බංග්ලාදේශ තරගාවලියට පුෂ්පකුමාර, ගුණරත්න සහ දික්වැල්ල

1147
Dickwella, Gunaratne and Pushpakumara

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟින් එළඹෙන මාර්තු 7 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න සහ මලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.

තියුණු තරගයකින් ශ්‍රී ලංකා A කණ්ඩායම එංගලන්තය පරදවයි

සංචාරක එංගලන්ත ලයන්ස් පිළ සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අද (27) ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල ආකාරයට නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගාවලියට සහභාගි නොවීම නිසා රංගන හේරත්ට නායකත්වයේ වගකීම හිමිව තිබේ. හේරත් ගෙවුනු වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුනු ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීය.

මෙම සති අන්තයේ නිමාවුනු ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 13ක් බිඳ හෙලමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ද මෙවර මුල් වරට සංචිතය හා එක්ව ඇත. මලින්ද මේ වන විට පළමුපෙළ කඩුලු 558ක් බිඳ හෙලා ඇති අතර පන්දු යැවීමේ සාමාන්‍යය 19.85ක් තරම් අඩු අගයක පවත්වාගෙන යාමට සමත්ව තිබේ.

VISIT THE #SLvBAN HUB

නිමාවුනු දකුණු අප්‍රිකානු සංචාරයේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාට මෙවර සංචිතයේ තම ස්ථානය අහිමි වී ඇති අතර ඔහුගේ සහයක ආරම්භක පිතිකරුවා වන දිමුත් කරුණාරත්න එංගලන්ත ලයන්ස් පිළට එරෙහිව පසුගිය දා දඹුල්ලේ දී වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් තම ස්ථානය තවදුරටත් රැක ගැනීමට සමත් විය.

නිමාවූ දකුණු අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියානු සංචාරයන් හිදී සීමිත පන්දුවාර තරග වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ද මෙවර ටෙස්ට් සංචිතය සඳහා කැඳවීමක් ලැබී තිබේ. මේ වන විට ටෙස්ට් ඉනිම් 7කදී ලකුණු 144ක් පමණක් රැස්කරගෙන ඇති දික්වැල්ල අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2014 වර්ෂයේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.

පසුගියදා නිමාවුනු ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග සංචාරයේ දී තරගාවලියේ වීරයා බවට පත්වුනු අසේල ගුණරත්නට ද නැවතත් ටෙස්ට් සංචිතය සමඟ එක්වීමට ඇරයුම් ලැබී ඇති අතර ගෙවුනු වසරේ සිම්බාබ්වේ සංචාරයේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමෙන් පසු නැවතත් ඔහු සංචිතය හා එක්වන ප්‍රථම වතාව මෙයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ මුල්වරට එක්වී එහි දී ලකුණු 185ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කල 21 හැවිරිදි යොවුන් කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රමට බංග්ලාදේශ තරගාවලියේ දී ස්ථානයක් හිමිවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළත් එම බලාපොරොත්තුව ඉටු වී නොමැත.

දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව අසාර්ථක වූවත් සංචිතයේ තම ස්ථාන සුරක්ෂිත කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සමත්ව සිටියි. චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර සහ දිල්රුවන් පෙරේරාගෙන් සමන්විත ශ්‍රී ලංකා දඟ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා එක්වී ඇත. අත්දැකීම් අතින් පොහොසත් සුරංග ලක්මාල්ට සහ නුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රමුඛත්වය හිමිවී ඇති අතර නවක ක්‍රීඩකයින් වන ලහිරු කුමාර සහ විකුම් සංජය 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ අනෙකුත් වේග පන්දු යවන්නන් වශයෙන් නම්කර ඇත.

 ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය 

රංගන හේරත් (නායක), උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අසේල ගුණරත්න, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, මලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, විකුම් සංජය. 

මීට අමතරව තේරීම් කමිටුව විසින් කුසල් ජනිත් පෙරේරා, රොෂේන් සිල්වා, සඳුන් වීරක්කොඩි සහ කිත්රුවන් විතානගේ යන ක්‍රීඩකයින් ටෙස්ට් තරගාවලිය අතරතුර දී අවශ්‍ය වුවහොත් ක්‍රීඩා කරවීමට සූදානමින් තබා ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට