කාලයට වඩා වේගවත් අරා

ක්‍රිකට් පුරාවෘත්ත අංක-3

826
© Credits for cover pic – Sports Mirchi / Scoreline / SportsKeeda / Getty Images

“ගහන්න පුළුවන් තැනට බෝලෙ වැටුණා. ඉතින් මම ගැහුවා”

ලොව වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන බ්‍රෙට් ලීගේ පන්දු දෙකකට Square leg හා Mid wicket කලාප වලින් එල්ල කළ මනරම් හයේ පහර දෙක පිළිබඳව විමසූ විට අරවින්ද සිල්වා ලබා දුන් පිළිතුරයි .

ඔහුගේ පිළිතුර සරලය. ඔහු තරමටම සරලය. පන්දු යවන්නා කියවීමේ කලාවක් එහි නැත. පිතිකරුවෙකු කළ යුතු සරල දෙය පමණක් එහි ඇතුලත් ය. අප දන්නා අරවින්ද කවදත් එසේය. වැඩි කතා නැත. කළ යුතු දේ පමණක් සිදුකර ඔහු නිහඬව හිඳී.

“කවදාවත් විවේචන වලට බයවෙන්න එපා. අන්වාර්‍යයෙන්ම විවේචන එල්ල වෙනවා. ඒත් තමන්ගෙ හැකියාව ගැන විශ්වාසය තියන්න. තමන්ගෙ පහරවල් වලට යන්න බය වෙන්න එපා. ආරක්ෂාකාරී පහරක් එල්ල කරන්න ගිහින් දැවී යනවට වඩා හොඳයි ලකුණු රැස්කරන්න ගිහින් දැවී යන එක.”

ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂාකාරී පහරවල් මත පදනම් වී තිබූ යුගයක ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නමක් දිනා ගැනීමට හැකි වූයේ අරවින්දගේ මෙම ආකල්පමය වෙනස නිසාය. පිත්ත අතට ගත් සෑම මොහොතකම ඔහුගේ ඒකායන අරමුණ වූයේ ලකුණු රැස් කිරීමයි. එය ඔහුගේ ඉහත ප්‍රකාශය සමඟ යහමින් ගැලපේ.

අරවින්දගේ ක්‍රීඩා දිවිය ආරම්භයේ ඔහු පසුපසින් සිට ඔහුව ක්‍රීඩාවට පොළඹවන්නා වූයේ අරවින්දගේ පියා ය. අරවින්ද ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දු කරවන ලද්දේ ද ඔහුගේ පියා විසිනි. කුඩා කලම දැක්වූ සුවිශේෂී දස්කම් නිසාවෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවෙක් වන රංජිත් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව අරවින්දව NCC කණ්ඩායම වෙත යොමු කළේ ද ඔහුගේ පියා විසිනි.

අරවින්ද විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත් කිරීමේ පුරෝගාමියෙකු ලෙසින් කටයුතු කළ, අරවින්ද ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමේ නායකත්වය දරන අවධියේ එම කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ ‍රංජිත් ප්‍රනාන්දු මහතා පසු කලෙක පවසා සිටියේ.

“අරවින්ද අනෙකුත් අය අතරින් සුවිශේෂී කෙනෙක් වෙන්නේ අරවින්ද හැමවෙලේම ඔහුගේ කාලයට වඩා ඉදිරියෙන් ඉන්න නිසා”

බවයි. මින් අදහස් ගැන්විය හැකි ප්‍රධාන කරුණු දෙකකි. ඉන් එකක් නම් අරවින්ද ඔහු ක්‍රීඩා කළ අවධියේ ඔහු සමඟින් ක්‍රීඩා කළ අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා ඉදිරි දැක්මක් තිබූ ක්‍රීඩකයෙක් බවයි. අනෙක් කරුණ නම් පිතිකරණයේ යෙදෙන විට අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා ඔහුගේ තිබූ වේගවත් බවයි. අරවින්දට යම් එක් ස්ථානයකට පැමිණෙන පන්දුවක් තමාට අවශ්‍ය පරිදි ස්ථානගතවී පිටියේ තමාට උවමනා ඕනෑම තැනකට යොමු කිරීමෙ හැකියාවක් තිබූ බව වරක් සනත් ජයසූරිය පවා කියා තිබූ කරුණකි. මෙම වේගවත් බව  නිසාම පන්දුවට පහර දීමට අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා වැඩි කාලයක් අරවින්ද සතු වූ බව විචාරකයන්ගේ පිළිගැනීමයි.

© Getty Images / Ceylon Business Reporter

“මුල්ම වතාවෙ මම ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමට තේරුණේ නෑ. මම ලොකු හිත් වේදනාවකින් හිටියෙ. එදා තාත්තා මට කතා කරල රාත්‍රී භෝජනයකට මාව එළියට අරන් ගියා. ඒ වෙලාවෙ තාත්තා කියපු දෙයක් තමයි විනෝදයෙන් ක්‍රීඩාවේ යෙදෙන්න කියන එක. ඉන් පස්සෙ මගෙ මනස හදන්න ඔහු මාව මගෙ යාළුවො කණ්ඩායමක් එක්ක නුවරඑළියේ සංචාරයක් වෙනුවෙන් යොමු කළා.”

අරවින්ද එසේ සිහි කරන්නේ තමාගේ පසුබෑම් අභිමුඛව තම පියා ඔහුගේ ගමනට ශක්තියක් වූ ආකාරයයි.

“අපි නුවරඑළියට ළං වෙනකොට ටිකක් රෑ වුනා. ඉස්සර දැන් වගේ මොබයිල් ෆෝන් තිබුණේ නෑ. අපි නවාතැනට ළඟා වුනාම මට පණිවිඩයක් ලැබිලා තිබුණා අනෙක් දවසෙ තරගයට සෙල්ලම් කරන්න හිටපු කෙනෙක් ආබාධයකට ලක් වෙලා මට අවස්ථාව ලැබිලා තියෙනවා කියල. ඉතින් අපි එවෙලෙම සංචාරය අවලංගු කරල රාත්‍රී කෑම අරගෙන එහෙමම ආපහු කොළඹ ආවා. එන ගමන් මම නිදාගත්තෙ වාහනේ. අපි කොළඹට එනකොට පාන්දර 3, 4 වගේ වෙන්න ඇති. කොහොම හරි මම එදා තරගය ක්‍රීඩා කරල තරගයේ වීරයා සම්මානයත් දිනාගෙන අපේ කණ්ඩායම ජයග්‍රහණයට යොමු කළා.”

අරවින්දගේ 19න් පහළ කණ්ඩායමට එක් වීමේ මතකයන් .

මම කවදාවත් ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙලා නැහැ. මගේ තාත්තා කියපු දෙයක් තමයි කුසලාන වලින් වැඩක් නැහැ කියන එක. ඔහු නිතරම කිව්වෙ ඔබට ඔබේ හැකියාව ගැන විශ්වාසයි නම් අනෙක් දේවල් අදාල වෙන්නෙ නැහැ කියලා

අන් අයගේ ඇගයීමට ලක් නොවන අවස්ථාවල දී පවා තම ආත්ම විශ්වාසය රඳවා ගෙන ක්‍රීඩා කළ යුතු ආකාරය අරවින්ද පහදා දෙන්නේ එලෙසින්.

“අලස් සර්, වෑන් සිල්වා සර්, චාලි වර්ණකුලසූරිය සර්, වෝල්ටර් පෙරේරා සර් වගේ ඒ කාලෙ ලංකාවෙ හිටපු හොඳම පුහුණුකරුවන්ගෙන් පුහුණුව ලබන්න මට අවස්ථාව ලැබුණා. පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරන කාලෙ අලස් සර් මට තාත්තා කෙනෙක් වගේ සැලකුවෙ. මම හැමවිටම මගේ මනස විශ්වාස කළා. මම වෙනත් පාසලක සිටියා නම් මට අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. මට වයස 13 දි මම පාසලේ 19න් පහළ කණ්ඩායම නියෝජනය කළා. සුදුස්සාට සුදුසු තැන ලබා දුන් නිසා තමයි මට අවස්ථාව ලැබුණේ. මම දැන් මගෙ ව්‍යාපාර ආයතනයේ අනුගමනය කරන්නෙත් ප්‍රතිපත්තියම තමයි.

ඔහු ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් උගත් දේ පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයට පවා යොදා ගන්නේ එලෙසින්. අරවින්ද ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම සාර්ථකත්වයට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා ගත් අත්දැකීම් සෘජුවම දායක වූ බවද රහසක් නොවේ.

“වෑන් සිල්වා සර් සහ චාලි වර්ණකුලසූරිය සර් ඒ කාලෙ ජාතික මට්ටමේ පුහුණුකරුවන්. ඔවුන් යටතේ අපිට ලැබුණේ ජාතික කණ්ඩායමට ලැබෙන ආකාරයේ පුහුණුවක්. මට ඒ දැනුම ලැබුනෙ අවුරුදු 9 දී විතර. ඒ කාලෙ දැන් වගේ බලල ඉගෙනගන්න රූපවාහිනී නැහැ. අපි හැමදේම ඉගෙනගත්තෙ පුහුණුකරුවන්ගෙන්. ඒ ලැබුණ පුහුණුව නිසා අපි අත්දැකීම් අතින් වයසට වඩා ඉදිරියෙන් හිටියා.”

ජාතික තලයේ පුහුණුකරුවන්ගේ වැදගත්කම අරවින්ද පෙන්වා දෙන්නේ එලෙසිනි. එවැනි දක්ෂ පුහුණුකරුවන් නොවන්නට අරවින්ද වැනි ක්‍රීඩකයෙක් අපට හිමි නොවන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ඔහු ටෙනිස් සහ මෝටර් ධාවන තරගවලට බොහෝ සෙයින් ඇලුම් කරයි. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයන් වන්නේ සුපිරි මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර් (Michael Schumacher) සහ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩකයන් වන පීට් සම්ප්‍රාස් (Pete Sampras), රෆායල් නඩාල් (Rafael Nadal) හා නොවැක් ජෝකොවිච් (Novak Djokovic) ය.

© India Today / Wikipedia / Sporting News / Twitter

ක්‍රිකට් ක්‍රීඩාවේ අරවින්ද ඇලුම් කරන චරිත කිහිපයක් වෙයි. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක විවියන් රිචඩ්ස් ඔහුගේ ආදර්ශ චරිතයක් ලෙසින් සලකන අතර ඉන්දීය ක්‍රීඩක සුනිල් ගවස්කාර්ගේ පිතිකරණ තාක්ෂණයත්, පාකිස්තානු ක්‍රීඩක ඉම්රාන් ඛාන් ගේ නායකත්ව හැකියාවත් අගය කොට සලකයි.

ඉම්රාන් පිළිබඳව අරවින්දගේ මතකයේ රැඳී ඇති සුවිශේෂී අවස්ථාවක් වන්නේ 1985 වසරේ ඔක්තෝබර් මස 17 වැනි දින, එනම් අරවින්දගේ 20 වැනි උපන්දිනය යෙදී තිබූ දිනයයි. පාකිස්තානයේ ෆයිසලාබාද් ක්‍රීඩාංගණයේ පැවති එම ටෙස්ට් තරගයේ එදින තරගය හමාර කරන අවස්ථාවේ දී අරවින්ද නොදැවී ලකුණු 93 ක් ලබා සිටියේය. පසු දින එනම් ඔක්තෝබර් 18 දින උදෑසන ඉම්රාන් එවූ කෙටි පන්දුවකට හුක් පහරක් එල්ල කරමින් ලකුණු 6ක් ලබාගෙන ලකුණු සීයේ කඩඉමට ළඟා වන්නට අරවින්ද සමත් විය.

මගෙ පළවෙනි ටෙස්ට් ශතකය. රෝයි ඩයස්ගෙ උපන්දිනය යෙදිල තිබුණේ 18 වැනිදා. මම හුඟක් වෙලාවට කියන්නෙ මගෙ පළවෙනි ශතකය ලබා ගත්තේ රෝයි අයියගෙ උපන්දිනේ දවසෙ නිසා ඒක අමතක වෙන්නෙ නෑ කියලා. “

තම පළමු ශතකය පිළිබඳව මතකය එසේ දිග හරිද්දී ඉම්රාන් ඛාන් පිළිබඳව තම අදහස ඔහු මෙසේ ඉදිරිපත් කරයි.

අගමැති වුනාට පස්සෙ මම ඉම්රාන්ට සුභ පැතුම් පණිවිඩයක් යැව්වා. පාකිස්තානයට හිටියා හැකියාවෙන් ඉතා ඉහළ මට්ටමක හිටපු ක්‍රීඩකයන් පිරිසක්. නමුත් ඔවුන්ව විනය අතින් හික්මවලා ඔවුන් තුළ විශ්වාසය ඇති කළේ ඉම්රාන්. පළවෙනි වටයේ තරග පරාජය වී සිටියත් වෙලාවෙදිත් වසීම් අක්‍රම් මුණගැහුන වෙලාවකදි ඔහු මට කිව්වෙ ඔවුන්ට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක. විශ්වාසය ඔවුන්ට දුන්නෙ ඉම්රාන්. නායකයෙකුට තියෙන්න ඕන බාධක කඩාගෙන යන ගුණාංගයක්. ක්‍රිකට්වලින් පස්සෙ වුනත් ඔහු තුළ තිබුණේකිසිදා මිය නොයමිකියන ආකල්පය. නිසාම අවසානයේ ඔහු අගමැති බවටත් පත් වුනා.”

අරවින්දගේ ක්‍රිකට් දිවියේ තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ ඔහු ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසින් ඕස්ට්‍රේලියාවේ සිදු කළ සංචාරයක් අතරතුර ඇඩිලේඩ් නුවර දී ලොව පහල වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සැලකෙන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මුණගැසීමට අවස්ථාව හිමි වීමයි. එ් පිළිබඳව අරවින්ද සිහි කරන්නේ මෙලෙසින්.

මම දැන් ගොඩක් වයස නිසා ඒක මට මතක තියෙන්නෙ යාන්තමට වගේ. අපි ඔහු එක්ක ඉතා කෙටියෙන් අදහස් හුවමාරු කරගත්තා. අපි ඔහුගේ කෞතුකාගාරයට ගිහින් ඔහු ක්‍රීඩා කරපු ක්‍රිකට් පිති එහෙමත් නැරඹුවා.”

අරවින්ද ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ප්‍රියතාවයක් දැක්වූ ක්‍රීඩකයෙකි. 1989 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර දී ඕස්ට්‍රේලියාවේ දී ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය අරවින්දට හිමි විය. ඒ පිළිබඳව ඔහු තම මතකය අවධි කළේ මෙලෙසින්.

“ටෙස්ට් තරගයට කලින් පැවති තරගය අපි දින දෙකක් ඇතුලෙ පරාජයට පත් වුනා. ඒ වෙලාවෙ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සයිමන් ඔ ඩොනල් කිව්වා ශ්‍රී ලංකාව එක්ක දවස්  5ක් ක්‍රීඩා කරන එක අපරාධයක්. ඔවුන්ට දවස් 5ක් ක්‍රීඩා කරන්න හැකියාවක් නෑ කියල. මේ ප්‍රකාශය නිසා මම ගොඩක් තරහෙන් හිටියෙ. මම සාමාන්‍යයෙන් වැඩියෙ කතා බහ කරන කෙනෙක් නෙවෙයි. නමුත් හිත ඇතුලෙන් මම ගොඩක් කතා කරනවා. එදා මම මටම කියාගත්තා මේ අයට පාඩමක් උගන්වන්න ඕන කියල. මම අධිෂ්ඨාන කරගත්තා ඇඟෙන් පහර දීලා හරි දවසක් හෝ දෙකක් පිතිකරණයේ යෙදෙනව කියල. ඒක විදිහටම වුනා. අපිට හැකි වුනා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්න.”

