දකුණු අප්‍රිකානුවන් ඉහල තැනක

288

සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය වන දෙවන සිව්දින තරගයේ පළමු දිනය  අද (21) දකුණු අප්‍රිකාවේ පිටෝරියා හිදී ආරම්භ විය. අද දිනය සඳහා තරඟය නිමාකරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 405ක් ලබාගෙන සිටින ලදි.

පසුගිය ලිපි: දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට ජය

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර කැරබෝ මොගොට්සි හා සයිමන් කොහොමාරි පළමු කඩුල්ල සඳහා ලකුණු 122ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර, එම සබඳතාවයට තිත තබමින් දක්ෂ ඉණිමක් දියත් කරමින් සිටි කොහොමාරිව ලකුණු 59ක් ලබා සිටියදී බිඳ දැමීමට අකිල ධනංජය සමත් විය. කෙසේ වෙතත් ඒ වනවිට කොහොමාරි 4 පහරවල් 6ක් හා එක් 6 පහරක් තම නම ඉදිරියෙන් සටහන් කිරීමට සමත් විය.

අනතුරුව දෙවන කඩුල්ල සඳහා මොගට්සි හා නායක ජොකොබ්ස් ලෙවුස් ඩියු ප්ලොයි තවත් ලකුණු 86ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එම සබඳතාවය නිමාවට පත්කරමින් රුමේෂ් බුද්ධික යොමුකළ පන්දුවක් ප්ලොයි ගේ පාදයේ වැදුණු අතර එය කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවිය. ප්ලෝයි ලකුණු 42කට දැවීගිය අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 6ක් ඇතුළත් විය.

ලකුණු 208කට කඩුලු 2ක් දැවීගොස් තිබියදී ඇරඹුණු තෙවන කඩුල්ල සඳහා වන සබඳතාවය ලකුණු 67ක් දක්වා පවත්වාගෙන යාම සඳහා මොගොට්සි හා අබ්ඩු ගෙලෙයිම් ක්‍රියාත්මක වූ අතර, පාලනයකින් යුතුව පන්දුවට පහරදෙමින් සිටි ගෙලෙයිම්ව ලකුණු 30කට දවාලීමට නිමන්ත ප්‍රනාන්දු සමත් විය. ගෙලෙයිම් 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමඟ එම ලකුණු 30 රැස්කර ගන්නා ලදි.

දිනය නිමාවන විට දිනය ආරම්භ කල පන්දුවේ සිටම දිනය අවසන් පන්දුව දක්වා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් 4 පහරවල් 15ක් සමඟ ලකුණු 155*ක් නොදැවී ලබාගැනීමට මොගොට්සි සමත් විය. එම ඉණිම ඉතාමත් අනර්ඝ ඉණිමක් වූ අතර ඔහුට සහය දෙමින් අනිත් අන්තයේ ක්‍රීඩා කල මාර්කස් අකෙර්මාන් 4 පහරවල් 14ක් හා 6 පහරවල් 2ක් සමඟ නොදැවී ලකුණු 91*ක් ලබාගෙන කඩුල්ලේ රැදී  සිටින්නේ 4 වන කඩුල්ල සඳහා ලකුණු 130*ක නොබිදුනු සබඳතාවයක් ද පවත්වාගෙන යමිනි.

තවද මෙම තරඟයට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ අමිල අපෝන්සු සහභාගි නොවූ අතර ඔහු අද ආරම්භ වූ  ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු එක්දින  තරඟාවලිය සඳහා සහභාගි වීම සංවර්ධන කණ්ඩායම තව තවත් මෙම තරඟය තුළ අපහසුතාවට පත්කරන ලදි.

පළමු දිනය අවසන් වන විට,

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම – 405-3 (82) කැරබෝ මොගොට්සි 155*, මාර්කස් අකෙර්මාන් 91*, සයිමන් කොහොමාරි 59,  රුමේෂ් බුද්ධික 1/42

හෙට (22) තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට