ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

303
Sri Lanka beat Thailand Asian Youth Netball Championship 2019

2019 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවේ ශ්‍රී ලාංකික දස්කම් පසුගිය දින දෙක පුරාවට දක්නට ලැබුණි. තරගාවලියේ තුන්වැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) කශීමා ක්‍රීඩා සංකීර්ණයේ දී සහභාගි විය. ඒ තායිලන්තයට එරෙහිවයි. 

එම තරගය ද ලකුණු 85-29ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පිට පිට ලැබූ තුන්වැනි ජයග්‍රහණය ද වාර්තා කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරග තුනේ දී ම සාර්ථක වීමට මෙලනි විජේසිංහ සමත් විය.

මෙලනිගේ ප්‍රහාරයෙන් නේපාලයට අසාධ්‍යයි

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමුව මුහුණ දුන් තරගයේ දී දකුණු කොරියාව ලකුණු 95ක් වාර්තා කරමින් පරාජය කළ අතර දෙවන තරගයේ දී නේපාලය පරාජය කළේ ලකුණු 136ක් වාර්තා කරමිනි. තුන්වැනි තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී තිබුණි. තායිලන්තය තරගයේ මුල් කාර්තුව ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් පහසු එකක් නොවූ අතර එහි දී ඔවුන් ලබා ගත්තේ ලකුණු 15ක් පමණි.

තායිලන්තය එම කාර්තුවේ දී ලකුණු 7ක් වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ ලකුණු 15න් 14ක්ම මෙලනි විජේසිංහගේ නම ඉදිරියේ සටහන් විය. ඒ සඳහා ඇය උත්සාහයන් 19ක් ලබාගෙන තිබුණි. දෙව්නා ‍රන්දිනී එක් ලකුණක් වාර්තා කිරීමට සමත් විය. (ශ්‍රී ලංකාව 15 – 07 තායිලන්තය)

දෙවන කාර්තුවේ දී තම සුපුරුදු දස්කම් අතරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එම කාර්තුවේ දී ලකුණු 24ක් තම ලකුණු පුවරුවට එක්කර ගත්තේ තායිලන්තයට ලකුණු 07ක් පමණක් ලබා දෙමිනි. එම ලකුණු 24ම මෙලනි විසින් වාර්තා කිරීම විශේෂත්වයකි. (ශ්‍රී ලංකාව 39 – 14 තායිලන්තය)

තුන්වැනි කාර්තුවල දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර එහි දී ඔවුන් ලකුණු 23ක් එක්කර ගත්තේ ප්‍රතිවාදී තායිලන්තය ලකුණු 7කට සීමා කරමිනි. (ශ්‍රී ලංකාව 62 – 21 තායිලන්තය) 

සිව්වැනි කාර්තුවේ ප්‍රතිඵලය ද එතරම් වෙනසක් නොවූ අතර දෙවන හා තුන්වැනි කාර්තුවේ මෙන්ම සාර්ථක ක්‍රීඩා රටාවක නිරත වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. එම කාර්තුව නිමා වන විට ලකුණු 23ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. (ශ්‍රී ලංකාව 85 – 29 තායිලන්තය)

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු කාර්තුවේ දී එතරම් සාර්ථක නොවූ අතර එම කාර්තුවේ ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ ප්‍රතිශතය 75%ක් ලෙස දැක්විය. නමුත් දෙවන, තෙවැනි හා සිව්වැනි කාර්තු සියල්ලම ප්‍රබල ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්ත ක්‍රීඩිකාවන් අසරණ කිරීමට සමත් වූයේ ප්‍රබල පන්දු පිරිනැමීම් හා ආරක්ෂක උපක්‍රම භාවිතා කරමිනි. ඒ අනුව තරගයේ තුන්වැනි හා සිව්වැනි කාර්තුවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ ප්‍රතිශතය 96%ක් බවට පත්කර ගැනීමට ඔවුන් සමත් විය. අන් සියලු තරගවල දී මෙන්ම මෙම තරගයේ දී ද මෙලනි විජේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ අතර සිව්වැනි කාර්තුවේ දී ඇය තම උත්සාහයන් 23ම සාර්ථක කර ගත්තාය. 

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ආරම්භයක්

2019 යොවුන් දැල්පන්දු තරගාවලිය අද (29) ජපානයේ දී ආරම්භ විය……

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගත්තේ පළමු වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ය. 

කාණ්ඩ වටයේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු කණ්ඩායම සමඟින් හෙට තරග වැදීමට නියමිතයි.

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<