ශ්‍රී ලංකා පිතිකරුවන්ට අකිල ධනංජයගෙන් පාඩමක්!

1592

පාකිස්තානු පිතිකරුවන් ශතක වාර්තා කරමින් දස්කම් පෑ තණතිල්ලේ ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ වීම නිසා අද (13) පාකිස්තානය සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 83ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

8 වැනි කඩුල්ල වෙනුවෙන් අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ ගොඩ නැගූ ලකුණු 68ක සබඳතාවයත්, ලහිරු තිරිමාන්න ලබාගත් අර්ධ ශතකයත් නොවන්නට මෙම පරාජය මීටත් වඩා සෑහෙන දරුණු, ලැජ්ජා සහගත පරාජයක් වන්නට බොහෝ ඉඩකඩ පැවතුණි.

ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට පෙර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හෙටින් (12) …

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග අද කාසියේ වාසිය ශ්‍රී ලංකාවට දිනා දෙමින් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. සාමාන්‍යයෙන් හොඳින් ලකුණු ඇති ඩුබායි තණතිල්ලේ මුලින් පිතිකරණයේ යෙදීමට බොහෝ කණ්ඩායම් රුචිකත්වයක් දැක්වූවත් ශ්‍රී ලංකාව මෙම අසාමාන්‍ය තීරණය ගන්නට ඇත්තේ රාත්‍රී කාලයේ ඇතිවිය හැකි පින්න, දෙවනුවට පන්දු යවන කණ්ඩායමට බාධාවක් විය හැකි යැයි උපකල්පනය කරමින් විය යුතුය. අද ශ්‍රී ලංකා කණ්ඩායමට කලකට පසු පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද කැඳවා තිබුණි.

ඉනිම ආරම්භයේ සිටම පාකිස්තානු පිතිකරුවන්ට අත දිගහැර පහර එල්ල කරන්නට අද දිනයේ ඉඩක් ලැබුණේ නැත. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ ඉතාමත් සංයමයකින් යුතුව පන්දුව පාලනය කර ගත් බැවිනි. ඒ අනුව පවර්ප්ලේ පන්දුවාර 10 තුල දී ලකුණු 36ක් පමණක් ලබා දී අහමඩ් ශෙෂාඩ්ගේ වටිනා කඩුල්ල දවා ගැනීමට ද ඔවුන්ට හැකියාව උදා විය. පන්දු 12කට මුහුණ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට අසමත් වූ ශෙෂාඩ් එල්ල කළ පළමු වේගවත් පහරින්ම දැවී ගියේ ලහිරු ගමගේට කඩුල්ල හිමිකර දෙමිනි.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක් ගොඩ නැගුණු අතර එහි ප්‍රධාන චරිතය රඟපෑ ෆකාර් සමාන් දවා ගැනීමට සමත් වූයේ අකිල ධනංජයයි. දැවැන්ත ස්ලොග්-ස්වීප් පහරකින් අකිලට එරෙහිව ලකුණු 6ක් ලබා ගැනීමෙන් පසු ඊළඟ පන්දුවේ දී ම සමාන්ගේ කඩුල්ල බිඳ දමන්නට අකිලගේ මැජික් පන්දුවකට හැකියාව ලැබුණි. ඒ වන විට සමාන් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 43ක් රැස් කරගෙන සිටියේය. ඉන්පසු තවත් වේගවත් සබඳතාවක් ගොඩ නැගුණේ මොහොමඩ් හෆීස් සහ බාබර් අසාම් අතරේයි.

යොවුන් කණ්ඩායමේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩක කමිඳුට

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන …

එය අර්ධ ශතකය ඉක්මවා යන්නට ආසන්න වෙද්දී මොහොමඩ් හෆීස්ව පිටියෙන් ඉවත් කළේ කලකට පසු ජාත්‍යන්තර තරග බිමට පිවිසි ජෙෆ්රි වැන්ඩර්සේයි. ඔහුගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා රැකගත් විශිෂ්ට උඩපන්දුවක් නිසා හෆීස් දැවී යන විට ලකුණු 32ක් ලබාගෙන සිටියේය. ඉන් මොහොතකට පසු තම අර්ධ ශතකය වාර්තා කරගත් බාබර් අසාම් ඒ වන විට ශ්‍රී ලංකාවට තිබූ දැවැන්තම අභියෝගයයි. 32 වැනි පන්දුවාරයේ දී කඩුල්ල පිටුපස සිටි නිරෝෂන් දික්වැල්ල අතට ඔහු උඩපන්දුවක් ලබා දුන්න ද විනිසුරු එය නොදැවීමක් ලෙස සටහන් කළ නිසා ශ්‍රී ලංකාවට කළ හැකි යමක් නොවීය. ඒ 11 වැනි පන්දුවාරයේ දී මෙවැනිම සිදුවීමක දී ශ්‍රී ලංකාව DRS අවස්ථාව භාවිතා කර අසාර්ථක වී තිබීම හේතුවෙනි!

එතැන් පටන් බාබර් අසාම් පෙරටත් වඩා වේගයෙන් පිත්ත හැසිර වූ අතර ඔහුගේ සහයට අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩක ශොයිබ් මලික් එක්විය. ඔවුන් දෙදෙනා අතරේ අද ගොඩ නැගුණු සබඳතාවය ශතකය ද ඉක්මවා වර්ධනය වූයේ ශ්‍රී ලංකා පිළ සතුව තිබූ වාසිය පාකිස්තානය දෙසට හරවා දෙමිනි. අවසන් පන්දුවාර 10 තුල දී මොවුන් දෙදෙනා ලකුණු වේගය හැකිතාක් ඉහළ නංවමින් පාකිස්තානය ලකුණු 300 සීමාවට රැගෙන යාමට දැඩි වෙහෙසක් දැරූහ.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ශොයිබ් මලික් අද තම එක්දින දිවියේ 40 වැනි අර්ධ ශතකය ලෙසින් ලකුණු 81ක් වාර්තා කළේය. පන්දු 61ක් පමණක් වැයවුනු මලික්ගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඉනිම නිමාවීමට පන්දුවාර 3ක් තිබිය දී ශොයිබ් මලික්ව දවා ගත්තේ අද දිනය පුරාවට නව පන්දුවෙන් මෙන්ම පැරණි පන්දුවෙන් ද දස්කම් දැක්වූ සුරංග ලක්මාල් විසිනි. මේ අයුරින් ශතක සබඳතාවය බිඳ වැටීමෙන් මොහොතක් ගත වෙද්දී බාබර් අසාම් එක්දින දිවියේ සයවැනි ශතකය වාර්තා කර ගත්තේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදයි.

දිනෙන් දින එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ තම හැකියාවන් ඔප් නංවා ගන්නා බාබර් අසාම් අද හතරේ පහර 5ක් සමඟින් ලකුණු 103ක් රැස්කර ගත්තේය. ඉනිම නිමාවීමට ආසන්නයේ දී ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත් වෙද්දී නායක සෆ්රාස් අහමඩ් දවා ගැනීමට තිසර පෙරේරාට අවස්ථාව උදාවිය. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ පාකිස්තානු ඉනිම දැක්වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 292ක් වශයෙනි. අද ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සුරංග ලක්මාල් ලකුණු 47කට කඩුලු 2ක් බිඳ හෙලද්දී මිලින්ද සිරිවර්ධන හැර අනෙක් පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.

