ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලිය ඊයේ  (11) ආරම්භ විය. එහි පළමු දිනයම අලංකාරවත් කිරීමට හිමාෂ, අසලංක හා චරණ සමත් විය. අද එම තරගවල අවසන් දිනයන් ක්‍රියාත්මක වූ අතර බස්නාහිර පළාත් උතුර, බස්නාහිර මධ්‍යම, වයඹ හා දකුණ යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

අසලංක සහ හිමාෂගේ ශතකයට චරණගෙන් කඩුලු 7ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට්..

බස්නාහිර පළාත් උතුර හා බස්නාහිර පළාත් දකුණ

B කාණ්ඩය යටතේ පැවැත්වූ මෙම තරගය කොළඹ පොලිස් පිටියේ දී පැවැත්විය. බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ඊයේ (11) දිනයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

පළමුව පිටියට පැමිණි බස්නාහිර පළාත් දකුණු පිතිකරුවන්ව ඉතා හොඳින් මෙල්ල කිරීමට චරණ නානායක්කාර හා බිනුර ප්‍රනාන්දු සමත් විය. එහි දී චරණ ලකුණු 22කට කඩුලු 7ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර, බිනුර ද කඩුලු 3ක් දවා ගන්නා ලදි.

තම පළමු ඉනිම දියත් කළ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 155ක් රැස්කර ගන්නා ලදි. එහි දී සහන් ආරච්චිගේ හා සාලින්ද උශාන් පිළිවෙළින් ලකුණු 41ක් හා ලකුණු 25ක් රැස්කර ගැනීමට සමත් විය.

අද දිනයට තරගය ආරම්භ කරන විට, බස්නාහිර පළාත් දකුණු දෙවන ඉනිම, කඩුලු 4ක් දැවී ලකුණු 58ක් ලෙස සටහන් වී තිබුණු අතර, එතැන් සිට ලකුණු 188ක් දක්වා තම කණ්ඩායම ඔසවා තැබීමට මාධව නිමේෂ්ගේ අර්ධ ශතකය ඉවහල් විය. ඔහුට අමතරව ඉනිමේ මැදපෙළ සවිමත් කළ සඳකැන් පතිරණ හා රනිත ලියනාරච්චි පිළිවෙළින් ලකුණු 36ක් හා නොදැවී ලකුණු 35*ක් රැස්කර ගන්නා ලදි.

ලකුණු 73ක පහසු ඉලක්කයක් හඹා ගිය බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම කඩුලු 9ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී සාලින්ද උශාන් නොදැවී ලකුණු 32*ක් රැස්කර ගන්නා ලදි.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 39 (පන්දුවාර 15.2) චරණ නානායක්කාර 7/22, බිනුර ප්‍රනාන්දු 3/17.

බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 53.3): සහන් ආරච්චිගේ 41, සාලින්ද උශාන් 25, බිනුර ප්‍රනාන්දු 24, නිශාන් පීරිස් 22, මිශේන් සිල්වා 4/41, සඳකැන් පතිරණ 3/54, ලක්ෂිත මානසිංහ 2/12.

බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 188 (පන්දුවාර 52.1): මාධව නිමේෂ් 53, සඳකැන් පතිරණ 36, රනිත ලියනාරච්චි 35*, රශ්මිත ඕපාත 20, බිනුර ප්‍රනාන්දු 3/14, නුවන් තුශාර 2/31, දුවිඳු තිලකරත්න 2/61  

බස්නාහිර පළාත් උතුර දෙවන ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 74 (පන්දුවාර 19.3): සාලින්ද උශාන් 32*, කවීන් බණ්ඩාර 27


දකුණු පළාත හා නැගෙනහිර පළාත

B කාණ්ඩයේ තරගයක් ලෙස මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඊයේ (11) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

දකුණු පළාත් කණ්ඩායම තම පළමු ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වූ අතර, පන්දුවාර 54ක් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 201ක ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩනැංවීමට චරිත් අසලංකගේ ශතකය අනගි පිටිවහලක් විය.

අනතුරුව පිටියට පැමිණි පසිඳු ඉසිර හා සිතාර ගිම්හාන ද අර්ධ ශතක දෙකක් වාර්තා කරන ලදි. දකුණු පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි අධීෂ තිරන්ජන ලකුණු 43යි.

අද දිනය සඳහා තරගය ආරම්භ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි නැගෙනහිර පළාත එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටියේය. එම ඉනිම ලකුණු 142ක මට්ටමකට ගෙන ආ වොෂන්ත ද සිල්වා ලකුණු 46ක් වාර්තා කරන ලදි.

නැගෙනහිර කණ්ඩායම දකුණු පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 208ක් පසුපසින් සිටි නිසා තම දෙවන ඉනිම දියත් කිරීමට නැගෙනහිර කණ්ඩායමට සිදු වූ අතර, එහි දී ඔවුන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 85ක් පමණි.

මෙම තරගයේ දී මලිත් මහේල ඉනිම් දෙක තුල දී දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 63ක් තුල කඩුලු 12ක් දවා ගන්නා ලදි.

මෙම තරගයෙන් ඉනිමක හා ලකුණු 123 ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.

දකුණු පළාත් පළමු ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 350 dec (පන්දුවාර 89): චරිත් අසලංක 103, පසිඳු ඉසිර 66, සිතාර ගිම්හාන 50, අධීශ තිරන්ජන 43*, එම්. ශරුෂාන් 2/69, රමේශ් නිමන්ත 2/79

නැගෙනහිර පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 43.5): වොෂන්ත ද සිල්වා 46, නිපුන් ගමගේ 20, මලිත් මහේල 7/38

නැගෙනහිර පළාත් දෙවන ඉනිම (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 28.3): නිපුන් ගමගේ 22, මලිත් මහේල 5/25, චරිත් අසලංක 3/38


උතුරු පළාත හා බස්නාහිර පළාත් මධ්‍යම

A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම කොළඹ මුවර්ස් තණතීරුව මත පළමුව පන්දු යැවීමට ඊයේ තීරණය කරන ලදි. මෙම තරගය ඉනිමකින් හා ලකුණු 129කින් ජයග්‍රහණය කිරීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සමත් විය.

උතුරු පළාත් පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 166ක් රැස්කර ගන්නා ලදි. එහි දී රෙවාන් කේලි ලකුණු 39ක් ලබා ගන්නා විට ශාලිත ප්‍රනාන්දු හා තරුෂ ප්‍රනාන්දු ලකුණු 30 බැගින් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ ලකුණු 38ක් තුල කඩුලු 3යි.

ඊයේ (11) දිනය අවසන් වන විට බස්නාහිර පළාත් පළමු ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 205ක් ලෙස සටහන් විය. එවන් මට්ටමකට ඉනිම ගොඩනංවමින් සුපිරි ශතකයක් තම ඉනිමට එක් කර ගැනීමට හිමාෂ ලියනගේ සමත් වූ අතර, ඔහු ලකුණු 177ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. එසේම මනෙල්කර් ද සිල්වා හා විශාද් රන්දික පිළිවෙළින් නොදැවී ලකුණු 63*ක් හා ලකුණු 58*ක් රැස්කර ගෙන තම ඉනිම ලකුණු 400ක් දක්වා ගෙනවිත් ඉනිම අත්හිටුවන ලදි.

අනතුරුව සිය දෙවන ඉනිම දියත් කළ උතුරු පළාත් කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි. එහි දී රිසිත් උපමාල් ලකුණු 28ක් ලබාගත් අතර, පන්දු යැවීමෙන් කඩුලු 2ක් දවා ගන්නා ලදි. පරාක්‍රම තෙන්නකෝන් නොදැවී ලකුණු 28යි.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ කඩුලු 4ක් දවා ගන්නා විට, අනුක් ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

