කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්

1247

ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම වේගපන්දු යවන්නා ඔහුය. දැඩි හිරුරැස් පතිත වන පරිසරයක වියැලී කඩතොළු වූ තණතිල්ලක් මතත්, වැසි වළාකුළු පිරි අහසක් සහිත ශීත පරිසරයක තණකොළ පිරුණු තණතිල්ලක් මතත් එක හා සමානවම පන්දුවෙන් දස්කම් පෙන්විය හැකි ශ්‍රී ලංකාව බිහි කළ තීක්ෂණම බුද්ධියක් සහිත වේගපන්දු යවන්නා ඔහුය.

වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝසප් චමින්ද වාස්

ශ්‍රී ලාංකිකයන්ගේ නම් ස්වභාවයෙන්ම තරමක් දිගය. වාසගම් එකකින් නොනැවතී වාසගම් දෙක තුනක් පවා භාවිතා කරන ඇතැම් මිතුරන් ඔබටත් සිටිනවා විය හැකිය. ඒ ඇතැම් වාසගම් උච්චාරණය කිරීම පවා තරමක් අපහසුය. ක්‍රිකට් පිටිය තුළ දී ද බොහෝ විදේශීය ක්‍රීඩකයන් හා විස්තර විචාරකයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් උච්චාරණය කිරීමේ දී බොහෝ අවස්ථාවල දී අකරතැබ්බයට මුහුණ දීමට සිදුවන අයුරු නිතර දක්නට ලැබේ.

මුලකුරු 5ක් සමඟින් යෙදෙන වාස්ගේ නම ද ඉතා දිග එකකි. පහත වීඩියෝවේ එංගලන්ත හිටපු නායක මෙන්ම ප්‍රවීණ විස්තර විචාරක, “බම්බ්ල්” යන සුරතල් නමින් හඳුන්වන ඩේවිඩ් ලොයිඩ් දිව පටලවා ගනිමින් උච්චාරණය කරන පරිදි ඔහු “වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝසප් චමින්ද වාස්” ය.

ටෙස්ට් කඩුලු 355ක් සහ එක්දින කඩුලු 400ක් දවාගෙන ඇති වාස් ක්‍රිකට් පිටිය තුළ පෑ දස්කම් බොහොමයක් අතර එක්දින ජාත්‍යන්තර තරගවල දී පන්දු යවන්නෙකු විසින් වාර්තා කළ හොඳම පන්දු යැවීම  (2001 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක්), එක්දින තරගයක පළමු පන්දු තුනේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීම (2003 ලෝක කුසලානයේ දී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ) යන වාර්තා කැපී පෙනෙයි.

Doctor Death

වාස්ට පටබැඳුනු නාමයන් අතර Doctor Death (ඩොක්ට ඩෙත්) යන නම පටබැඳීමට හේතුවූවා යැයි කියැවෙන කරුණු දෙකකි.

ඉන් එකක් නම් වෛද්‍යවරයෙකු රෝගියාට නොදැනෙන්නට ප්‍රතිකාර කරන අයුරින්ම ඔහු පන්දුවාර තුන හතරක් පුරාවට සෙමෙන් සෙමෙන් පන්දුවෙන් පන්දුව පිතිකරුවාට නොදැනෙන්නට පිතිකරුවාව ක්‍රමයෙන් තම සැලසුමට ගොදුරු කරගන්නා නිසා ය.

අනෙක් කරුණට අදාළ වූ සිදුවීම මෙසේ ය.

2004 වසරේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් කඩුලු 5ක් දැවී ලකුණු 238ක් ලබාගෙන සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තම ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු වාරයට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 8ක් පමණි.

පන්දුවට පහර දෙමින් සිටියේ මයිකල් බෙවන් සහ ඇන්ඩෲ සයිමන්ඩ්ස් යන දෙදෙනාය. ක්‍රිකට් ගැන දන්නා ඕනෑම අයෙකුට සයිමන්ඩ්ස්ගේ හෝ බෙවන්ගේ ප්‍රහාරාත්මක හැකියාව ගැන කිව යුතු නොවේ. ඔවුන් දෙදෙනා එවක සිටියේ දෑස් වසාගෙන වුවද පන්දු වාරයකට ලකුණු 8ක් රැස් කරගත හැකි තරමේ රිද්මයක ය.

අවසාන පන්දුවාරයට ලකුණු 8 රැකගැනීමේ අභියෝගය පැවරුණේ වාස් වෙතය. එහි දී දැඩි පීඩනයක් මධ්‍යයේ වුවද පිට පිටම යෝකර් පන්දු කිහිපයක් යොමු කරමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු කරවන්නට වාස් සමත් වූයේ එම පන්දු වාරයට ලකුණු 6ක් පමණක් ලබා දෙමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 244කට සීමා කරමිනි.

එහි දී වාස් අවසන් පන්දුවාර (death overs) යැවූ ආකාරය නිසාවෙන් එතැන් පටන් ඔහුව Doctor Death නමින් හැඳින්වීමට පටන්ගත් බව කියැවේ.

කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්

ක්‍රිකට් ක්‍රීඩකයන් හට බොහෝ විට පාරක තොටක නිදහසේ ඇවිද යාමට හෝ සාප්පුවකට ගොස් යමක් මිල දී ගැනීමට තරම් නිදහසක් හිමි නොවේ. එසේ සිදු වන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර නිසාය.

ඉන්දියාව වැනි රටවල් වල නම් ක්‍රිකට් ක්‍රීඩකයන් හට ඇතැම් අවස්ථාවල දී පුද්ගලික ආරක්ෂකයන් පවා යොදවා ගැනීමට සිදුවන අවස්ථා දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් එතරම් උමතු පිරිසක් නොවූවත් දකින සෑම අයෙකුටම සිනාවකින් හෝ ආචාර කිරීමට සිදුවීම නිසා ක්‍රිකට් ක්‍රීඩකයන් හට බොහෝ විට නිදහසේ ගමන් බිමන් යාමට අවකාශ හිමි නොවේ.

Photo Credit – Theindianexpress.com

1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට ද ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතා වැඩි වශයෙන් ලැබෙන්නට වූ අතර එවකට කඩවසම් තරුණයෙකු වූ වාස්ට ද යොවුන් වියේ තරුණියන්ගේ ආකර්ෂණය නොමදව ලැබුණි. තරුණ අවධියේ දී බස් රථවල පා පුවරුවේ ගමන් කිරීම ප්‍රිය කළ වාස් එකල බස් රථවල ගමන් කරන විට තමා හඳුනා ගැනීමට නොහැකි වන සේ කැප් එකක් පැළඳගෙන බස් රථවල පා පුවරුවේ ගමන් කළ අතර ඒ බොහෝ අවස්ථාවල දී කිසිවකුගේ අවධානයට ලක් නොවී ගමන් කරන්නට ඔහුට හැකියාව ලැබුණි.

අමතක නොවෙන විලාසිතා

ක්‍රීඩාව කුමක් හෝ වේවා ක්‍රීඩකයන් අතර කොණ්ඩා විලාසිතා ඉතා ජනප්‍රිය ය. විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන් අතර මෙය වඩාත් ජනප්‍රිය ය. චමින්ද වාස් ද කොණ්ඩා විලාසිතාවලට ඇල්මක් දැක්වූ ක්‍රීඩකයෙකි. විවිධ කාලවල දී විවිධ කොණ්ඩා විලාසිතාවලට මාරු වූ වාස්ගේ එකී ස්වරූපයන් කිහිපයක් පහත ඡායාරූපයෙන් දක්වා ඇත.  

Photo credits – cricbuzz.com, gettyimages.comcr

ක්‍රිස් ගේල් සහ චමින්ද වාස්

“ඒක රහසක් නොවෙයි. ඔව්, මම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ක්‍රීඩා කරපු බොහෝ අවස්ථාවල දී ඔහු මාව දවා ගත්තා.”

(It’s no secret. Yes, he has got me out the majority of times in Test cricket whenever I play against Sri Lanka.)

මේ ක්‍රිස් ගේල් විසින් චමින්ද වාස් ඔහුව පහසුවෙන් දවා ගැනීම පිළිබඳව අදහස් පළ කළ ආකාරයයි.

මෙහි දී සැලකිය යුතු කරුණ වන්නේ ගේල් වැනි ප්‍රබල ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වාස් විසින් අසරණ කර ඇති ආකාරයයි. මේ දෙදෙනා මුහුණට මුහුණ හමු වූ අවස්ථාවල දී වාස් විසින් ගේල් වෙත පන්දු 59ක් යොමු කර ඇත. එම පන්දු 59ටම ගේල් රැස් කර ඇත්තේ ලකුණු 10ක් පමණි. එල්ල කර ඇති හතරේ පහර ගණන එකක් පමණි. එක් ඉනිමක සාමාන්‍යය දැක්වෙන්නේ ලකුණු 1.42ක් වශයෙනි.

ගේල් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කර ඇති ඉනිම් 182 අතරින් අවස්ථා 15ක දී ලකුණු නොලබා දැවී ගොස් ඇති අතර ඉන් අවස්ථා 5ක දී ම ඔහු දවාගෙන ඇත්තේ වාස් විසිනි.

ගේල් ? ඇයි සචින් ?

වාස්ගේ පන්දු හමුවේ අසරණව ඇත්තේ ගේල් පමණක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයෙකු ලෙස හඳුන්වන සචින් ටෙන්ඩුල්කාර් පවා වාස්ගේ පන්දු හමුවේ අසරණ වූ බව දත්ත විමසා බැලූ විට පෙනී යයි.

අවස්ථා 9 කදී වාස් විසින් සචින් දවාගෙන ඇති අතර එය එක් පන්දු යවන්නකු විසින් සචින්ව දවාගත් වැඩිම වාර ගණනයි.

තවද වාස් විසින් දකුණු අප්‍රිකාණු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ද  අවස්ථා 7 ක දී ලකුණු නොලබා දවා ගැනීමට සමත් වී ඇත.

පන්දුවෙන් විතරම ද?

පන්දු යැවීමෙන් පමණක් නොව කණ්ඩායමට අවශ්‍ය අවස්ථාවල දී පිතිකරණයෙන් ද තම දායකත්වය දැක්වීමට වාස් අමතක කළේ නැත. වාස් ටෙස්ට් ශතකයක් පවා රැස් කළ ක්‍රීඩකයෙකි.

2007 වසරේ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී ප්‍රසන්න ජයවර්ධන සමඟින් එක්ව හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 223ක නොබිඳුණ සම්බන්ධතාවයක් පිහිටුවීමට වාස් සමත් විය. එහි දී මිනිත්තු 213ක් තුළ පන්දු 169කට මුහුණ දුන් වාස් නොදැවී ලකුණු 100ක් රැස් කළේ හතරේ පහර 7ක් ද සමඟිනි.

තම මංගල ශතකය රැස් කිරීම පිළිබඳව වාස් අදහස් දක්වා තිබුණේ මේ අයුරින්.

ක්‍රිකට් කියන්නෙ මානසික ක්‍රීඩාවක්. මම අර්ධ ශතක රැස් කරලා තිබුනත් සමහර අවස්ථාවල දී අනෙක් අන්තයේ පිතිකරුවෙක් නොමැති වීම නිසා මට ඒවා ශතක බවට පරිවර්තනය කරන්න බැරිවුනා. ටෙස්ට් ක්‍රීඩකයෙක්ට වඩාත්ම වැදගත් දේ තමයි ශතකයක් රැස් කරන එක..

“Cricket is a mind game. I had several fifties which I couldn’t convert into hundreds at times because I ran out of partners. Getting a hundred is the most important thing for a Test cricketer.”

මූලාශ්‍ර – ක්‍රිකට්ලොව සඟරාව, ක්‍රීඩා සඟරාව, espncricinfo.com වෙබ් අඩවිය

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<