හදිසියේම පහළ වුණු ඉසුරු උදානය

941

මෑත කාලේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබලා තියෙන්නේ ඒ තරම්ම සුබ කාලයක් නොවෙයි. එහෙම කියන්න තරගාවලි පිට තරගාවලි පරාජය වෙනවා අපි මෑත කාලයේ ඕනෑ තරම් දැකලා තියෙන නිසයි.

ඒ තරගාවලි ගොඩක්ම අපි පැරදුණේ පූර්ණ සුද්දවලට, එහෙමත් නැත්නම් තරගාවලියේ සියලුම තරග පරාජයට පත්වෙලයි. ඉස්සර නම් ගොඩක් වෙලාවට ඒ වගේ පූර්ණ සුද්ධ වලට අහුවුනේ රටින් පිට දී ක්‍රීඩා කරන තරගාවලිවල දී. ඒත් මෑත කාලයේ රටින් පිට ද අපේ රටේ ද කියලා වෙනසක් තිබුණේ නෑ. ඔක්කොම පැරදුණා.

කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්

ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම වේගපන්දු යවන්නා ඔහුය. දැඩි හිරුරැස් පතිත වන පරිසරයක වියැලී..

මේ පරාජයන් වලට එක එක විදියේ හේතු බලපෑවා. එතැන දී දිගින් දිගටම පුහුණුකරුවන් මාරු වුණු සෙල්ලම වගේම අවුරුද්දක් වගේ පොඩි කාල සීමාවක දී පස් හය දෙනෙකු අතර නායකත්වයේ ඔටුන්න මාරු වීම පරාජයන් වුණු හේතු අතර ප්‍රධාන වශයෙන් කියැවුනා. ඒ කතා අතර අළුත් මුහුණු ගණනාවක් කණ්ඩායමට පැමිණීම ද කණ්ඩායමේ කඩා වැටීමට හේතු වුනා කියන කතාවටත් හිමි වෙලා තිබුණේ ඒ වගේම ප්‍රසිද්ධියක්.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළතම ජයග්‍රහණය ලෙසින් අදටත් සැලකෙන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය. ඒ තරගාවලියට අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායම ලක ලෑස්ති වෙන්න පටන් ගත්තේ 1992 වසරේ අර්බුද අස්සේ තිබුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි වුණාට පස්සේ.

ඒ කාලයෙදිත් අද වගේම කණ්ඩායමට අළුත් ක්‍රීඩකයින් ආවා. ඒ ආපු සමහරෙක් කණ්ඩායම ලද ජයග්‍රහණ සඳහා නිරන්තයෙන්ම තම උපරිම දායකත්වය ලබා දුන්නා. ඒ වගේම අසාර්ථක වන සැණින් යළිත් තම දක්ෂතා අතරට ඒමට කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමත් වීම නිසා අපිට පහසුවෙන්ම ලෝක කුසලානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.

ඒ කාලේ වගේම මේ කාලයෙත් අපේ කණ්ඩායමට එක එක මාදිලියේ ක්‍රීඩකයින් ආවා. ඒ අයගෙන් විවිධ දක්ෂතා හෙබි අය ඇවිල්ලා කණ්ඩායමේ ස්ථානයක් හදාගෙන තිබුනත් ගොඩක් පිරිසක් ආවා – ගියා සංකල්පයට ලඝු වුනා. ඒ වගේම ඒ පැමිණි අය අතර විවිධ දක්ෂතා තියෙන අයත් හිටියා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ හරි අමුතු ක්‍රීඩාවක්. දේශීය පිටියේ කොච්චර හොඳට ගැහුවත් ජාත්‍යන්තරයට එනකොට ඇතැම් විට ඒ දක්ෂතාවලට කිසිම වටිනාකමක් හිමි නොවන අන්දමට අසාර්ථක වීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක් කියලා හඳුන්වන්නෙත් අන්න ඒ නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් නම් කිරීමේ දී අපි සංඛ්‍යාත්මක අගයන් සංසන්දනය කරලා බැලුවොත් ඒ ගැන පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. 1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පස්සේ 1996 ලෝක කුසලාන ක්‍රිකට් කුසලානය අපි දිනනකම් ගෙවුණු අවුරුදු 4ක පමණ කාල සීමාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබලා තියෙන්නේ ක්‍රීඩකයින් 19 දෙනෙක් විතරයි. ඒ 19 දෙනා අතරින් ප්‍රධානතම ක්‍රීඩකයින් හය දෙනෙක්ම ඒ දිනපු ලෝක කුසලානෙ සාමාජිකයින්. උපුල් චන්දන, කුමාර් ධර්මසේන, චමින්ද වාස්, සංජීව රණතුංග, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ මුත්තයියා මුරලිදරන් ඒ අතුරින් කැපී පෙනෙන ක්‍රීඩකයින්.

