2013 වසරේ මාර්තු මාසයේ එක් සුන්දර සිකුරාදා සැන්දෑවක නමින් සධීර රශේන් සමරවික්‍රම නම් වූ මරදාන සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායමේ යොවුන් පිතිකරුවකු ක්ෂණයකින් මෙරට ක්‍රිකට් කරළියේ අවධානය දිනා ගැනීමට සමත් වුනේ 79 වන ශාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය වර්ණවත් කරමින් බම්බලපිටිය සාන්ත පීතර විදුහලට එරෙහිව රැස් කළ අගනා ශතකය (126) හේතුවෙනුයි.

ඉතිහාසයෙන් ඇසෙන ශූරයින්ගේ කුසලානයේ කතා පුවත

සමස්ත ලෝකයේම වෙසෙන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂකයින්ගේ දෙනෙත් මේ දිනවල එංගලන්ත සහ වේල්සය..

එදින කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයට රැස්ව සිටි සියල්ලන්ගේම පාහේ අදහස වුනේ සධීර ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ මීළඟ ‘පෙරළිය’ වනු ඇති බවයි. වසර 4කට පසු එදා එම ඉනිම තම ක්‍රීඩා දිවිය වෙනස් කිරීමට සමත් වූ බව ආවර්ජනය කරන සධීර, විශිෂ්ට දස්කම් සමඟින් අවසන් කළ 2016/17 තරග වාරයකින් පසු සිය නම මෙරට ප්‍රධාන ක්‍රිකට් කරළියේ රන් අකුරින් ලියවන්නට සමත්ව තිබෙන්නේ තාක්ෂණයෙන් අනූන මෙන්ම සහජ දක්ෂතා වලින් පිරිපුන් කඩුලු රැකීමේ හැකියාව ඇති පිතිකරුවෙකු ලෙසයි.

1st XI cricket for St. Joseph’s Collegeසධීරගේ ක්‍රිකට් දිවියේ ආරම්භය සාන්ත ජෝසප් විදුහලට අයත් නොවුනත් ඔහුගේ හදවත තුල ඩාර්ලි පාරේ  පියස පිළිබඳව තිබෙන්නේ අල්පවූ ගෞරවයක් නම් නොවේ. ‘මම ක්‍රීඩාවේ මූලිකාංග හදාරමින් 15න්  පහළ කාණ්ඩය දක්වා කොළඹ තර්ස්ටන් විදුහල වෙනුවෙන් ක්‍රීඩා කළත්, වසර 5ක් පුරා සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම මගේ ක්‍රීඩා ජීවිතය වෙනස් කරන්නට සමත් වුනා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න්  පහළ කණ්ඩායම තුළ මගේ ස්ථානය ස්ථාවර කර ගැනීමේ සන්ධිස්ථානය වුනේ එදා මහා ක්‍රිකට් තරගය තුළ වාර්තා කළ ශතකයයි.”

සිය දක්ෂතා ගොන්න තුල පිටියේ සෑම දිශාවකටම පාහේ එල්ල කළ හැකි පහර විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටින සධීර සීමිත පන්දු වාර තරගවල දී ජයග්‍රහණ දිශානතිය වෙනස් කළ හැකි වේගවත් ඉනිම මෙන්ම දීර්ඝ තරගවල දී දිගු ඉනිම ගොඩ නැගීමේ ද හැකියාව ඇති ක්‍රීඩකයෙකි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී කඩුල්ල පසුපස වගකීම භාර ගැනීමට සැදී පැහැදී සිටින ඔහු පිටියේ ඕනෑම ස්ථානයක පන්දු රැකීමට ද පසුබට වන්නේ නැත.

”සධීරට හොඳ ක්‍රිකට් අනාගතයක් තිබෙන බව මම හොඳින්ම දැන සිටියා. ඔහුගේ පාසල් කාලයේ සිටම මම හිතපු දෙයක් තමයි, ඔහුගේ වයසේ ක්‍රීඩකයන් අතරින් හොඳම පිතිකරණ තාක්ෂණය තිබෙන්නේ සධීරට බව. පසුගිය වසර කිහිපය තුල දී ඔහු විශිෂ්ට ලෙස තම හැකියාවන් දියුණු කරගෙන මේ වන විට මෙරට සිටින දක්ෂතම කඩුලු රකින පිතිකරුවන්ගෙන් අයෙක් බවට පත්ව තිබෙනවා.”සාන්ත ජෝසප් විද්‍යාලයේ දී සධීරගේ පුහුණුකරු ලෙස කටයුතු කළ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු උපදේශකවරයෙකු ලෙස සේවය කරන ජානක දීගොඩගමගේ පවසයි.

2014 යොවුන් ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළ සධීර වඩාත්ම පැසසුම් ලැබුවේ එංගලන්ත යෞවනයන්ට එරෙහිව රැස් කළ දර්ශනීය කවර් ඩ්‍රයිව් පහර රැසකින් වර්ණවත් වූ ලකුණු 82ක ඉනිම හේතුවෙනුයි. ඔහු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරග 6ක දී ලකුණු 265ක් රැස් කරන්නට සමත් විය. එම තරගාවලිය තුල සධීරගේ කණ්ඩායම් සගයන් වූ කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු පසුව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලබා ගත් අතර කුසල් මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නැංගුරම බවට පත් වෙමින් සිටියි.

”ඔහු ඉතාමත් ධනාත්මක ක්‍රීඩකයෙක්. ඔහු නිරතුරුවම ධනාත්මක සිතුවිලි සමඟින් ක්‍රීඩා කරන නිසා ඔහුගේ පිතිකරණයත් ඉතාම ධනාත්මකයි. පිතිකරණයේ දී කල් මැනීම පිළිබඳ සහජ හකියාවක් ඔහුට තිබෙනවා. පන්දුව හොඳින් පිටතට පැමිණෙන තණතීරුවල දී සධීර වඩාත් හොඳ පිතිකරුවෙක්.” ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දී සධීරගේ පුහුණුකරු වූ නවීඩ් නවාස් පැවසීය.

Sadeera Samarawickrama21හැවිරිදි සධීර පසුගිය දා අවසන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි පළාත් එක්දින තරගාවලියේ දී ‘හොඳම පිතිකරු’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් තරග 7ක් තුල ශතක 2ක් ද සමඟ ලකුණු 343ක් රැස් කරමිනි. ඊට පෙර අවසන් වූ 2016/17 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000 සීමාව පසු කළ එකම ක්‍රීඩකයා බවට පත්වූ සධීර එම තරගාවලියේ තරග 10ක ඉනිම 19ක් තුල දී ලකුණු 1016ක් රැස් කරන්නට සමත්ව තිබුණි. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහුගේ ලකුණු වාර්තා අතර ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්ව තිබෙන අතර එම ශතක තුනම නොකඩවා තරග තුනක දී වාර්තා වීම විශේෂත්වයකි.

“අන්තර් සමාජ සහ පළාත් තරගවල දී ඉහළ දක්ෂතා අතර රැඳෙන්නට මට පිහිට වූ සර්වබලධාරී දෙවියන් වහන්සේට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තරග කිහිපයක හැරුණු විට අනෙක් සියලුම තරගවල හොඳ ආරම්භයක් ලබා ගන්න මට හැකි වුනා. මට අවශ්‍ය වුනේ එම ආරම්භයන් විශාල ලකුණු බවට පත් කර ගැනීමටයි. උපුල් අයියා (උපුල් තරංග) මට කිව්වේ මගේ සහජ තරග රටාව ක්‍රියාත්මක කරන්න කියලයි. මම හිතනවා එම නිසා තමයි මට හැකි වුනේ හොඳ ඉනිම කිහිපයක් සමඟින් කණ්ඩායම අවසන් මහා තරගය වෙත ගෙන යන්නට දායක වීම සඳහා, අවාසනාවන්ත ලෙස අපි අවසන් තරගය පැරදුනත්.” සධීර පවසයි.

Sadeera-Samarawickrama”අන්තර් සමාජ තරග වාරය තුල සධීර පෙන්නුම් කළ ස්ථාවරත්වය හේතුවෙන් ජාතික තේරීම් කමිටුව මේ වසර ආරම්භයේ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා මෙම යෞවනයාව කැඳවීමට පියවර ගන්නා ලදි. එම තරගයේ දී දිමුත් කරුණාරත්න සමඟින් එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 315ක දැවැන්ත සබඳතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම සුනු විසුනු කළ සධීර ඉහළම මට්ටම සඳහා තමන් සතු ශක්‍යතාව ප්‍රදර්ශනය කළ අතර, පන්දු 233ක දී දැකුම්කළු හතරේ පහර 24ක් සමඟ රැස් කළ ලකුණු 185 ඔහු හඳුන්වන්නේ සිය ක්‍රිකට් දිවියේ මෙතෙක් ක්‍රීඩා කළ හොඳම ඉනිම ලෙසයි.

”ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කිරීම මගේ හීනයක්, ඒ වගේම එම කණ්ඩායම වෙනුවෙන් සහභාගී වුනු පළමු තරගයේ දී ම විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම ඇත්තෙන්ම අමතක නොවන අත්දැකීමක්. දිමුත් අයියා සමඟ පිතිකරණයේ යෙදීම ඉතාමත් පහසු වුනේ ඔහු මට ගොඩක් උදව් කරපු නිසයි. මම හිතනවා මේ වන තෙක් මම ක්‍රීඩා කරපු හොඳම ඉනිම එයයි කියලා.” ඔහු පවසයි.

මෑත කාලීනව පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල නැගී එන කණ්ඩායම් එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශය බලා පිටත් වූ සධීර එහි දී ද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ශූරතා ගමනේ ප්‍රධාන සාධකයක් බවට පත් වුනේ තරග 5ක දී ලකුණු 282ක් රැස්  කරමින්. මැලේසියා කණ්ඩායමට එරෙහිව අගනා ශතකයක් වාර්තා කළ ඔහු ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ අවසන් මහා තරගයේ දී පකිස්තානයට එරෙහිව දර්ශනීය පිති හරඹයක් මඟින් ලකුණු 45ක් ලබා ගන්නට සමත් විය.

පළමු පෙළ ක්‍රිකට් තරග 30ක් සහ පළමු පෙළ එක්දින තරග 22කට ක්‍රීඩා කර තිබෙන බුද්ධි හේෂාන් සමරවික්‍රම, සධීරගේ වැඩිමහල් සොයුරා මෙන්ම ඔහුගේ පළමු ක්‍රිකට් සගයා ද වෙයි. ඒ සිය නිවස පසුපස ඔවුන්ගේ පියා වන සමන් සමරවික්‍රම විසින් ඉදි කළ පුහුණු දැලක් තුළ ක්‍රීඩා කළ කාලයේ සිටයි. ”මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. දැනටත් මගේ අඩුපාඩු මග හරවා ගැනීමට ඔහු උපදෙස්  දෙනවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් ඒ වගේම මගේ කුඩා කල සිටම මගේ ජීවිතයේ වීරයා වුනේ මගේ සොහොයුරායි. මගේ දෙමාපියන් සැමවිටම මට ශක්තියක් වුනා. මම ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා.”

Buddhi Heshan Samarawickrama”මගේ මල්ලි ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. කුඩා කල සිටම ක්‍රිකට් තරග නැරඹීම සහ ක්‍රීඩා කිරීම හැර වෙනත් විනෝදාංශ ඔහුට තිබුණේ නැහැ. ඔහු නිරතුරුවම තමන්ගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා කැපවීමෙන් වෙහෙසෙනවා. මම හිතන්නේ ඒක තමයි ඔහුගේ සාර්ථකත්වයට හේතුව. මම විශ්වාස කරනවා ඔහුට ඉක්මනින්ම ජාතික කණ්ඩායමට පිවිසීමට හැකියාව ලැබෙයි කියලා.” බුද්ධි තම බාල සොහොයුරා පිළිබඳව එලෙස පවසයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සමඟ සහභාගී වූ දකුණු අප්‍රිකා සහ සිම්බාබ්වේ සංචාරය තුල ඉනිමකට ලකුණු 20ක් වැනි ඉතා පහළ සාමාන්‍යයක් රඳවා ගනිමින් දස්කම් අතරට පිවිසෙන්නට අසමත් වූ සධීර වැඩි කල් යන්නට මත්තෙන් සිය දස්කම් ඉහළම තලයට ගෙන එන්නට සමත් වුනේ දැඩි කැපවීමෙන් සිදු කළ පුහුණුව සහ මානසික ශක්තිය උපයෝගී කර ගනිමිනුයි.

”මම දෙවියන් වහන්සේ පිළිබඳව සහ මා පිළිබඳවම ඇති විශ්වාසය කිසිම විටෙක නැති කර ගත්තේ නැහැ. මෙම තරග වාරය තුල මම මගේ පිතිකරණ රටාවේ තාක්ෂණය වෙනස් කිරීමට උත්සාහ දැරුවේ නැහැ. මම වඩාත්ම උත්සාහ කළේ පිටියේ කෙලින් පහර එල්ල කරන්නටයි. මම විශ්වාස කරනවා සාර්ථකත්වයේ හේතුව මානසික ශක්තිය සහ එය ක්‍රියාවට නැංවීම බව.” පසුගිය තරග වාරය තුල සිය අසාර්ථකත්වය , විශිෂ්ටත්වයක් වෙත පරිවර්තනය වූ ආකාරය සධීර එලෙස පැහැදිලි කරන ලදි.

සහාය නළුවකු ලෙස සම්මානයට පාත්‍ර වුවද ප්‍රධාන රඟ මඬල වෙත තිබෙන අවසන් පිය ගැට පෙළ තරණය කිරීම සධීරට එතරම් පහසු කාර්යයක් නොවන්නේ ඉහළ දස්කම් සහිත ආරම්භක පිතිකරුවන් මෙන්ම කඩුලු රකින්නන් ද විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සතුව සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මේ වන විට දක්වන ඉහළ මට්ටමේ දස්කම් තවත් තරග වාර කිහිපයක් තුල ස්ථාවරව රඳවා ගනිමින් සිය ලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගැනීමට සමත් වුවහොත් සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<