© Yahoo Cricket

ක්‍රිකට් ක්‍රීඩාව මුළුමනින්ම මානසික ක්‍රීඩාවක් බවත්, හොඳින් ක්‍රීඩා කිරීමට මානසික නිදහස ඉතා වැදගත් බවත් අරවින්ද විශ්වාස කරයි. ඔහු එය උදාහරණයක් සහිතව ඉදිරිපත් කළේ මෙලෙසින්.

අපි 1991 වසරේ නවසීලන්තයේ සංචාරයක නිරත වුනා. කාලෙ මගෙ ලොකු අක්කා පදිංචි වෙලා හිටියෙ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර. ටෙස්ට් තරගයට කලින් අපිට පුහුණු තරග දෙකක් තිබුණා. පළවෙනි පුහුණු තරගයට කලින් දවසෙ මම අක්කලාගෙ ගෙදර රාත්‍රී අහාරයට ගියා. පස්සෙ දවසෙ වැදගත් තරගයක් තියෙන නිසා අක්ක කිව්වා කලින්ම ආහාර අරන් නිදාගන්න කියලා. ඉතින් මම විදිහටම කලින් ආහාර අරන් 8.30 වෙනකොට නින්දට ගියා. නමුත් පහුවෙනිදා තරගයේ මම ස්ලිප් ක්‍රීඩකයෙක්ට උඩ පන්දුවක් ලබා දීලා බින්දුවට දැවී ගියා.

ඊළඟ පුහුණු තරගයට කලින් දවසෙත් අක්කගෙ කීම අහල මම කලින්ම නින්දට ගියා. ඒත් ඊට පහුවෙනිදත් ආයෙත් සැරයක් බින්දුවට දැවිලා ගියා.

ටෙස්ට් තරගය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුණේ වෙලින්ටන් වල. තරගයට යනකොට මගෙ හිත හොඳටම කැඩිල තිබුනෙ. එදා තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නෙ නවසීලන්තය. ඔවුන් එදා ලකුණු 198කට සියලු දෙනා දැවී ගියා. එදා තරගය නතර කරනකොට අපි කඩුලු දෙකකට ලකුණු 23ක් ලබාගෙන හිටියෙ. මම නොදැවී ලකුණු 3යි.

එදා රෑ නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා සාදයක් සංවිධානය කරල තිබුනා. මම හිතාගත්තා අද නම් කලින් නිදා ගන්නෙ නෑ කියලා. එදා රෑ මම යාළුවොත් එක්ක එළියට ගිහින් හොඳට විනෝද වුනා. අද වගේ සමාජ මාධ්‍ය තිබුණා නම් එදා මාවත් විනාශ කරල දාන්න තිබුනා. අපි ආපසු ආවෙ ගොඩක් වෙලා ගිහින්. මම හිතන්නෙ මම එදා පැයක්වත් නිදාගත්තෙ නෑ. කොහොම හරි පහුවෙනිදා දවස ඇතුලෙ මම ලකුණු 200ක් ලබා ගන්න සමත් වුනා. එදා මම තේරුම් ගත්තා නිදහස් මනසක් තියෙන කොට තමයි හොඳින්ම ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන් කියලා. ක්‍රීඩකයෙක් තමන්ගෙ මනස නිදහසේ තියාගන්න විදිහ හොයාගන්න ඕන. ඒක ලැබෙන්නෙ අත්දැකීම් සහ පරිණතභාවයෙන්.”

