත් අවධානය යොමු කළා. ලාඕසය සමඟ පැවති දෙවන තරගයේ ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා වෙන්නේ දඬුවම් පහරකින්. ඒක විනිසුරුවන්ට සිදුවූ අත්වැරදීමක්. ජූඩ් සුමාන් ඒ වේලාවේ ප්‍රතිවාදියාගේ ස්පර්ශ වෙලා තිබුනේ නෑ.”  

“අපේ ආරක්ෂක උපක්‍රමයේ වැරැද්ද වෙලා තිබුනේ ඔවුන් හිතන එකේ ගැටලුවක් නිසා. අපි ඒක හදාගන්නවා. ඔවුන් පන්දුව දිහා විතරයි බලන්නේ. ක්‍රීඩකයා දිහා බලන්නේ නෑ. අපි ඊයේත් ඒක දැක්කා. ආරක්ෂක ක්‍රීඩකයන් 4 දෙනාම එක තැනකට එනවා. එතකොට දකුණු පැත්ත විවෘත වෙනවා. අපි ඊයේ පැවති පුහුණු සැසියේදී මේ පිළිබඳව සාකච්ඡා කළා.”  

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු නිසාම් අලී මහතා තම කණ්ඩායම පිළිබඳව විශ්වාසයකින් පසුවන අතර කණ්ඩායමට තරගයේ අතිරේක කාලයේදී වුවද ජයග්‍රහණය කිරීමට තරම් මානසික යෝග්‍යතාවක් පවතින බව පවසා සිටියේය.

“අපේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් බොහෝදෙනෙක් අත්දැකීම් බහුල පරිණත ක්‍රීඩකයන්. ඔවුන් හැමෝම ප්‍රධාන පෙළේ සමාජ සඳහා ක්‍රීඩා කරන අය. චරිත කොළඹ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. පියුස්ලාස් ගත්තම ඔහු නිව් යංග්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. ජූඩ් සුමාන් රිනවුන් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. හර්ශ ගුවන් හමුදා ක්‍රීඩකයෙක්. ඒ ක්‍රීඩකයන් අවශ්‍යතාවය තේරුම් ගන්න තරම් පරිණත ක්‍රීඩකයන්.”  

ශ්‍රී ලංකා කණ්ඩායම මැකාවු සහ ලාඕස තරග වලදී අන්‍යෝන්‍ය සම්බන්ධතා වල දුර්වල ආකාරයක් පෙන්වූ අතර එයට හේතුව ලෙස නිසාම් අලී මහතා දක්වා සිටියේ මෙම ක්‍රීඩකයන් ස්වභාවයෙන්ම කතාබහින් අඩු බවයි.

“උදාහරණයක් විදිහට ජූඩ් සුමාන් ඉතාමත් නිහඬ ක්‍රීඩකයෙක්. ඔහු තවමත් තරුණයි. දැන් ඔහු තරමක් දුරට තරග වලදී කතා කරන්න පුරුදු වෙනවා. ඩක්සන් පියුස්ලාස් වුනත් කතා කරනවා අඩුයි. එතකොට තරගයට බාධා වෙනවා. මම හිතන්නේ ඔවුන් ඉදිරියේදී එම අඩුපාඩු හදාගනීවි.”

සටන්කාමී ශ්‍රී ලංකාව අවසන් මොහොතේ පරදියි

දෙවන අර්ධයේ අසාර්ථක උත්සාහයන් හමුවේ ශ්‍රී ලංකාව හා ලාඕසය අතර පැවති දෙවන සුහද තරගය…

කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්වන බව නිසාම් මහතා පවසා සිටියේය.

“මැකාවු තරගයේදී ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට ගොඩක් අවස්ථාවන් ලැබුනා. ආකීබ් සහ දිලීප් ට අවස්ථාවන් ලැබුනා. නමුත් තරගයේදී මෙම ක්‍රීඩකයන් එතරම් පරිණත නෑ. ඔවුන්ගේ අඩුපාඩු තියෙනවා. එක් තරගයකදී ඔවුන් අති විශිෂ්ට ගෝලයක් ලබාගත්තා. නමුත් අනික් තරගයේදී ඔවුන්ට පහසු අවස්ථාවක් මඟහැරුනා. මේ ක්‍රීඩකයන් වයස අවුරුදු 18ක් 19ක් වගේ වෙන ළාබාල ක්‍රීඩකයන්. ඔවුන්ට අත්දැකීම් ලැබෙන කොට හොඳ ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙයි. පරිණත වුනාම ඔවුන් ලැබෙන සෑම අවස්ථාවකින්ම ගෝල ලබාගනීවි.”

ලාඕසය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය එතරම් සතුටුදායක නොවූ අතර මොහොමඩ් ආකීබ් හට දෙවතාවක්ම කහ කාඩ්පතක් ලැබුනු අතර පසුව ඔහු තරගයෙන් ඉවත් කෙරිනි.

“පළමු කහ කාඩ්පත නිකුත් කිරීම සාධාරණයි. ඔහු ගෝලය ලබාගත්තට පස්සේ තම ජර්සිය වීසි කළා. ඔවුන් ළාබාල ක්‍රීඩකයන්. ඔවුන්ට එවන් අවස්ථාවක් ලැබුනම ඔවුන් ගොඩක් උද්දාමයට පත්වෙනවා. මේක ඔවුන්ට ලොකු තරගයක්. ඔවුන් ගෝලයක් ලබාගත්තම එහෙම වෙනවා. දැන් අපි නව තරග නීති ගැන ඔවුන්ට අවශ්‍ය අවබෝධය ලබාදීලා තියනවා. තරගයේදී නොකළ වරදකට දඬුවම් පහරක් ලබාදුන්නම ඒකට ප්‍රතිචාර දක්වන එක සාධාරණයි. මම වුනත් එහෙම ප්‍රතිචාර දක්වනවා. පසුව ඔබලා දකින්න ඇති කිසිම ක්‍රීඩකයෙක් විනිසුරු සමඟ වාද කළේ නෑ.”

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<