ක්‍රිකට් තිරය පිටුපස දැවැන්ත මෙහෙවරක් කළ නිහඬ චරිතය

948

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තිරයෙන් පිටුපස සිටි සුවිසල් කාර්‍යභාරයක් ඉටු කළ, සෙසු ලෝකයා නොහඳුනන චරිත බොහෝමයක් වෙති. මෙම ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ එලෙස ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූ, කිසිසේත්ම අමතක කළ නොහැකි චරිතයක් ගැනයි.

නමින් පී. ඩී. නිමල් වන නිමල් අයියා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සිංහල ක්‍රීඩා සමාජයට සමීප බොහෝ ඇත්තන් දන්නා ඔහුට කරන්නට නොහැකි දෙයක් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණේ නැති තරම්ය.

1999 වසරේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහි පැමිණෙන්නේ ටෙස්ට් තරග තුනකට සහ ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග තුන්කොන් තරගාවලියකට සහභාගී වීමටය.

මානසික අවපීඩනයෙන් ලෝක කුසලානයට සමුදුන් ක්‍රීඩකයා

2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව………..

ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු නඩයේ නායකත්වය හිමි වූයේ ස්ටීව් වෝටය. ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නා බොහෝ අය ස්ටීව් වෝ යනු තරමක තද ගතිගුණ ඇත්තෙක් බව දනිති. නමුත් තරගාවලිය පුරාවටම ස්ටීව්ගේ සිත් ගත් ශ්‍රී ලාංකිකයෙක් සිටියේය. ඒ නිමල් අයියා ය.

ස්ටීව් වෝ දිනපොතක් ආකාරයෙන් ලියූ පොතක පී. ඩී. නිමල් ගැන කියවෙන්නේ මෙලෙසය.

“පී. ඩී. ශ්‍රී ලංකා සංචාරයේ දී අපේ කණ්ඩායමට ලොකු සහයෝගයක් දුන්නේ. ඇත්තටම ඒක බෑග් හසුරුවන්නෙකු ලෙස ඔහු කළ රාජකාරියට වඩා විශාල දෙයක්. පී. ඩී. අප වෙනුවෙන් කළ කිසිම දෙයකට පෙරළා කිසිවක් ඔහු බලාපොරොත්තු වූයේ නැහැ.

පී. ඩී. නිමල් සතියකට දින හයහමාරක් වැඩ කළා. සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් චෙක්පත් මාරු කිරීමේ කටයුතු, ලිපි රැගෙන යෑම වැනි කටයුතු ඔහු අතින් ඉටු වුනා. උදේ අටේ සිට සවස තුන දක්වා ඔහු මෙම කටයුත්තේ නිරත වුනා. සවස තුනෙන් පසුව  ඔහු ක්‍රිකට් පුහුණුවීම් සඳහා වැඩි අවධානයක් යොමු කළා.

සිංහල ක්‍රීඩා සමාජයේ විවිධ කණ්ඩායම්වලට ඔහුගේ සහයෝගය ලැබුණා. අදාළ කණ්ඩායම්වල පුහුණුකරුවන්ට තමන්ගේ පුහුණුවීම් නිසි ආකාරයෙන් කරගෙන යෑමට පී. ඩී. ගෙන් ලැබුණේ මනා සහායක්. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආම්පන්න පිරිසිදු කිරීමේ සිට නිවැරදි ආකාරයෙන් ශක්තිජනක පාන ලබා දීම දක්වා ඔහු මනා නිපුණතාවයක් දැක්වූවා.

බොහෝ සති අන්ත ඔහු වෙන් කළේ සිංහල ක්‍රීඩා සමාජය තරග කළ ත‍රග වෙනුවෙන්. මා දන්නා පරිදි සඳුදා දිනයෙන් කොටසක් ඔහු නිවාඩු ලබාගත්තා. ඒ ඔහුගේ පුත්‍රයා හෝ දියණිය ක්‍රීඩා පුහුණුවීම්වලට රැගෙන යෑමට.

මෙම තරගාවලිය තුළ දී ශරීරයේ මේද මට්ටම මැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම යම් ක්‍රමවේදයක් භාවිතා කළා. සාමාන්‍යයෙන් මේදය මනින මාපකයේ අගය 60ක් යනු ක්‍රීඩකයෙකුට ඉතාම යෝග්‍ය මට්ටමක්. එහි අගය හැටකට අඩුවෙන් පෙන්නුම් කරන්නේ නම් එය ඊටත් වඩා යෝග්‍යයි. තරගයක් අතරතුර අපි පී. ඩී. මෙම පරීක්ෂණයට සහභාගි කර ගත්තා. මා මෙන්ම සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ද අතිශය පුදුමයකට පත් කරමින් එහි අගය සටහන් වූයේ 32.2ක් ලෙසයි. පී. ඩී. ගේ ශරීරයේ මේද මට්ටම සමාන වූයේ ලෝකයේ ඉහළ තලයේ සිටින මැරතන් ශූරයෙකුගේ ශරීරයේ තිබෙන මේද මට්ටමට. ශරීර මේදය මනිනු ලබන මාපකයේ වාර්තා වූ අඩුම අගයක් ලෙසට අදටත් මට පී. ඩී. වාර්තා කළ අගය මට හඳුන්වන්නට පුළුවන්.

අප සමඟ ගත කළ තුන්වැනි දිනයේම ඔහු එකිනෙකාට වෙනස් අදහස් ඇති ක්‍රීඩකයින්ට උවමනා කරන දේ කුමක්දැයි වටහා ගත්තා. ශක්තිජනක පාන නියමිත මාත්‍රාවට ලබා දීමට ඔහු දැක්වූයේ මනා හැකියාවක්.

ඔහු ඉතාම අවංක පුද්ගලයෙක්. ඉතාම මහන්සි වී තමන් කරන දෙයට අවංකවම කැපවූ අයෙක්. පී. ඩී. සතුව හැමවිටම විශාල ජවයක් තිබුණා. එය ශ්‍රී ලාංකිකයින්ට පොදු ගුණාංගයක්. ඔබට පාකිස්තානුවෙකුගේ මුහුණ දෙස බලා බලාපොරොත්තු සහගත දෑසක් දැක ගැනීමට අපොහොසත් වේවි. නමුත් ශ්‍රී ලාංකිකයින් ඊට හාත්පසින්ම වෙනස් ජාතියක්. ඔවුන් ජව සම්පන්නයි. හැම විටම විනෝදයෙන් පසුවන්නේ. මේ බව අපිට නැවත නැවතත් පසක් කළ අයෙකු ලෙස පී. ඩී. හඳුන්වන්න පුළුවන්.

වරක් ටෝනි ග්‍රේග් කියූ ශ්‍රී ලාංකිකයින් ඉතාම මිත්‍රශීලී, සුහද, විනෝදකාමී ජාතියක් යන්න වැඩි කාලයක් යන්නට පෙර සියලුම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට හැඟී ගියා.

පී. ඩී. යනු බෑග් කළමනාකරණය කරන්නෙකුවත්, පිති පදම් කරන්නෙකුවත් නොවේ. ඉන් එහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණු සුවිශේෂී නාමයක්.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම සිංහල ක්‍රීඩා සමාජයේ බොහෝ ක්‍රීඩකයින් නිමල්ට සෑහෙන ආදරය කළෝය. පී. ඩී. ඉහත කී කණ්ඩායම් දෙකටම දැඩි ලෙස ආදරය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සියලුම දෙනාගේ පිති නිසි ලෙස පදම් කොට රැක බලාගනු ලැබුවේ නිමල් විසිනි. වරක් ඔහු පුහුණු සැසියක දී පන්දු යවමින් හිටපු ඉන්දියානු නායක මොහොමඩ් අසාරුදීන්ගේ කඩුල්ල දවා ගත්තේය. එසමයෙහි අසාරුදීන්ගේ පිහිහරඹය ශ්‍රී ලාංකිකයින්ට තරමක හිසරදරයක් වූ කාලයක් බව බොහෝ දෙනා නොදැන සිටියා නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සහ නිමල් අතර තිබුණේ කිට්ටු සම්බන්ධතාවයකි. මාවන් අතපත්තු වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරයක දී පී. ඩී. නිමල් ද ඩුබායි නුවරට රැගෙන ගියේය.

එදා මේ ගමනේ නිමල්ගේ සියලුම විය හියදම් දැරුවේ මාවන් විසිනි. මාවන් තමන්ගේ පෞද්ගලික මුදලෙන් නිමල්ට යතුරුපැදියක් පවා ලබා දුන් බව පැවසේ. නිමල් ඔහුගේ නිවස ඉදි කරන විට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් විශාල සහයෝගයක් දුන් බව ද කියවේ.

2014 ජුනි මාසයේ සිදු වූ අනතුරකින් පී. ඩී. නිමල් සදහටම දෙනෙත් පියා ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩාවට සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක් විය.

අනතුරෙන් පසුව බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දැඩි ශෝකයට පත්වූ බව දැකගත හැකි විය.

“අතිශය කණගාටුදායක දිනයක් මට වගේම කණ්ඩායමටත්. නිමල් අප වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. අපේ බෑග් කළමනාකරණයේ සිට පා ආවරණ පිරිසිදු කිරීම දක්වා. වෙනත් කිසිවෙකු අප වෙනුවෙන් මේ ආකාරයෙන් දායකත්වයක් ලබා දී නැහැ. ඔහුගේ වියෝවෙන් සැබවින්ම මගේ හදවත කඩා වැටුණා.” ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම සිංහල ක්‍රීඩා සමාජයේ ද පුරාවෘත්තයක් බඳු මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය.

“ඔහුට කරන්නට බැරි කිසිවක් තිබුණේ නැහැ” ඒ හිටපු නායක සනත් ජයසූරියයි.

තවද නිමල්ට සිදු වූ මාරාන්තික අනතුරෙන් පසුව සියලුම රෝහල් ගාස්තු ගෙවන්නට මහේල ජයවර්ධන ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් සැදී පැහැදී සිටි බව සිංහල ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු ලියුම්කරු හා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ද පන්දු රැකීම වෙනුවෙන් නිමල් අයියා දැක්වූ දායකත්වය නිසාම ඔහුට “සහායක පන්දු රකින පුහුණුකරු” ලෙස අන්වර්ථ නාමයක් පටබැඳී තිබුණි. ඔවුන් ඒ නම භාවිතා කළේ ඉතාම ආදරයෙනි.

“එයා එස්. එස්. සී. එකට පට්ට ආදරෙයි. ෆීල්ඩිං ප්‍රැක්ටිස් කරද්දී නිමල් අයියා කට්ටියට මාර සපෝර්ට් එකක් දෙන්නේ. එයා නැති වීම ඇත්තටම ලොකු පාඩුවක්.” සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කළ තවත් ක්‍රීඩකයෙකු ලියුම්කරු හා පැවසීය.

පී. ඩී. ගේ අකල් වියෝව නිසා කම්පාවට පත් වූ ක්‍රීඩකයින්ගේ ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ පී. ඩී. නිමල් නම් සුවිශේෂී චරිතය තිරයෙන් පිටුපස සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දැක්වූ සුවිසල් දායකත්වය මෙන්ම ඔහු මෙරට ක්‍රිකට්  වෙනුවෙන් ඉතිරි කර ගිය අමරණීය මතකයය.

විශේෂ ස්තුතිය: සුරංජිත් සිල්වා මහතාට.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<