සදීර සහ අසලංක ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙන යයි

6006
Sri Lanka Emerging v Bangladesh Emerging

ආසියානුකරයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමුඛ පෙළ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන්නට අද (01) ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. ඒ අනුව මෙම තරගාවලියේ කිසිදු තරගයක් පරාජයට පත් නොවී අවසන් පූර්ව වටය දක්වා පැමිණි සත්කාරක බංගලාදේශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

සදීරගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ආසියානු මහාද්වීපයේ නැගී එන කණ්ඩායම් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් සටන් වදින උණුසුම් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ තරඟ පැවැත්වුනු…

පිතිකරුවන්ට සහයෝගයක් දක්වන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබූ චිතගොං තණතීරුව මත දී කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ නායක මොමිනුල් හක් දෙවරක් නොසිතාම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ බංගලාදේශ පිතිකරුවන් මුල් පන්දුවාර හය තුලදී ලකුණු 20ක් ලබා ගනිමින් සුපරික්ෂාකාරී පිතිකරණ රටාවක් අනුගමනය කළහ. නමුත් සත්වැනි පන්දු වාරය ආරම්භ කළ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ප්‍රථම පන්දු තුනෙන්ම කඩුලු 3ක් දවා ගනිමින් බංගලාදේශයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් විය. අෆීෆ් හුසේන්, මොමිනුල් හක් සහ නස්මුල් හුසේන් ඔහුගේ මෙම සුපිරි වික්‍රමය හමුවේ නැවත ක්‍රීඩාගාරයට හැරී ගිය පිතිකරුවන් බවට පත්වූහ.

මෙම තරගාවලියේ ප්‍රබල පකිස්තානු කණ්ඩායම සමග පැවති තරගය පවා ලකුණු සම වීමෙන් නිමා කර ගත් බංගලාදේශයට තම මුල්පෙළ කඩුලු 3ක් එක් ක්ෂණයකින් අහිමි වී යාම බරපතල පාඩුවක් බවට පත්විය. ඒ වන  විට ඔවුන්ට ඉතිරිව තිබූ එකම විකල්පය බවට පත්වූයේ මන්දගාමී ලෙස පන්දුවට පහර දෙමින් තම ඉතිරි කඩුලු කිහිපය ආරක්ෂා කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකා පිළේ සියලුම පන්දු යවන්නන් මනා සංයමයකින් පන්දු යැවීම හේතුවෙන් කිසිදු බංගලාදේශ පිතිකරුවෙකුට විශාල ඉනිමක් ගොඩ නැගීමට හැකි නොවීය.

බංගලාදේශ නැගී එන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස මොහොමඩ් සයිෆුද්දින් ලකුණු 41ක් රැස්කල අතර නසීර් හුසේන්ගේ පිත්තෙන් ලකුණු 38ක් ගලා ආවේය. කෙසේවෙතත් බංගලාදේශ වෙනුවෙන් 8වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු අර්ධ ශතක සබඳතාවය හේතුවෙන් ඔවුන්ට ලකුණු 179ක් රැස්කර ගැනීමේ අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක් ගෙන දුන් අසිත ප්‍රනාන්දු ලකුණු 33කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර අමිල අපොන්සු සහ චාමික කරුණාරත්න වැනි පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් බංගලාදේශය අඩු ලකුණු ගණනකට සීමා කළහ.

ඒ අනුව නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා පිළට හිමිවූයේ ලකුණු 180ක පහසු ඉලක්කයකි. කෙසේ වෙතත් තම මව්බිමේදීම ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට සූදානම් නොවූ බංගලාදේශ පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 15ක් එක්වන විට රොන් චන්ද්‍රගුප්ත සහ ශෙහාන් ජයසූරිය නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ට එල්ල වූයේ සුළුපටු පීඩනයක් නොවේ.

නමුත් එම අභියෝගාත්මක අවස්ථාවේ පිටියේ එක්වුණු සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක ඉතාමත් ප්‍රශංසනීය අයුරින් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිළට කඩුලු 8ක විශිෂ්ට ජයක් තිලිණ කළහ. සදීර අද හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 88ක් රැස්කර ගත් අතර අසලංක හයේ පහර 9ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත කරමින් නොදැවී ලකුණු 83ක් රැස් කළේය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම තුරුම්පු දෙක වන මොවුන් දෙදෙනා අර්ධ අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් පූර්ව තරගයේ දී ද ශතකය බැගින් වාර්තා කරමින් සුපිරි දක්ෂතා දැක්වූහ.

අද ක්‍රියාත්මක වුනු අනෙක් අවසන් පූර්ව වටයේ තරගයේ දී ලකුණු 123කින් ඇෆ්ගනිස්තානය පරාජය කල පකිස්තානු නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරගයේ දී කුසලානය වෙනුවෙන් සටන් වැදීම සඳහා සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව මූලික වටයේදී ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ගමන නිමාවිය. තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (03) චිතගොං හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බංගලාදේශ නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 49.3): මොහොමඩ් සයිෆුද්දින් 41, නසීර් හුසේන් 38, සයිෆ් හසන් 32, අබුල් හසන් 23, අසිත ප්‍රනාන්දු 4/33, අමිල අෆොන්සු 1/10, ඇන්ජෙලෝ පෙරේරා 1/13, චාමික කරුණාරත්න 1/25.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 180 (පන්දුවාර 38.5): සදීර සමරවික්‍රම 88*, චරිත් අසලංක 83*, ශෙහාන් ජයසූරිය 6, නයීම් හසන් 1/28, මොහොමඩ් සයිෆුද්දින් 1/45.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට