ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට ඉන්දියාවෙන් අනුග්‍රාහකයෙක්

3436

ලබන මැයි මස 30 වැනිදා සිට එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා දේශීය අනුග්‍රාහකයින් ඉදිරිපත් නොවන පසුබිමක, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාව ඉන්දීය අනුග්‍රාහක ආයතනයක් වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.‍‍‍

කැන්ගරු ආධිපත්‍යය යළිත්?

තවත් නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කරන ලද දෙවන කණ්ඩායම…

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව අනුග්‍රාහකයා වශයෙන් ඉන්දීය සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනායතනයක් වන කෙන්ට් රෝ සිස්ටම් ආයතනයට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ආයතනය වශයෙන් ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරන නමුත් අදාළ කොන්ත්‍රාත් අත්සන් තැබීමේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි සඳහා එම අනුග්‍රාහකත්වය ඇතුළත් නොවේ. මෙවන් තත්ත්වයක් මත ඒ සඳහා නව අනුග්‍රාහකයකු සොයා ගැනීම පිළිබඳව දැන්වීම් කිහිපයක් මීට සති කීපයකට පෙර පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු ආයතනය පියවර ගත්තේය.

මීට පෙර දී නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ලබා ගැනීම සඳහා දේශීය ව්‍යාපාරික ආයතන වැළ නොකැඩී පැමිණිය ද කණ්ඩායමක් වශයෙන් දිගින් දිගටම ලබා සිටින අසාර්ථකත්වය නිසා ඔවුන් කිසිවෙක් ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා නොමැති වීම විදෙස් අනුග්‍රාහකයකු සොයා ගැනීම දක්වා යෑමට ප්‍රධාන වී තිබේ. මෙම  2019 වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදි එක්දින සහ විස්සයි විස්ස තරග සියල්ලම පරාජයට පත්වීම මෙකී තත්ත්වයට හේතු වී තිබෙන බව අනුමාන කෙරේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව “ThePapare.com විසින් කරන ලද කරුණු විමසීමේ දී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙහෙයුම් ප්‍රධානී ජෙරම් ජයරත්න මහතා, ලෝක කුසලාන තරගාවලිය සඳහා වූ අනුග්‍රාහකත්වය ලබා ගැනීමේ අයිතිය ඕනෑම අනුග්‍රාහක ආයතනයකට හිමි බවත්, එය දේශීය ද විදේශීය ද යන්න වර්ග කිරීමක් නොකරන බව පැවසීය.

“අපේ ස්ථීර අනුග්‍රාහකයා විදියට කටයුතු කරන්නේ ඩයලොග් ආයතනය. ඒත් ඩයලොග් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇති කරගෙන තියෙන ගිවිසුමට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන තරගාවලි කිසිවක් ඇතුළත් වෙලා නෑ. මේක විතරක් නොවෙයි. විස්සයි විස්ස ලෝක ශූරතාව සහ ආසියානු ශූරතාවත් එහෙමයි. ඒක නිසා මේ ලෝක කුසලානයේ ප්‍රධාන අනුග්‍රාහකයා විදියට කටයුතු කරන්න අවශ්‍ය නම් ඕන කෙනෙකුට ඒක ගන්න පුළුවන්. ඒක දේශීය ද විදේශීය ද කියන එකේ ගැටලුවක් නෑ. ඕන කෙනෙක්ට ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. අන්න ඒ අනුව තමයි මේ කෙන්ට් රෝ කියන එක අපේ කණ්ඩායමේ අනුග්‍රාහකයින් බවට පත්වුනේ” යැයි පැවසීය. අදාළ අනුග්‍රාහකත්වය ලබා දීමේ දී ඒ සඳහා කොපමණ මුදලක් ලබා දෙන්නේ ද යන්න අප කරන ලද විමසීමේ දී, ඉදිරියේ පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවේ දී ඒ සියලු තොරතුරු ලබා දීමට කටයුතු කරන බව ජයරත්න මහතා පවසා සිටියේය.

ඉන්දියානු ආයතනයක් වන කෙන් රෝ සිස්ටම් ආයතනය, දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින ප්‍රධාන කණ්ඩායමක් වන රවිචන්ද්‍රන් අශ්වින්ගේ නායකත්වයෙන් යුතු කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ ද අනුග්‍රාහකයකු ලෙස කටයුතු කරයි.

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<