උතුරු පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 49.4): රෙවාන් කේලි 39, සාලිත් ප්‍රනාන්දු 30, තරුෂ ප්‍රනාන්දු 30, ජනිත් ලියනගේ 3/38, සහන් නානායක්කාර 2/15, මනෙල්කර් ද සිල්වා 2/15, ලසිත් ඇඹුල්දෙණිය  2/38.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම – කඩුලු 7ක් දැවී ලකුණු 400 dec (පන්දුවාර 70): හිමාෂ ලියනගේ 177, මනෙල්කර් ද සිල්වා 63*, විශාද් රන්දික 58, ජනිත් ලියනගේ 31, අකිල් ඉන්හාම් 30, රිසිත් උපමාල් 2/62

උතුරු පළාත් දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 29.4): පරාක්‍රම තෙන්නකෝන් 28*, රිසිත් උපමාල් 28, ශාලිත ප්‍රනාන්දු 24, ජනිත් ලියනගේ 4/18, අනුක් ප්‍රනාන්දු 3/12


වයඹ පළාත හා මධ්‍යම පළාත

කොළඹ බී. ආර්. සී පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ වයඹ පළාත් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය. මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වයඹ පළාත් කණ්ඩායම සමත් විය.

මධ්‍යම පළාත් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 114ක් ලබා ගන්නා ලදි. එහි දී තම ඉනිම සවිමත් කළ ශැනොගීත් ශන්මුගනාදන් ලකුණු 36ක් ලබා ගන්නා විට ඔහුට සහය දුන් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 32ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 23ක් තුල කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ වයඹ පළාත තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 139ක් ලබා ගත්තේ ලකුණු 25ක පළමු ඉනිමේ වාසියක් ද ලබා ගෙනයි. මිනෝද් භානුක දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 72ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 45ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් මධ්‍යම පළාතට යම් අස්වැසිල්ලක් ලබා දෙන ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරන මධ්‍යම පළාත කඩුලු 4ක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටි අතර, ඩිලාන් ජයලත් ලකුණු 63කට දැවී යන ලදි. අවසානයේ ඔවුන්ගේ ඉනිම අවසන් වූයේ ලකුණු 213කට වන අතර, සචින්ත පීරිස් හා තරිඳු රත්නායක කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ වයඹ කණ්ඩායම වෙනුවෙන් ලියෝ ෆැන්සිස්කෝ නොදැවී ලකුණු 104*යි.

මධ්‍යම පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  114 (පන්දුවාර 33.2): ශැනොගීත් ශන්මුගනාදන් 36, රොන් චන්ද්‍රගුප්ත 32, තරිඳු රත්නායක 4/23, ශෙහාන් මදුසංක 3/41, අරවින්ද අකුරගොඩ 2/12.

වයඹ පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 34.5): මිනෝද් භානුක 72, අරවින්ද අකුරගොඩ 23, මොහොමඩ් ශිරාස් 6/45, ප්‍රමෝද්‍ය අබේකෝන් 3/12

මධ්‍යම පළාත් දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 45.4): ඩිලාන් ජයලත් 63, රවීන් සේයර් 40, ලහිරු සමරකෝන් 23, සචින්ත පීරිස් 3/30, තරිඳු රත්නායක 3/64

වයඹ පළාත් දෙවන ඉනිම – කඩුලු 2ක් දැවී ලකුණු 189 (පන්දුවාර 52.3): ලියෝ ෆැන්සිස්කෝ 104*, දමිත් පෙරේරා 40, ශසින් දිල්රංග 37*

මෙම තරගාවලියේ මීළඟ තරග පහත පරිදි පැවැත්වේ.

ජුලි 15 හා 16වන දා මධ්‍යම පළාත බස්නාහිර පළාත් මධ්‍යම කෝල්ට්ස් පිටියේ දී
වයඹ පළාත උතුරු මැද පළාත පනාගොඩ
බස්නාහිර පළාත් දකුණ නැගෙනහිර පළාත පොලිස් ක්‍රීඩා පිටියේ දී
බස්නාහිර පළාත් උතුර ඌව පළාත හම්බන්තොට දී

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට