ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා සිහිනයට හොංකොං හරස් වෙයි

362

පළමු අර්ධය තුළ දැක්වූ ප්‍රබල ප්‍රතිරෝධය මගින් මෙරට ක්‍රීඩාලෝලීන් තුළ බලාපොරොත්තු දල්වන්නට සමත් වුවත්, සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ තවත් දැවැන්ත පරාජයක අත්දැකීම විඳ ගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායමට සිදු වුනේ ලෝක ශූරතා කනිෂ්ඨ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන අදියරේ දී යි.

පරාජයේ අළු මතින් ජයග්‍රහණයට සැරසෙන යොවුන් ඇතුන්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ආසියානු ශූරතා රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාව සඳහා ශ්‍රී ලංකාව හා හොංකොං තරග…

ආසියානු වයස අවුරුදු 19න්  පහළ රග්බි තරගාවලියේ දෙරට අතර තරගයේ දෙවන අදියර ඊයේ (16) පස්වරුව් හොංකොං පාපන්දු සංගම් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

හොංකොං කණ්ඩායම මෙම තරගයට පිවිසුණේ කොළඹ පැවති පළමු අදියරේ දී ලද ලකුණු 37-08ක ජයග්‍රහණයේ වාසිය ද සමඟයි.

පළමු අර්ධයේ දී ශ්‍රී ලංකා යෞවනයින් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කරන්නට සමත් වූ නමුත්, සත්කාරකයන් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට මාකස් රමාජ් අවස්ථාව උදා කර ගනිද්දී එහි ප්‍රවර්තනය නිවැරදිව එල්ල කළේ පෝල් ඇල්ටයර් විසිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම යම් ක්‍රීඩක සංයෝග වෙනසක් සිදු කිරීමට ගත් තීරණයට අනුව හෂාන් මධුමාධව සහ රැන්ඩි සිල්වා නිසි පාලනයක් සහ වේගයක් තරගයට එක් කරන ලදි.

නමුත්, හොංකොං කණ්ඩායමේ සම නායක මැක්ස් ඩෙන්මාක් අතට පන්දුව ලැබීමත් සමඟ ඔහුව නවතන්නට කිසිවෙකුත් සමත් නොවූ අතර පිටියේ දකුණු අන්තයෙන් දිව ගිය අංක 8 ක්‍රීඩකයා ආරක්ෂකයන් තිදෙනෙක් මග හරිමින් දෙවන ප්‍රවර්තිත උත්සාහක දිනුමේ හිමිකම තහවුරු කර ගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් තරගයේ පාලනය ගිලිහී යමින් තිබූ මොහොතක යම් බලාපොරොත්තුවක් එක් කරන්නට සමත් වුනේ ෆුල් බැක් ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දු වාර්තා කළ උත්සාහක දිනුමයි. 25 වන මිනිත්තුවේ දී වාර්තා වූ මෙම උත්සාහක දිනුමට ඔහු විසින්ම අතිරේක ලකුණු ද එකතු කරන්නට කටයුතු කරද්දී ශ්‍රී ලංකාව පළමු අර්ධයෙන් පසු විවේකය සඳහා ක්‍රීඩාගාරය වෙත ඇදුණේ යම් විශ්වාසයක් ද සමඟයි.

පළමු අර්ධය : හොංකොං 14 – ශ්‍රී ලංකාව 07

කෙසේ වෙතත් දෙවන අර්ධය තුල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නැගිටීම මනාව පාලනය කළ සත්කාරක කණ්ඩායම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් සතු කර ගත්තේ ගෝල සීමාවට මීටර් 5ක් මෙපිටින් ලැබුණු ස්ක්‍රම් අවස්ථාවක් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගැනීමත් සමඟයි.

ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සියල්ල සිඳී ගිය බවක් දක්නට ලැබුණි. ඉන් උපරිම ප්‍රයෝජන ගත් හොංකොං කණ්ඩායම තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් කෙටි කාලයක් තුළ වාර්තා කරන්නට සමත් වූ අතර ජේ කූක් සහ කැලම් ටෑම් ඒවායේ හිමිකරුවන් බවට පත් විය.

ඉන් එක් අවස්ථාවක ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ ඇල්ටයර් විසිනුයි (33-07).

හොංකොං ක්‍රීඩකයින් යොවුන් ඇතුන්ගේ දළ සිඳියි

ද්විපාර්ශවීය සටනේ ශ්‍රී ලාංකේය ජයග්‍රහණ ඉඩෝරය තව දුරටත් දිගු කරවමින්, ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා බලාපොරොත්තු තවත් ඈතට පා කර හරින්නට හොංකොං කණ්ඩායම අද සමත් විය.

වේගවත් මාකස් රමාජ් තරගයේ අවසානය වර්ණවත් කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී ලකුණු 40-07ක විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් ලෝක ශූරතා කනිෂ්ඨ රග්බි තරගාවලියේ සිය ස්ථානය තහවුරු කර ගන්නට හොංකොං කණ්ඩායමට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකා යෞවනයන් සිය උපරිම උත්සාහය යෙදුව ද, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අසාර්ථක වූ අතර දෙවන අර්ධය ආරම්භයේ දී ඔවුන්ට ලකුණු ලබා ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් මග හැරී ගියේ සෙන්ටර් ක්‍රීඩකයන් අතින් පන්දුව ගිලිහී යාම හේතුවෙනුයි.

මේ අනුව හොංකොං හමුවේ ලද පරාජයන් දෙකකින් ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායමේ වසර අවසානය සනිටුහන් වන අතර ලබන වසර තුල දී ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීම පිළිබඳ ජාතික සංගමය වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වනු ඇති.

හොංකොං කණ්ඩායම සිය ස්ථානය වෙන් කර ගත් ලෝක ශූරතා යොවුන් රග්බි තරගාවලිය ලබන වසරේ දී උරුගුවේ රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ය.  

ThePapare.com තරගයේ වීරයා – පෝල් ඇල්ටයර් (හොංකොං)

තරග ප්‍රතිඵලය : හොංකොං 40 (P6, C5) – ශ්‍රී ලංකාව 07 (P1,C1)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්:

  • හොංකොං –  මාකස් රමාජ් (2P), මැක්ස් ඩෙන්මාක් (1P), පෝල් ඇල්ටයර් (1P 5C), ජේ කූක් (1P), කැලම් ටෑම් (1P)
  • ශ්‍රී ලංකාව – චමෝද් ප්‍රනාන්දු (1P), චමෝද් ප්‍රනාන්දු (1C)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<