එසේම අවාසනාවන්ත අයුරින් අකල් මරණයකට ගොදුරු වූ විශිෂ්ටයෙකු වන නවසීලන්ත හිටපු නායක මාටින් ක්‍රෝ පිළිබඳව තම මතකය අවධි කිරීමටත් අරවින්ද අමතක කළේ නෑ.

තරගයේ දෙවෙනි ඉනිමේ මාටින් ක්‍රෝ ලකුණු 299ක් ලබා ගත්තා. ඔහු ඒකාලෙ හිටපු හොඳම පිතිකරුවන් පස් දෙනාගෙන් කෙනෙක්. වසිම් අක්‍රම් සහ වකාර් යුනුස් උපරිම රිද්මයේ ඉන්න කාලෙදි මාටින් ක්‍රෝ දෙන්නට මුහුණ දෙන්න සාර්ථක විදිහක් හදාගත්තා. මමත් එයා දිහා බලන් ඉදල, එයත් එක්ක කතා කරලා සමහර දේවල් ඉගෙන ගත්තා. මමත් බැක් ලිෆ්ට් එක අඩු කරලා අලුත් ක්‍රම උත්සාහ කළා.

ජාත්‍යන්තර පිටියේ දස්කම් ඉහළ යත්ම එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම්වල කළමණාකාරීත්වයන්ගේ අවධානය ද අරවින්ද වෙත යොමු වුනේ නිරායාසයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස 1995/96 තර සමය වෙනුවෙන් එංගලන්තයේ පළමු පෙළ කණ්ඩායමක් වන කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ වරම ඔහුට හිමි විය.

මම 1995 අවුරුද්දෙ කෙන්ට් කණ්ඩායමට එකතු වෙන්න එංගලන්තයට ගියා. එහි ක්‍රීඩා කරන කොට මගෙ ආත්ම විශ්වාසය ඉහළ ගිහින් මගේ හැකියාව ගැන තිබුණ විශ්වාසය වැඩි වුනා. පළවෙනි වතාවට තමයි ලංකාවෙ කෙනෙක් කවුන්ටි තරගාවලියට සහභාගී වුනේ. ඉතින් මටත් හුඟක් පීඩනයක් තිබුණා හොඳට කරන්න ඕන කියලා. ලෝකෙ හොඳම ක්‍රීඩකයෝ ඇවිත් ඒ තරගාවලියෙ ගහනවා. බවුන්ස් (ඉපිලීම) එකයි ස්වින්ග් (දෝලනය) එකයි වැඩි නිසා මට පළවෙනි මැචස් ටික අමාරු වුනා. මම අනිත් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විදිහ බලල ඉගෙන ගත්තා. පස්සෙ මමත් රන්ස් (ලකුණු) ගැහුවා. එතන දී මම ඉගෙන ගත්ත දෙයක් තමයි එයාලා අපිට වඩා බයයි කියන එක. අපේ ක්‍රීඩකයො බොහොම නිදහසේ ක්‍රීඩා කරන්නෙ. ඒත් එයාල එහෙම නෙවෙයි. එතනදීත් මම හොඳටම තේරුම් ගත්තා මේක මෙන්ටල් ගේම් එකක් (මානසික ක්‍රීඩාවක්) කියලා.  ඒක දැනගත්තට පස්සෙ මම දිගටම ලකුණු ගැහුවා.”

© The Cricket Monthly

එම තරගවාරයේ අරවින්ද ලකුණු දහස ඉක්මවා වාර්තා කරන්නට සමත් විය. 1995 වසරේ බෙන්සන් සහ හෙජස් කුසලාන ප්‍රාන්ත අවසන් මහා තරගයේ දී කෙන්ට් කණ්ඩායම වෙනුවෙන් ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 112 ක් ලබා ගන්නට ඔහු සමත් වුවද එම තරගය ජය ගැනීමට කෙන්ට් කණ්ඩායමට හැකි වූයේ නැත. කෙසේ නමුත් අරවින්දගේ පිතිහරඹයේ දස්කම් නිසාවෙන්ම ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි විය. පරාජය වූ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරගයේ වීරයා සම්මානය සාමාන්‍යයෙන් පිරිනැමීමක් සිදු නොවුනද එදා අරවින්දගේ ඉනිමේ තිබූ සුවිශේෂී බව නිසාම ඔහුට එම සම්මානය ලබා දෙන්නට තරග සංවිධායකයන් තීරණය කර තිබුණි.

අරවින්දගේ ක්‍රිකට් දිවියේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලබා ගත් වේගවත් ලකුණු 67 සඳහන් කළ හැක. ගැන ඔහු මෙසේ සිහි කරයි.

එදා ඊඩ්න් ගාඩ්න් පිටිය පිරෙන්න සෙනඟ හිටියා. සාමාන්‍යයෙන් සෙනඟ වැඩි වෙන තරමට මම වැඩි කල්පනාවකින් ක්‍රීඩා කරනවා. ක්‍රීඩා පිටියට එනකොට මම දැක්කා සෙනඟ පිරිලා ඉන්න විදිහ. ඒක මට හොඳ විදිහට ක්‍රියාත්මක වුනා. මම හිතන්නෙ ඒක එදා ඉන්දියාවට අවාසියක් විදිහටයි බලපෑවෙ

ලෝක කුසලන ජයක් පිළිබඳව බලාපොරොත්තුවක් හෝ නොතිබූ පරිසරයක තම සිතේ ලෝක කුසලාන ජයග්‍රහණය ගැන තිබූ අදහස අරවින්ද හෙළි කළේ මෙලෙසින්.

ක්වාටර් ෆයිනල් (අර්ධ අවසන් පූර්ව) එකට ආවම මම අර්ජුනට කිව්වා මේක ගැහුවොත් අපි ලෝක කුසලානය දිනනවා කියලා. මම දැනගෙන හිටියා අපිට එංගලන්තේ පන්න ගන්න පුළුවන් වුනොත් ලෝක කුසලනය දිනන එක අමාරු වෙන්නෙ නෑ කියල.

ඔහු සිතූ ලෙසම එතරම් අපහසුවකින් තොරව ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි. ඒ සඳහා අරවින්දගෙන් ලැබුණ දායකත්වය අති මහත්‍ . අවසන් මහා තරගයට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මාක් ටේලර් පවසා තිබුණේ කොතරම් උත්සාහ කළ ද අරවින්දව පීඩනයට ලක් කළ නොහැකි බවයි. අරවින්ද එයට පිළිතුරු දෙන්නේ මෙලෙසින්.

එයාල අධෛර්‍යමත් වුනාම බනින්න පටන් ගන්නවා. ඒ ඔක්කොමලා වික්ටෝරියා ලීග් එකේ ගැහුව නිසා මම එයාල ගැන දන්නවා. ඒක නිසා මට ඒ බනින එක අදාල වුනේ නෑ.”

කෙසේ නමුත් 1999 ලෝක කුසලානයෙන් පසුව අරවින්ද, අර්ජුන ප්‍රමුඛ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කරන්නට එවකට සිටි තේරීම් කමිටුව තීරණය කරන ලදි. එයින් සිදු වූ සිත් රිදීම හා ඉන් පසුව නැවත කණ්ඩායමට පැමිණි ආකාරය අරවින්ද සිහි කරන්නේ මෙලෙසින්.

වෙලාවෙ තේරීම් කමිටුව කිව්වෙ එකක් කරේ එකක්. මම හිතා ගත්තා කොහොම හරි ආයෙත් ලකුණු ගහල කණ්ඩායමට ඇවිත් මගේ කොන්දේසිවලට ක්‍රිකට් වලින් ඉවත් වෙනවා කියලා. ඉන් පස්සෙ මම හොඳට පුහුණු වෙලා ආවමත් ආයෙත් මාව ඉවත් කළා. එවෙලෙ මම හිතා ගත්තා ලංකාවෙ ටෙස්ට් සීරිස් එකක් ගහල තමයි නවතින්නෙ කියල. පස්සෙ තේරීම් කමිටු සාමාජිකයින් මාරු වෙලා සභාපති විදිහට මයිකල් තිසේරා මහත්මයා ආවම මට කතා කළා. එතුමා මට කිව්වා 2003 ලෝක කුසලානෙට ඔයාව ඕන. සිම්බාබ්වේ ටුවර් එකට ඔයාව තෝරනවා කියල.

එතකොට මගෙ බර කිලෝ 10ක් විතර් වැඩියි. මම එවෙලෙ කිව්ව මාව සිම්බාබ්වේ යවන්න එපා. මාස එකහමාරකින් එන පාකිස්තාන සංචාරයට යවන්න කියලා. ඊට පස්සෙ මාස එකහමාරෙ මම දෙගුනයක් තුන්ගුනයක් ට්‍රේන් කරල පාකිස්තාන සංචාරය ගියා. ඒ තරගයේදි මම 100ක් ගැහුවා. අර්ජුන අත කඩාගෙන විනින් රන් එක ගැහුවා. මට මතකයි මම අර්ජුනට කිව්වා අපි දෙන්නා දිනනකල් ගහමු හැමෝටම පෙන්නන්න කියලා. අන්තිම ටෙස්ට් තරගයෙ දි මම ලකුණු දෙසීයක් ලබා ගත්තා.

© Daily Mirror

අරවින්ද කියූ පරිද්දෙන්ම 2002 වසරේ දී ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කර සමුගත්තේ තම අවසන් ඉනිමේ දී ලකුණු දෙසීයක් වාර්තා කරමිනි. ඉන් අනතුරුව තේරිම් කමිටු සභාපතිවරයා වශයෙන් නැවත වරක් තම වගකීම භාර ගත් අරවින්ද පසු කලෙක එයිනුත් ඉවත් වී ගියේ තමාට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නොතිබූ බැවිනි. අවසාන වශයෙන් ඔහුගේ එම අත්දැකීම අරවින්ද විස්තර කරන්නේ මෙලෙසින්.

කණ්ඩායමක් තෝරන එකත් ව්‍යාපාරයක් කරනවා වගේ. තේරීම් කමිටුවක් ඉදිරිය ගැන සැලසුම් කරන්න ඕන. එක් ස්ථානයක ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වෙනුවෙන් තවත් ආදේශන ක්‍රීඩකයො ලෑස්ති කරන්න ඕන. මේ දවස්වල පළමු පෙළ, A කණ්ඩායම් තරග සහ සංචාර ගොඩක් තියෙන නිසා වැඩේ කරන්න ලේසියි. උදාහරණයකට ගන්න නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම. ඔවුන් නියම ආකාරයෙන් ක්‍රීඩකයන් ආදේශනය කරනවා.

මම වැඩ කරන කාලෙ හිතට එකගව වැඩ කළා. කවුරු මොන පීඩනයක් දැම්මත් මම සුදුසු අයට ඉඩ දුන්න. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්න ඉඩ තිබ්බෙ නෑ. මම මගෙ දරුවෙක්ට එහෙම වෙනවට කැමති නෑ. මට එහෙම සාධාරණ විදිහට අවස්ථාව ලැබුනෙ නැත්නම් මමත් මෙතන නෑ.

මාව ආයෙ ක්‍රිකට් පරිපාලනයෙ දි දකින්න ලැබෙන්නෙ නැති වෙයි. අපි උදව් කරන්න හැදුවා. ඒත් එක්කෙනෙකුට මේ වැඩේ කරන්න අමාරුයි. ඉහළින්ම ඒකට උවමනාව තියෙන්න ඕන. උඩ ඉදන්ම හදන්න ඕන. ඒක කරන්න බැරි නම් අයින් වෙන්න ඕන. රන්ඩු වෙවී ඉන්න මට වෙලාවක් නෑ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<