ලහිරුට අහිමිව ගිය ලකුණු හතර

351
Sri Lanka development vs South Africa Emerging team 2nd test day 3

කැරබෝ මොගොට්සි ගේ විශිෂ්ට ඉණිමක් සමගින් ඇරඹුණු දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර දෙවන සිව්දින තරගයේ තෙවන දිනය පිටෝරියා හිදී ඊයේ (23) නිමාවට පත්වූයේ, ලහිරු මිලින්ත විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ බලාපොරොත්තුවක් ද ඉතිරි කරමිනි. තෙවන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 467ක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ලංකාවත් දකුණු අප්‍රිකාවත් කරට කර සටනක්

ඊයේ දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 98ක් ලබාගැනීමට සමත්ව තිබිණි.

දෙවන කඩුල්ල සදහා පිටිය වර්ණවත් කරමින් ජවය පිරි ලකුණු 105ක අනර්ඝ සබඳතාවයක් ගොඩනැංවීමට ලහිරු හා හශාන් දුමිදු සමත් විය. එහිදී හශාන් 4 පහරවල් 9ක් සමඟ ලකුණු 49ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.

නායක රුමේෂ් බුද්ධික තමා මුහුණ දුන් දෙවන පන්දුවෙන්ම දැවීගිය අතර 4 වන කඩුල්ල සඳහා පිටියට පැමිණි සඳුන් වීරක්කොඩි හා ලහිරු ලකුණු 164කට කඩුලු 3ක් ලෙස සටහන් වූ ලකුණු පුවරුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම මවිත කරමින් තවත් වේගවත් ලකුණු 176ක සබඳතාවයක් ගොඩනංවමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ද ඉහළ නැංවීමට සමත් විය.

එම සම්බන්ධතාවයට තිත තබමින් සඳුන් වේගවත් 4 පහරවල් 11ක් හා එක් 6 පහරකින් තම ඉණිම වර්ණවත් කර සිටියදී මුබුලෙලෝ බුඩ්සා ලකුණු 78කට ඔහුව දවාලීමට සමත් විය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සටහන කඩුලු 4ක් දැවී ලකුණු 340ක් ලෙස සටහන් විය.

අනතුරුව ලහිරු සමඟ එක්වූ ලක්ෂාන් ජයසිංහට එක් 4කට පමණක් ඉඩහසර වෙන්කර දෙමින් ලකුණු 5කට 5 වන කඩුල්ල ලෙස දැවීයාමට සිදුවිය. සංජය චතුරංග 4 පහරවල් 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 27ක් ලබාගන්නා ලදි.

දිනයේ අවසන් කඩුල්ල, ශ්‍රී ලංකා ඉණිම පුරා සිංහනාදය පැතිර වූ ක්‍රීඩක ලහිරු, තම ද්විත්ව ශතකයට තවත් ලකුණු 4ක් පමණක් ලබාගැනීමට තිබියදී ලකුණු 196කට දැවීයාම කාගේත් අවධානයට යොමු විය. ඔහුගේ ඉණිමට අලංකාරවත් 4 පහරවල් 31ක් හා දැවැන්ත 6 පහරවල් 4ක් ඇතුළත් විය.

තෙවන දිනය නිමාවන විට,

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම – 467-07 (119) ලහිරු මිලන්ත 196, සඳුන් වීරක්කොඩි 78, හශාන් දුමිදු 49, නිමන්ත ප්‍රනාන්දු 36*, මුබුලෙලෝ බුඩ්සා 3/77

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 121ක් දකුණු අප්‍රිකානු පළමු ඉණිමට වඩා පසුපසින් සිටියි.

අද (24) තරගයේ 4 වන හා අවසන් දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට