ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ගේ මතට තිත තබන්නේ ඇයි?

820

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට තරගාවලි අතරතුර දී මතට තිත තබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැඩපිළිවෙළක් දියත් කෙරෙමින් තිබේ. එනම් තරගාවලි අතරතුර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් අහඹු මත්පැන් පරීක්ෂා සඳහා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ශම්මි සිල්වා මහතා ගෙන ඇති තීරණයයි.

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් සිය රියදුරු බලපත්‍රය පවා අහිමි කර ගැනීමට සිදු වූ දිමුත් කරුණාරත්න සම්බන්ධ සිදුවීම මෙම තීරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වීම වරදක් නොවේ.

ක්‍රිකට් රහ වැටුණු, ජලයේ දී වේගවත් අපේ කාලයේ පිහිනුම් දෙවියා

ලෝක ක්‍රීඩාවේ ස්වර්ණමය තරගාවලිය ලෙසින් අදටත් සැලකෙන්නේ ඔලිම්පික් තරගාවලිය. මේ වන විට…

බීමතින් රිය පැදවීම මෙන්ම අනතුරක් සිදු කිරීම ද මෙරට පවතින නීති පද්ධතිය අනුව පැහැදිලි වැරදිය. කෙසේ වෙතත් මත්පැන් පානය කිරීම මෙරට පවතින නීති රීති කිසිවකට අනුව වරදක් නොවේ. එසේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති මෙම තීරණය කෙතරම් දුරට සාධාරණීකරණය කළ හැකි ද?

රටේ පවතින නීති පද්ධතිය.

නීත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ මෙරට මත්පැන් නිෂ්පාදනය කිරීමටත්, අනුමත බදුවලට යටත්ව විදෙස් මත්පැන් මෙරටට ආනයනය කිරීමට සහ විකිණීමටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ නීති පද්ධතිය යටතේ අවසර හිමි වී තිබේ. එමෙන්ම රජයේ අනුමත දින සහ වේලාවන්ට යටත්ව මත්පැන් විකිණීමට ද, නිසි වයස සම්පූර්ණ කළ ඕනෑම කෙනෙකුට ඒවා භාවිත කිරීමට ද, කිසිදු තහනමක් පනවා නොමැත. රටේ නීති රීති පවතින්නේ මත්පැන්වල බලපෑමට යටත්ව නැතහොත් බීමත්ව කළ නොහැකි දේ සම්බන්ධයෙන් පමණි.

පෞද්ගලික නිදහස.

ඕනෑම කෙනෙක් මෙලොව උපදින අවස්ථාවේ දී ම ඔහු හෝ ඇය තම ජීවිතය පිළිබඳ නිදහස් කැමැත්තක් උරුම කර ගෙන සිටියි. තීරණ ගැනීමට හැකි වයසට එළඹ සිටින ඕනෑම කෙනෙකුට තම ජීවිතය පිලිබඳ, තමන් කරන කියන දේ පිළිබඳ තමන්ට රිසි පරිදි තීරණ ගැනීමේ පරම අයිතියක් පවතියි. එසේ නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට මත්පැන් පානය කිරීමෙන් වළකින ලෙස පැවසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු අයිතිය කුමක්ද?

ක්‍රීඩක කොන්ත්‍රාත්තුව.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවන රටාව අතර අන්තර් සම්බන්ධයක් ඇති වන්නේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව හරහායි. මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ පිරිසක් විවිධ මට්ටමේ කොන්ත්‍රාත්තු හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.

ඔවුන්ට මාසිකව සිදු කරන ගෙවීම්, ඔවුන්ට ක්‍රිකට් ආයතනය හරහා හිමි වන වරප්‍රසාද සහ පහසුකම් වැනි සියලු කරුණු ඇතුළත් වන්නේ මෙම කොන්ත්‍රාත්තු ලියවිල්ල තුළයි. ඊට අමතරව මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් වෙත නියම කර තිබෙන චර්යා ධර්ම මාලාවක් ද ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වී තිබෙන ක්‍රීඩකයන් රටේ නීතියෙන් එහා ගිය බැඳීමකින් සිය පෞද්ගලික නිදහස සීමා කර ගත යුතු වන්නේ එබැවිනි.

සදාචාරාත්මක පැතිකඩ.

ක්‍රිකට් ක්‍රීඩාව අතිශයින්ම වෘත්තීයකරණය වී ඇති වකවානුවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සේව්‍යයා නොහොත් හාම්පුතා (Employer) ලෙසත් ක්‍රීඩකයන් සේවකයන් (Employee) ලෙසත් හැඳින්වීම බොහෝ දුරට සාධාරණ උදාහරණයක් වේ. ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම් කෙරෙහි සාමාන්‍ය කම්කරු නීති බලපෑමක් නොකළ ද, ක්‍රීඩක ගිවිසුමක් හරහා ක්‍රීඩකයෙකුගේ නිදහස මෙතරම් සීමා කිරීමට ක්‍රිකට් ආයතනයට සදාචාරාත්මක අයිතියක් ඇති ද? යන්න කිසිවෙකුට පැන නැගිය හැකි ගැටලුවකි. එමගින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට සිය කාලය, ශ්‍රමය කැප කරන ක්‍රීඩකයන් හට සිය ජීවිතය විඳින්නට ඇති සුළු කාලය පවා උදුරා ගැනීමක් නොවන්නේ ද? යනුවෙන් ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් නැගිය හැකිය.

රොජර් ෆෙඩරර්ගේ උඩපන්දුව රැකගත් ෂේන් වෝන්

ෂේන් වෝන් යනු අවිවාදයෙන්ම ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පන්දු යවන්නන්ගෙන් කෙනෙකි…

සදාචාරාත්මක පැතිකඩ – වෙනත් කෝණයකින්.

ගුරුවරයෙක් සහ වෛද්‍යවරයෙක් ගෙන බලමු. ඔවුන් දෙදෙනාම සිය වෘත්තීන් හරහා සමාජයට වටිනා සේවා සපයන පුද්ගලයන් වේ. ඔබේ දරුවාගේ ගුරුවරයා සහ ඔබේ පවුලේ වෛද්‍යවරයා එක්ව සමාජ ශාලාවක මත්පැන් බොමින් සිටින අවස්ථාවක් ඔබ දුටුවහොත් හෙට දිනයේ දී ඔබේ දරුවා අදාළ ගුරුවරයා ගේ පන්තියට යැවීම සම්බන්ධයෙන් ඔබේ හිත තුළ සුළු හෝ දෙගිඩියාවක් ඇතිවනවා නොවේ ද? නමුත් ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත දරුවා ගෙන යාමට එතරම් චකිතයක් ඔබ තුළ ඇති වන්නේ ද?

ක්‍රිකට් ක්‍රීඩකයා කොතැනද?

1996 දක්වා කෙමෙන් කෙමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වටා ගොඩනැගුනු ජන රැල්ල 1996 ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟ ක්‍රිකට් ආගමක් කර ගන්නා තරමට ම වර්ධනය විය. 2015 පමණ වන තුරු වරින්වර විවිධ හැලහැප්පීම් හමුවේ වුවත් විශිෂ්ට ලෝක කුසලාන වාර්තා හරහා සිය ක්‍රීඩාලෝලී බලඇණිය තව තවත් ශක්තිමත් කර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වටා 2014 පන්දු වාර 20 ලෝක කුසලානය දිනා ගන්නා විට තවත් ක්‍රීඩාලෝලී පරපුරක් රොක්වී තිබුණි. වසර කිහිපයක් පුරා පල්ලම් බසිමින් සිටියත් තවමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් වටා අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් එක් රොක් වී සිටියි.

එබැවින් තමන් මේ සමාජය තුළ පරමාදර්ශී චරිත වන බව ක්‍රිකට් ක්‍රීඩකයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතුව තිබේ. තමන්ගේ ගුරුවරයා දෙස බලා සිසුන් හැඩ ගැසෙන්නා සේ ක්‍රිකට් ක්‍රීඩකයන් කරන කියන දේ අනුකරණය කරන්නට මෙරට ළමා පරපුර මෙන්ම තරුණ පරපුර ද සැදී පැහැදී සිටියි. මෙවන් තත්ත්වයක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගැනීමත් සමගම ක්‍රීඩකයන් යම් සමාජ වගකීමකින් බැඳෙන්නේ නිතැතින්ම ය.

ක්‍රීඩකයා ද? ”ක්‍රිකට්” ක්‍රීඩකයා ද?

ලොව පුරා තිබෙන තත්ත්වය අධ්‍යනය කළ හොත් සරලව ම ‘ක්‍රීඩකයා’ යන චරිතය සමාජයට ආදර්ශයක් විය යුතුය යන මතය බොහෝ සෙයින් සමාජ ගත වී තිබේ. කෙසේ වෙතත් මෙරට තත්ත්වය මදක් වෙනස් බව කිව මනාය. ඊට හේතු වී තිබෙන්නේ මෙරට අනෙකුත් බොහෝ ක්‍රීඩාවන්ට අත්ව ඇති අවාසනාවන්ත ඉරණමයි. සුජාන් පෙරේරා හෝ කසුන් ජයසූරිය යනු කවුරුන් දැයි ඇසුවහොත් මෙරට බොහෝ දෙනෙකුට පිළිතුරක් නොතිබෙනු ඇති. ඒ මෙරට පාපන්දු ක්‍රීඩාව ලොව රටවල් දෙසිය ගණනක් අතුරින් පහත්ම තැනකට ඇද වැටී තිබීම නිසාවෙන් බව  සිතමු. නමුත් චමිල් කුරේ හෝ නිශාන්ත ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දුන් කණ්ඩායමක ක්‍රීඩකයන් යයි කිවහොත් බොහෝ දෙනෙක් ‘බොරු කියන්න එපා’ යයි පිළිතුරු දෙනු නොඅනුමානය. ඒ අදටත් ශ්‍රී ලංකාව ලෝක ශූරයන් ලෙස කිරුළු පළඳා සිටින කැරම් ක්‍රීඩාවේ ලෝක කුසලාන ජයග්‍රාහකයන්ට අත්ව තිබෙන අවාසනාවන්ත ඉරණමයි.

නමුත් කැරම් ලෝක ශූරයන්ව නොදන්නා බොහෝ දෙනෙක්, ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනෙක් නම් කරන්නට යයි අභියෝග කළ හොත් එය භාර ගැනීමට පසුබට නොවනු ඇති. ඒ තවමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවී තිබෙන පිළිගැනීමයි. එබැවින් මෙරට ක්‍රීඩකයන්ට සමාජය පිළිබඳ වගකීමක් පැවරෙන්නේ නම් ඊට කිහිප  ගුණයකින් වැඩි වගකීමක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැවරෙන බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතුය.

ක්‍රිකට් කොයිබට ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කළේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා සංචිතයේ අවසන් තෝරා ගැනීම් සඳහා මිනුම් දණ්ඩක් ලෙසයි.

කෙසේ වෙතත් ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථාන සඳහා වැඩි ඉඩකඩක් පවතින ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා යන පිතිකරුවන් 7 දෙනාම එක්ව ලබාගෙන තිබෙන්නේ ලකුණු 45 ක් පමණි. යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විලි වසා ගැනීමට සිදුවුනේ හෙට අනිද්දා විශ්‍රාම යන්නට සිටින ලසිත් මාලිංග ගේ පිහිටෙන් පමණකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් මත්පැන් භාවිත කරනවා ද යන්න සොයා බැලීමට ගෙන ඇති තීරණය හරි ද වැරදි ද යන්න පිළිබඳ අපි කිසිවක් නොකියමු. දැන් තිබෙන්නේ ලසිත් මාලිංගගෙන් ඔබ්බට ක්‍රිකට් ක්‍රීඩාවක් ගැන හිතන්නට පවා බය හිතෙන තත්ත්වයකි. මෙම ලිපිය හරහා මෙතෙක් දුරක් සාකච්ඡාවට බඳුන් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩකයන් සතු සමාජ වගකීම පිළිබඳ අවසානයේ එක් සටහනක් තැබිය හැකිය.

එනම් තව නොබෝ දිනකින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බීමතින් රිය පැදවීමත් මෙරට මාධ්‍යයට සහ ජනතාවට ඔබ හා මම බීමතින් රිය පැදවීම වැනි වටිනාකමක් නැති ප්‍රවෘත්තියක් බවට පත්වන්නට නම් බොහෝ සෙයින් ඉඩ ඇති බවයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද ක්‍රීඩකයන් මත්පැන් පානය කරනවා ද යන්න පිළිබඳ මෙතරම් කරදර වීමට සිදු නොවනු ඇති.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<