සංවර්ධන ක්‍රීඩකයෝ අවසන් තරගයත් පරාදයි

284
sandun weerakkodi

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට අදාළ අවසන් තරගයත් අවසන් වූයේ පරාජයකිනි. දකුණු අප්‍රිකා නැගී එන ක්‍රීඩකයන් හමුවේ තරග තුනකදී ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ලද තුන්වන පරාජය මෙයයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම තුන්කොන් සටනින් ඉවතට

ප්‍රිටෝරියා හීදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

සඳුන් වීරක්කොඩි හැරුණු විට අන් කිසිදු පිතිකරුවෙක් සාර්ථක නොවීම හේතුවෙන් මෙම ඉනිමේදීත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව සාර්ථක අගයක් වෙත ගෙන යාමට නොහැකි විය.

මෙම තුන්කොන් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ දක්නට ලැබුණු අඩුපාඩුවක් නම්, එක් පිතිකරුවෙක් සාර්ථක ඉනිමක් ගොඩනගන විට ඔහුගේ සහයට අනෙක් අන්තයේ සාර්ථක පිතිහරඹයක යෙදීමට කිසිවෙකුත් සමත් නොවීමයි.

මේ තරගයේදීත් සඳුන් වීරක්කොඩි හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග අගනා ශතකයක් රැස් කල අතර, පන්දු 49කින් ලකුණු 32ක් රැස් කළ පබසර වඩුගේ හැරුණු විට අන් කිසිදු පිතිකරුවෙක් ලකුණු 25 සීමාවට හෝ ලඟා වන්නට සමත් වුයේ නැත.

පසුපෙළ පිතිකරුවන් කඩුල්ලේ රැඳී සිටීම සඳහා සටන් වදිද්දී ඇන්ජලෝ ජයසිංහ නොදැවී ලකුණු 24ක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා ලකුණු පුවරුව නියමිත පන්දුවාර 50 අවසානයේ 242/9ක් ලෙස දැක්විය.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 8ක් වෙද්දී බිඳ වැටුණි. නමුත් කඩා වැටුණු ඉනිමක් නැවත ගොඩනගන ආකාරය පිලිබඳ අපූරු පාඩමක් කියාදුන් මාකේස් ඇකමන් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 126ක් රැස් කරමින් නොදැවී තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට සමත් විය.

ඔහුට අගනා සහයක් ලබාදුන් ජේසන් ස්මිත් ලකුණු 44ක් සහ ජෝන් ෆොර්ටින් ලකුණු 33ක් ලබා ගන්නා ලදී. පන්දුවෙන් සාර්ථක වූ අමිල අපෝන්සු කඩුලු 3ක් දවාගත් අතර අකිල ධනංජය කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය.

ඇකමන්ගේ ශතකයෙන් සවිමත් වූ දකුණු අප්‍රිකා නැගී එන ක්‍රීඩකයන් ලකුණු 243ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නට වැය කළේ පන්දුවාර 44.2ක් පමණකි.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම මේ තරගාවලියේ තරග 6කට සහභාගී වී ඉන් ජය ගන්නට සමත් වූයේ එක් තරගයක් පමණි.

ලකුණු පුවරුව –

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 242/9 (50)  –  සඳුන් වීරක්කොඩි – 105, පබසර වඩුගේ – 32, ඇන්ජලෝ ජයසිංහ – 24*,  ශේපෝ එන්ටුලි – 3/57, වින්සන්ට් මුවර් – 2/35, එම්බුලේලෝ බුඩාසා – 2/51

දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම – 243/7 (44.2) – මාකේස් ඇකමන් – 126*, ජේසන් ස්මිත් – 44, ජෝන් ෆොර්ටින් – 33, අමිල අපෝන්සු – 3/40, අඛිල ධනංජය – 2/67

දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට