අසේල, කුසල් ජනිත් හා මැතිව්ස් ගැන ඉඟියක්

1801
Sri Lanka cricket press conference

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වූ දීර්ඝ ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (31) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබුණි.

ආමීර් – මලික් සුසංයෝගය 3-0ක විස්සයි විස්ස ජය තහවුරු කරයි

ඊයේ (29) පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති අවසන් එක්දින තරගයෙන් ද ලකුණු 36ක..

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර නිමා වූ ක්‍රිකට් තරගාවලියේ දී ටෙස්ට් තරග දෙකක් හැරෙන්නට අනෙකුත් එක්දින හා විස්සයි විස්ස තරග සියල්ලම අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක තිසර පෙරේරා සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

“අපි හිතුවට වඩා වෙනස් සංචිතයක් විස්සයි විස්සට තේරිලා තිබුණේ. මේ සංචිතය තරුණ සංචිතයක් වුනාට ඒගොල්ලන්ගේ හැකියාවන් හා ඉදිරිපත්වීම මගේ නායකත්වයට ඉතාමත් පහසුවක් වුනා. මම ක්‍රිකට් ගහපු අවුරුදු 9 තුළ මෙවන් ආරක්ෂාවක් දැකපු පළමු වතාව මෙයයි. මේ වගේම ආරක්ෂාවක් යටතේ අපිට නැවතත් පාකිස්තානයේ ක්‍රීඩා කරන්න පුළුවන්.”

“අපි හිතුව විදිහට දස්කම් අතරට එන්න බැරි වුනා. අපේ පිතිකරණය අපේ කණ්ඩායමට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වුනේ නෑ. නමුත් අපේ පන්දු යැවීම හා පන්දු රැකීම හොඳ මට්ටමක තිබුණා. අපේ පිතිකරණයේ අඩුපාඩු නිසා අපට එක්දින තරගාවලිය පරාජය වීමට සිදු වුනා.” යැයි පකිස්තානු තරගාවලියේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක ලෙස වගකීම දැරූ උපුල් තරංග ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේශ් චන්දිමාල් ද නිමා වූ තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින්,

“මම තරගාවලි දෙකකට පසුව තමයි එක්දින සංචිතයට නැවතත් තේරුණේ. මම හිතපු විදිහට එක්දින තරගාවලිය තුළ ලකුණු අතරට එන්න බැරි වුනා. අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ලෙස මට මීට වඩා දෙයක් කණ්ඩායමට කරන්න තිබුණා.” පැවසීය.

තවද අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි ඇශ්ලි ද සිල්වා මහතා පැවසූවේ, එළඹෙන ඉන්දීය සංචාරය සඳහා කුසල් ජනිත්, අසේල ගුණරත්න හා ඇන්ජලෝ මැතිව්ස් දැනට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බවයි.

අසේල නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය තුළ වමතේ මහපට ඇඟිල්ලේ අස්ථි බිදීමක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි අතර, කුසල් ජනිත් නිමා වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කළව ආශ්‍රිතව ආබාධයකට ලක්වීම නිසා පසුව පැවැත්වූ තරගවල දී ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළේ නැත. එසේම මැතිව්ස් පකිස්තානු සංචාරය ආරම්භ වීමට සතියකට පමණ පෙර මස් පිඩු ඇදීමකට ලක්වීම නිසා ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළේ නැත.

අසේල ගුණරත්නගේ දායකත්වය අවිනිශ්චිතයි

2017 ඉන්දියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) ගාල්ලේදී ඇරඹුණු අතර එහිදී සිය…

තවද එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සිල්වා මහතා පැවසුවේ, මේ වසර අවසන් වීමට පෙර ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා නව පුහුණුකරුවෙකු පත්කිරීමට බලාපොරොත්තු වන බවයි. දැනට ප්‍රධාන පුහුණුකරු ධූරය හොබවන දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් මහතා හිටපු ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා නික්ම ගිය පසුව හිස් වූ ප්‍රධාන පුහුණුකරු ධූරයට තේරී පත්විය. නිමා වූ සිම්බාබ්වේ තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත්  පෝතාස් මහතා, 2016 ජූලි මස සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබීය.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<