දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම දකුණු ආසියානු දැල්පන්දු තරගාවලිය නේපාලයේ දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන අතර ශ්‍රී ලංකාව ද ඇතුලත්ව තවත් කණ්ඩායම් 6ක් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය.

Photos: Sri Lanka U16 Netball Squad | South Asian U16 Netball Championship 2019

ThePapare.com | Hiran Weerakkody | 16/10/2019 | Editing and re-using images without permission….

ප්‍රථම වතාවට සංවිධානය වන මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින හා සත්කාරක නේපාලය සහභාගි වීමට නියමිතය. තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු හි යුධ හමුදා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුලත් වන අතර කණ්ඩායම් නායකත්වය හිමිව ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ නෙත්මි විජේනායකටය. කණ්ඩායමේ වැඩි ක්‍රීඩිකාවන් පිරිසක් කළුතර හා කුරුණෑගල නියෝජනය කරයි.

කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරන අතර මියුසියස් විද්‍යාලය, කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය  නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට ඇතුළත් වේ.

මහනුවර උසස් බාලිකා විද්‍යාලය, දෙහිවල ප්‍රෙස්බටිරියන් බාලිකා විද්‍යාලය හා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාව බැගින් මෙම සංචිතයට ඇතුළත් වේ.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දැල්පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන අමල්කා ගුණතිලක කටයුතු කරයි. පසුගිය වසර කීපය තුල දී ඇය පුහුණුකාරීත්වය දැරූ පාසල් වල දක්ශතා ඉහල මට්ටමක පැවති අතර එය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි.

ඇය කණ්ඩායමේ සූදානම පිළිබඳව ThePapare.com සමඟින්. අදහස් දක්වා සිටියා.

“අපි බොහෝ මෑතක තමයි කණ්ඩායම තෝරාගත්තේ. නමුත් අපිට පුළුවන් වුනා හොඳ සූදානමක් ලබාගන්න. පසුගිය දින කීපය තුල හොඳ පුහුණු සැසි කීපයක් පැවැත්වූවා. අපේ බලාපොරොත්තුව තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම. කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩිකාවන් ගැන කියනවා නම් නෙත්මි විජේනායකට ප්‍රධාන තැනක් හිමි වෙනවා. මැද පෙළ ක්‍රීඩිකාවන්ගෙන් නතාශා ඩයස් ප්‍රබල ක්‍රීඩිකාවක්.”

Photos: U16 National Netball Team Practice Session 2019

ThePapare.com | Hiran Werakkody | 15/10/2019 Editing and re-using images without permission of ThePapare.com….

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 16 වැනිදා නේපාලය බලා පිටත්ව ගිය අතර ඒ සමඟ පුහුණුකරු අමල්කා ගුණරත්න හා කණ්ඩායම් බාර නිලධාරී ලෙස ශිරන්ති රාජපක්ෂ ද නේපාලය බලා ගොස් ඇත.

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම

නෙත්මි විජේනායක (මියුසියස් විද්‍යාලය), හිරුණි හේශානි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කුරුණෑගල), හිරුණි ජිනාලි (මලියදේව බාලිකා විද්‍යාලය – කුරුණෑගල), මහීශා බංඩාර (උසස් බාලිකා විද්‍යාලය – මහනුවර), රිශිනි සෙව්වන්දි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කුරුණෑගල), රන්දුලි රූබසිංහ (මියුසියස් විද්‍යාලය), රශ්මි අංජලිකා (ප්‍රෙස්බටිරියන් බාලිකා විද්‍යාලය – දෙහිවල), රමාධි ගමගේ (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කළුතර), ක්‍රිශ්මි දිනෙත්‍යා (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කළුතර), සෙනුති දිලක්නා (කළුතර බාලිකා විද්‍යාලය), දිශාරි අදීශා (කළුතර බාලිකා විද්‍යාලය), නතාශා ඩයස් (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කුරුණෑගල)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<