ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

60593

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ පරාජය නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගනිවී යැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළ එංගලන්ත කණ්ඩායමට අවසන් 4 දෙනාගේ වටය (අවසන් පූර්ව වටයට) සුදුසුකම් ලබා ගැනීම දැඩි අසීරු මට්ටමකට පැමිණෙනු ඇත.

දික්වැල්ල, තිසර සහ උදාන කැනඩාවට වෙන්දේසි වේ

දෙවන වතාවටත් පැවැත්වෙන ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය…

එය එසේ වන්නේ එංගලන්තයට ඉදිරියේ දී මුහණ දීමට නියමිතව තිබෙන තරගවල දී ප්‍රබල ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා නවසීලන්තය වැනි කණ්ඩායම් සමඟ උරෙනුර ගැටීමට සිදු වීම නිසයි.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර සිටම පවසා සිටියේ එංගලන්ත පිතිකරුවන් ඉතාමත් හොඳින් දඟපන්දු යවන්නට මුහුණ දෙන බවත් ඔවුන්ව ලකුණු 300ට අඩුවෙන් තබා ගැනීමට හැකි නම් එය අගනා බවත් ය.

නමුත් ඊයේ පැවැත්වුණු මේ සුපිරි ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් දිමුත් කරුණාරත්න වෙනදාට වඩා වෙනස් තීරණයක් ගනිමින් පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කරන ලදි. ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත ලකුණු 85* හා අවිශ්ක, කුසල් යන දෙදෙනා රැස්කරගත් ලකුණු ප්‍රමාණයට පිහිට වන්නට ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා ගන්නා ලදි.

>>ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ සේයා රූ<<

මන්දගාමී තණතීරුවක ස්වභාවය ගත් ලීඩ්ස් හි හෙඩින්ග්ලි ක්‍රිකට් පිටියේ තණතීරුව 2017 වසරේ පැවති ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත – පාකිස්තාන අවසන් පූර්ව  තරගය පැවති තණතීරුව හා සමාන බව එංගලන්ත නායක ඔයින් මෝර්ගන් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියේය.

“මට හිතෙන්නේ මේ තරගයත් 2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයත් එක්ක තිබ්බ semi-final එක වගේ කියලයි. එක කණ්ඩායමක් හොඳට බැට් කළා අනෙක් කණ්ඩායම ඉතාමත් දුර්වල වුනා. අපෙන් වුනු ලොකුම වැරැද්ද තමයි හොඳ සබඳතාවයක් දෙකක් ගොඩනංවන්න බැරිවුනු එක. නමුත් පිතිකරුවන් තුන්දෙනෙක් විතරක් තනියම සාර්ථක වුනා. ඒක තරගයක් දිනන්න තරම් ප්‍රමාණවත් නැහැ.”

පසුගිය 14 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට  එරෙහිව පැවති තරගය අතරතුර පන්දු රකිමින් සිටිය දී ජේසන් රෝයි වම් පාදයේ ඇතිවූ මස්පිඩු ඇදීමක් නිසා ආබාධයකට ලක්විය. තරගයට පසු දින කළ MRI පරීක්ෂණයේ දී එය මස්පිඩු ඇදීමක් බව තහවුරු වූ අතර එහි දී නිගමනය වූයේ ජේසන් රෝයිව දින කිහිපයක් විවේක ගන්වන ලෙසයි.

“ජේසන් රෝයි කියන්නේ අපි ගොඩක් ආදරය කරන ක්‍රීඩකයෙක්. ඔහු මේ තරගයට සහභාගී නොවුනු එක ලොකු පාඩුවක්. මොකද රෝයි අපේ පිතිකරණ බලඇණියේ ඉන්න ප්‍රබලයෙක්. ඒකත් මේ තරගය පරාජය වෙන්න ටිකක් බලපෑවා.” යැයි මෝර්ගන් පැවසීය.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (21)…

“අපි මේ තරගයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ අපේ මූලික දේවල් ටික මේ තරගයේ දී හරියට කළේ නැහැ. ඒක තමයි මට අපේ කණ්ඩායමට දැන් කියන්න තියෙන්නේ. මුල් කඩුලු 2-3 අඩු ලකුණකට යන කොට දැනෙන පීඩනය වුනත් හරියට කළමනාකරණය කරගන්න අපේ පිතිකරුවන්ට බැරි වුනා. එක තමයි මේ තරගයේ හැරවුම් ලක්ෂය වුනේ.”

එංගලන්ත කණ්ඩායම සහභාගී වන මීළඟ තීරණාත්මක තරගය මේ මස 25 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ ලන්ඩන් නුවර ලෝර්ඩ්ස් හිදී පැවැත්වීමට නියමිතය. මෝර්ගන් එම තරගය ගැන පැවසුවේ මෙවැන්නක්.

“දැන් වෙන්න වුනු දේ වෙලා ඉවරයි. ඒක වෙනස් කරන්න බැහැ. දැන් අපි කරන ඕන වැරදුණු තැන් හදාගෙන ශක්තිමත්ව ඉතාමත් ඉක්මනින් නැගිටින එකයි. ඕස්ට්‍රේලියාව සමඟ ධනාත්මකව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<