ලකුණු 293ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට අද තරගය ජය ගැනීමට තබා සටන්කාමී ක්‍රීඩා රටාවක් අනුගමනය කිරීමට පවා හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුව අද තරගය දැකබලා ගැනීම සඳහා ඩුබායි ක්‍රීඩාංගණයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සිදුවූයේ හිස් අතින්ම නැවතත් හැරී යන්නටයි. පාකිස්තානු පිළේ නවතම වමත් වේග පන්දු තරුව වන රුමාන් රයීස් අද නිරෝෂන් දික්වැල්ල (19) සහ දිනේෂ් චන්දිමාල් (4) යන පිතිකරුවන් දෙදෙනාව දවා ගනිමින් එහි මූලිකත්වය ගත්තේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන ආ පයින්ම ක්‍රීඩාගාරයට හැරී ගියේ හසන් අලිගේ වේග පන්දු හමුවේයි. ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට රැගෙන යාමට සිටින මෙම නිත්‍ය පිතිකරුවන් පන්දුවාර 20ක් ගත වන්නට පෙර දැවී යාම නිසා ජයග්‍රහණය නිතැතින්ම පාකිස්තානු කණ්ඩායමට පක්ෂපාතී විය. මේ දිනවල එක්දින තරගවල දී දක්ෂතා අතර නොසිටින ශ්‍රී ලංකා නායක උපුල් තරංගට ද අද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 18ක් පමණි.

ශ්‍රී ලංකා පිළේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී එක් අන්තයක හුදකලා වුනු ලහිරු තිරිමාන්න අද තම 19 වැනි එක්දින අර්ධ ශතකය ලෙසින් ලකුණු 53ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 3ක් සමඟිනි. තිසර පෙරේරා ද හතරේ පහරක් සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 21ක් ලබා ගත්ත ද කණ්ඩායමට අවශ්‍ය සේවය ඔහුගෙන් ඉටු නොවීය. අවසානයේ තම වගකීම පැහැර හැරි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිතන්නට යමක් ඉතිරි කළ අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නඟමින් සාර්ථක වූහ.

එහි දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 25ක් රැස් කරගත් අතර ඉනිම නිමාවන තුරුම නොදැවී පන්දුවට පහර දුන් අකිල ධනංජය අද තම මංගල එක්දින අර්ධ ශතකය ද වාර්තා කර ගත්තේය. ඔහුගේ විශිෂ්ට ඉනිම හතරේ පහර 5කින් වර්ණවත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ නොසැලකිල්ල නිසා ඒ වන විටත් තරගය නැවත ගොඩගත නොහැකි මට්ටමකට පත්වී තිබුණි. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 209කට සීමාවීම නිසා පාකිස්තානුවන්ට ලකුණු 83ක පහසු ජයක් හිමි විය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ තුන් ඉරියව් ක්‍රීඩක ශොයිබ් මලික්ටයි.

මෙය පාකිස්තානු කණ්ඩායම පිට පිටම ලබාගත් පස්වැනි එක්දින ජයග්‍රහණය ලෙසත් ශ්‍රී ලංකාව පිට පිටම පරාජය වූ 8 වැනි එක්දින තරගය ලෙසත් වාර්තා විය. එබැවින් එක්දින ක්‍රීඩාවට අනුචිත සහ රිද්මයේ නොසිටින ක්‍රීඩකයින් කණ්ඩායමෙන් මදක් ඈත්කොට තබමින් වර්තමාන එක්දින තරග සඳහාම අනන්‍ය වූ ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නැගීමට දැන්වත් උත්සාහ නොකළහොත් මෙම වාර්තා තවදුරටත් අලුත් වීමක් මිසක වෙනත් ආශ්චර්යක් සිදු නොවනු ඇත. නමුත් එම වෙනස සිදු කිරීමට නම් බලධාරීන්ට දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට ඉදිරියේ දී සිදුවනු ඇත.

පාකිස්තානය – කඩුලු 6ක් දැවී ලකුණු 292 (පන්දුවාර 50): බාබර් අසාම් 103, ශොයිබ් මලික් 81, ෆකාර් සමාන් 43, මොහොමඩ් හෆීස් 32, හසන් අලි 11*, ඉමාඩ් වසීම් 10*, සුරංග ලක්මාල් 2/47, ජෙෆ්රි වැන්ඩර්සේ 1/47, ලහිරු ගමගේ 1/49.

ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී ලකුණු 209 (පන්දුවාර 50): ලහිරු තිරිමාන්න 53, අකිල ධනංජය 50*, ජෙෆ්රි වැන්ඩර්සේ 25, තිසර පෙරේරා 21, නිරෝෂන් දික්වැල්ල 19, උපුල් තරංග 18, හසන් අලි 3/36, රුමාන් රයීස් 3/49.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<