ඉසුරු උදානට උසස් වීමක්

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව දකුණු…

ඒත් 2015 වසරේ, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එකතු වෙලා කරපු ලෝක කුසලාන තරගාවලියේ ඉඳලා මේ වෙනකන් කණ්ඩායමට අලුතින් ක්‍රීඩකයින් 28 දෙනෙක් එක්දින වරම් ලබලා තිබුනත් ඒ අතුරින් කණ්ඩායමේ යම්තාක් දුරටක් ස්ථාවරත්වයක් හදාගන්න සමත් වෙලා ඉන්නේ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා විතරයි. මේ දෙන්නගෙනුත් එක තරගයක 50ක් ගැහුවොත් තව තරග 10ක් අසාර්ථක වෙනවා. මේ කියන කාරණා ගැන සලකලා බලද්දී ඔන්න ඔය කියන ගැටලු අපේ කණ්ඩායමේ අසාර්ථකත්වයට මූලිකවම බලපාලා තියෙනවා කිව්වොත් නිවැරදියි.

ඒ අනුව අලුතින් පැමිණි ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් හදා ගන්න බැරි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීමට මූලිකවම බලපාල තියෙනවා කියලා කියන්න මීට වඩා නිදසුන් අවශ්‍ය වන්නේ නෑ. මේකෙ පූර්ණ වගකීම ක්‍රීඩකයින්ගේ පැත්තටම විතරක් පටවන්නත් බෑ. ඒ ක්‍රීඩකයින්ට ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්න සඳහා වූ සාධාරණ කාලයක් හිටපු තේරීම් කමිටු විසින් ඔවුන්ට ලබා දුන්න ද කියන ගැටලුවත් මෙතැනදී මතු වෙනවා. මොකද අද ටීම් එකට ආපු කෙනා ඊළඟ තරගයෙ දී එහෙමත් නැත්නම් තරග දෙකකින් ආයිත් දැක ගන්න ලැබුණේ නැති නිසා. කරුණු කාරණා කොහොම වුනත්, ලැබිලා තියෙන අවසන් ප්‍රතිඵලය නම් අතිශය දුක්ඛදායක තත්ත්වයක් කියන එක නම් කියන්න පුළුවන්.

මේ සියලු කාරණා එසේ තියෙද්දී දැඩි විවේචන එල්ල වුණු ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ සභාපතිත්වයෙන් යුත් හිටපු තේරීම් කමිටුව වෙනුවට අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පත්වුනේ ඔය අතරේ. අසන්ත ද මෙල් කියන්නේ තේරීම් කමිටුවට අළුත් කෙනෙක් නොවෙයි. මහේල, සංගක්කාර යුගය, එතැනින් එහාට ගියොත් සනත් ජයසූරිය, මාවන් අතපත්තු ගහන කාලෙත් එයා තේරීම් කමිටුවෙ ප්‍රධානියා වෙලා හිටියා.

අසන්ත ද මෙල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර හමුවක්

ලබන මැයි මාසයේ එංගලන්තයේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය..

තරමක් ආන්දෝලනාත්මක එහෙමත් නැත්නම් අවදානම් තීරණ ගන්නෙකු විදියට ප්‍රසිද්ධ වෙලා සිටින අසන්ත මහතා, දකුණු අප්‍රිකාව සමගින් ඉකුත් දා නිමාවුණු එක්දින තරගාවලිය සඳහා ඉසුරු උදානව නම් කරනු ලැබුවා. විස්සයි විස්ස තරග අංශය සඳහා හං ගැසුණු ක්‍රීඩකයෙක් වුණු ඉසුරු අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කරලා තිබුනෙත් මීට වසර 7කට හෙවත් 2012 වසරේ දී. එම නම් කිරීමට කලින් ඉසුරු ක්‍රීඩා කරලා තිබුනෙත් එක්දින තරග දෙකකට විතරයි. එහෙව් කෙනෙක් දකුණු අප්‍රිකාව වැනි ප්‍රබල රටක් සමඟ, විශේෂයෙන් ඔවුන්ගේ මව්බිමෙ දී තරග කරන අවස්ථාවෙ දී නම් කිරීම ගැන ගොඩක් අය හිතුවේ අසන්ත මහතා ගත්තු ඒ තීරණය කාලෝචිත එකක් නොවෙයි කියලා.

ඉසුරුව අපි කලින් හඳුනා ගෙන හිටියේ පන්දු යවන්නෙකු විදියට. ඇත්තටම ඔහු පන්දු යවන්නෙක් තමයි. ඒත් කාලයත් එක්ක වෙනස් වුණු ඉසුරු පන්දු යැවීමට අමතරව සිය පිතිකරණයත් හොඳින් මුවහත් කරලා කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඒක දැක ගන්න පුළුවන් වුනේත් දකුණු අප්‍රිකාව සමඟ තිබුණ එක්දින තරගාවලියෙ දී. පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉසුරුට ලැබුණේ නෑ. ඒත් ඩර්බන්හි තිබුණ තෙවැනි තරගයට උදානව නම් කළා. හැමෝටම රිදෙන්න හම්බ වුනු ඒ තරගයේ දී ඉසුරු තමයි කඩුලු දෙකක් ලබා ගෙන ඒ තරගයෙ දී හොඳම පන්දු යවන්නා වුනේ. ඒ නිසා ඊළඟ තරගයත් උදානට නොදී ඉන්න බැරි වුනා.

ඒ තරගයෙ දී තමයි ඉසුරු උදානගේ දෙවැනි ආගමනය කොහොමද කියලා අපිට හරියටම දැක ගන්න පුළුවන් වුනේ. දකුණු අප්‍රිකානු ප්‍රබල පන්දු බල ඇණිය හමුවේ පිතිකරුවන් විදියට සම්මත සියල්ලෝම හෙවත් පළමු කඩුලු 7ම ලකුණු 97ක දී බිඳ වැටිලා තියෙද්දී පිටියට එන ඉසුරු, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම වෙනුවෙන් දියත් කරන පිති හරඹය බොහෝ දෙනාගේ සිත් ගත් ඉනිමක් වුනා. ලොව ප්‍රබලම වේගපන්දු යවන්නන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පන්දු බල ඇණිය හමුවේ එල්ල කරන ලද දැවැන්ත හයේ පහර 4, ඒ තරගය නැරඹුව කෙනෙකුට කාලෙකට අමතක නොවනවා නොඅනුමානයි. තම ඉනිමට තවත් හතරේ පහර 7ක් එක් කළ ගත් ඉසුරු පන්දු 57ක දී වේගවත් ලකුණු 78ක් රැස් කළා.

දකුණු අප්‍රිකාවත් එක්ක තිබුණ අන්තිම තරගයෙදීත් වුනේ ඒ වගේම දෙයක්. ඉදිරිපෙළ පිතිකරුවන් 7 දෙනාම ලකුණු 161ක දී තරග නරඹන්නන් බවට පත් වෙද්දී අංක 9 පිතිකරණ ස්ථානයෙන් ඇවිත් උදාන දියත් කළ ඉනිම නිසා අපිට ඒ තරගයෙ දී ලකුණු 225 සීමාවෙන් ඔබ්බට යෑමේ හැකියාව ලැබුණා. ඒ තරගයේ දී දැවැන්ත හයේ පහරකුත් තවත් හතරේ පහර 3කුත් සමඟ පන්දු 29ක දී උදාන ලකුණු 32ක් රැස් කළා. ඊට කලින් තරගයෙ දී ඉසුරු දියත් කළේ ‘කනා’ ඉනිමක් කියලා කියපු කට්ටියට හොඳ පිළිතුරක් දෙන්නත් මේ ඉනිම ඉවහල් වුනා කියලා කිව්වොත් නිවැරදියි. ඒ අනුව තේරීම් කමිටුව, තමන් පිළිබඳව තියපු විශ්වාසය ඒ අයුරින්ම ඉසුරු ඉෂ්ට කළේ වසර ගණනාවක් එක දිගටම කණ්ඩායමේ රැඳිලා ඉන්න ජ්‍යෙෂ්ඨ යැයි කියා ගන්නා සියලුම ක්‍රීඩකයින්ට ආදර්ශයක් වෙමිනුයි.

පසුගිය කාලයේ දී ම ශ්‍රී ලංකා පිලට අඩුවක්ව තිබුණේ වැරෙන් පන්දුව එළියට ගහන්න පිතිකරුවෙකු නොමැති වීම. ඒ අනුව බැලීමේ දී මේ තරගාවලියේ දී ඒ අඩුව ඉසුරු හොඳින්ම පිරිමැහුවා කියන එක අපිට දැක ගන්න ලැබුණා.

කොහොම වුනත් එක්දින තරග 5ම පරාද වුනාට පස්සේ තිබුණ විස්සයි විස්ස තරගාවලියෙ දී හෝ තරගයක් ජය ගනියි කියන බලාපොරොත්තුව ප්‍රේක්ෂක හදවත්වල ලැගුම් ගෙන තිබුණා. සැබැවින්ම එය යථාර්ථයක් බවට පත් කරලීමේ ආසන්නයටම ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියත්, නිරෝෂන් දික්වැල්ලගේ අතින් වුණු අතපසුවීමක් හේතුවෙන් එම වටිනා අවස්ථාව අපිට අහිමි වුනා. ඒ තරගෙ දී මුලින්ම පන්දුවට පහර දුන්නේ ලංකාව. කඩුලු 7කට ලකුණු 113ක් තියෙද්දී පිටියට ආපු ඉසුරු, පන්දු 6ක දී ලකුණු 12ක් රැස් කරලා ලකුණු පුවරුව ලකුණු 134ක් වැනි සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

එය හඹා ගිය දකුණු අප්‍රිකානුවන් 18 වැනි පන්දුවාරය ආරම්භ වෙනකොට ලබාගන්න තිබුණේ පන්දු 12ක දී ලකුණු 6ක් පමණයි. ඔවුන් සතුව ඒ වන විටත් කඩුලු 4ක් අත ඉතිරිව තිබුණු අතර පෝලි ඩුමිනි පන්දුවට පහර දෙමිනුයි හිටියේ. එතැන දී පන්දුව අතට ගත්ත මාලිංග 19 වැනි පන්දුවාරය එක් ලකුණකට සීමා කරලා කඩුල්ලක් දවා ගනිද්දී 20 වැනි පන්දුවාරය යැවූ උදානට තිබුණේ තම පන්දු 6ට ලකුණු 5ක් නොදී නතර කර ගැනීම. තමාට හිමි වූ අභියෝගය සාර්ථකව අවසන් කිරීමට උදාන සමත් වුවද අවසන් පන්දුවේ දී දික්වැල්ල විසින් සිදු වූ අතපසුවීම නොවන්නට ඒ තරගයේ ජය ශ්‍රී ලංකාවට ලැබෙනවා නිසැකයි.

ඉසුරුගේ දක්ෂතා නැවත කැපී පෙනුණු තරගයක් වුනේ සෙන්චූරියන්හි පැවති දෙවැනි තරගය. ඒ තරගයේ දී පන්දු යවමින් කඩුල්ලක් දවා ගත්ත ඉසුරු පිත්තෙන් ක්‍රීඩා කළ ඉනිමේ දී තව එක් පන්දුවාරයක් ඉතිරිව තිබුණා නම් තරගයේ ජයග්‍රහණය පමණක් නොව විස්සයි විස්ස අංශයේ ශතකයක් ද වාර්තා කිරීමේ අවස්ථාව ඔහු සතුව තිබුණා. කලින් වගේම පෙර පෙළ අසාර්ථක වූ මේ තරගයේ දී ඉසුරු ආවේ අංක 8 පිතිකරුවා විදියට. එතකොටත් තරගය දිනන්න පන්දු 62ක දී ලකුණු 119ක් ලබා ගත යුතුව තිබුණා.

සුපුරුදු පරිදි සිය ප්‍රහාරය දියත් කළ ඉසුරු සිය ප්‍රහාරය පිටිය සිසාරා දියත් කළේ දැවැන්ත හයේ පහර 6කින් සහ හතරේ පහර 8කින් තම ඉනිම සරසා ගෙන පන්දු 48ක දී වාර්තා වුනු ලකුණු 84 නිසා අන්ත පරාජයක් හිමි වීමට ඉඩ තිබුණු තරගය අපි පැරදුණේ ලකුණු 16කින්.

වර්ෂාවෙන් බාධා ඇතිවුණු තෙවැනි තරගයේ දී පන්දු 23කට මුහුණ දුන්න ඉසුරු දැවැන්ත හයේ පහර 4ක් සමඟ වේගවත් ලකුණු 36ක් වාර්තා කිරීමට සමත් වුනා. දෙපිළ අතර පරාජයේ වෙනස ලකුණු 45ක් වුවත් කඩුලු එක පිට එක දැවී නොගියා නම් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව අවශ්‍ය ලකුණු වේගය රඳවා ගැනීමට ඉසුරු සමත් වුනා. එහෙත් වාසනාව කියන දේ දශමයක්ව නොලැබුණු මේ තරගාවලි 2 ම පරාජයට පත් වුනත් සතුටට පත්විය හැකි කරුණ වුනේ මෙතෙක් කලක් අඩුවක්ව පැවති වේගයෙන් පන්දුවට පහර දිය හැකි, තරග දිනවන්නෙකු කණ්ඩායමට සොයා ගත හැකි වීමයි. ඒ අඩුව ද ලෝක කුසලාන තරගාවලියට පෙරම සොයා ගැනීමට හැකි වීම නිසා එම සතුට දෙගුණ වීමට හේතු වෙලා.

ඉකුත් කාලය පුරාවටම කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින්ට වඩා වෙනස් වූ ඉසුරු ලබා ගත් මේ ගැම්ම ලෝක කුසලාන තරගාවලියට හැඩ ගැසීමට අපිට හොඳ උත්තේජනයක් ලබා දෙනවා කිව්වට වැරැද්දක් නෑ. මොකද තරගාවලිය පැරදුනත් ඉසුරුගේ ධෛර්යවන්ත ක්‍රීඩා විලාශය හේතුවෙන් දිනන්න පුළුවන් කියන විශ්වාසය සෑම ක්‍රීඩකයකුගේ හදවතට දැනෙන්න පටන් අරන් තියෙන නිසා. වැදගත් වෙන්නේ ඒ කරපු වෙනස සහ කැපවීම, කණ්ඩායමේ පුනර්ජීවය සඳහා හරියට යොදා ගන්න එක. ක්‍රිකට් කියන්නේ 11 දෙනෙකුගේ එකතුවෙන් සිදු කරන ක්‍රීඩාවකි. ඒ නිසා එහි ජයග්‍රහණ තනි ක්‍රීඩකයකු මත පදනම් වුනොත් වෙන්නේ බොහොමත් කලාතුරකින්. එබැවින් කළ යුත්තේ ඒ ලද පරාජය, ජයග්‍රහණයට පිම්මක් කර ගනිමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳින් ලක ලෑස්ති වීමයි. එතන දී අඩුම තරමේ තව දෙතුන් දෙනෙක්වත් ඉසුරුට සහයෝගයක් ලබා දුන්නොත් ලෝක කුසලානයෙ දී පෙරළියක් ඇති කරනවා කියන එක මහ කජ්ජක් නොවෙයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<