ශ්‍රී ලංකාව පාකිස්තානෙට බෑ කියයි

3080
SLC refuses to play in Pakistan

එළඹෙන ඔක්තෝබර් මාසයේදී ලාහෝර් නුවරදී විස්සයි-විස්ස තරග දෙකකට සහභාගී වන ලෙස පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කර තිබූ ආරාධනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මීට හේතුවී ඇත්තේ මේ සතිය මුලදී ලාහෝර් නුවර සිදු වූ බෝම්බ පිපිරීමකි.

සිද්ධියෙන් පුද්ගලයන් 26කට අධික ප්‍රමාණයකට ජීවිත අහිමි වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලාහෝර් නුවර ගැන ගොඩනගාගනිමින් තිබූ විශ්වාසයද යළි බිඳී ගියේය.

“මම ICC රැස්වීම් අතරතුරදී මගේ ශ්‍රී ලංකා ක්‍රිකට් මිත්‍රයන්ව විස්සයි-විස්ස තරග දෙකක් සඳහා කැමති කරවා ගත්තා. අපි සූදානම් කර තිබුණේ ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග ඉන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමටයි.” බොඳවූ බලාපොරොත්තු සමඟින් පාකිස්තානු ක්‍රිකට් සභාපති ශහරියර් ඛාන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කීවේය. එහෙත් ඔහු සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු ඉවත දැමීමට සූදානම් බවක් නොපෙනිණ.

“මට ටිකක් පුදුමයි ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂේප කිරීම ගැන. ත්‍රස්ත ප්‍රහාර ලෝකේ පුරාම සිද්ධවෙනවා. ඒත් ක්‍රීඩා ඉසව් එහෙමම පැවැත්වෙනවා. තනි නොකැමත්තට අපව ප්‍රතික්ෂේප කිරීම අසාධාරණයි.” ඔහු තවදුරටත් පවසා තිබුණි.

එහෙත් පාකිස්තාන ජනතාවට වඩා ශ්‍රී ලාංකික අපට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන කැක්කුමක් ඇති බව හඳුනාගත් ක්‍රිකට් ආයතනය අවදානමක් ගෙන එවැනි තරගාවලියකට ඔවුන්ව සහභාගී කරවීම ප්‍රතික්ෂේප කිරීම කළ යුතුව තිබූවක් බැව් මෙහිලා සටහන් කරන්නෙමු.

2009 වසරේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6දෙනෙකු පමණ තුවාල ලැබූ අතර එහි මතකයන් තවමත් අපේ සිත්තුළ හොල්මන් කරන්නේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ ඇනුම් පදද ඇතුළත්වයි. කුමාර් සංගක්කාර සහ අර්ජුන රණතුංග යන ක්‍රීඩකයන් දෙපල මෑත මාස කිහිපයේදී එවන් අදහස් දක්වනු අසන්නට ලැබුණි.

එහෙත් සැප්තැම්බර් 12 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ලෝක ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරය පිළිබඳ මෙතෙක් අදහස් පළනොවී ඇති අතර පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා ඒ ගැන දරන්නේ මෙවන් අදහසකි.

“අපි ලෝක කණ්ඩායමේ සංචාරයට අදාළ වියදම් තක්සේරු සහ අනෙකුත් දේවල් කතාකර අවසන්. නමුත් ප්‍රහාරය සිදු වූ දා පටන් තත්වය පැහැදිලි නැහැ. අවසානයේදී තරගාවලිය පැවැත්වේ යැයි කියලා අපට විශ්වාසයක් තියෙනවා.”

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට