ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න පුහුණුකරුවන් රැසක් ආනයනයට?

90

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් පසුව මේ වන විට පුරප්පාඩු වී තිබෙන පුහුණුකරු තනතුරු කිහිපයක් සඳහා විදෙස් පුහුණුකරුවන් බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය සූදානමින් පසුවෙන බව ThePapare.com වෙත වාර්තා වේ. 

කෙසේ නමුත් එම පුහුණුකරුවන් පිළිබඳව අවසන් තීරණයක් තවමත් නිල වශයෙන් ගෙන නොමැති නමුත් මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත පාකිස්තානු ටෙස්ට් තරගාවලියට නිසැක වශයෙන් පෙර එම පුරප්පාඩු සඳහා පුද්ගලයින් බඳවා ගනු ඇත.

තරග 11ක පළමු දිනය වර්ෂාව ගිල ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (22)…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කලක් සේවය කළ චන්දික හතුරුසිංහ මහතාගේ නිල කොන්ත්‍රාත්තුව මේ වන විට අවලංගු කර තිබෙන අතර පසුගිය දා නිමා වූ නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු වේගපන්දු පුහුණුකරු වන රුමේෂ් රත්නායක මහතායි. 

SLC විසින් හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට ප්‍රථම අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය (Court of Arbitration for Sports) හමුවේ නීතිමය පියවර ගැනීමට හතුරුසිංහ මහතා කටයුතු කරන බව වාර්තා වේ. 

2019 ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ ජෝන් ලුවිස් සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටීව් රික්සන් ඇතුළු විදේශීය විශේෂඥයින් කිහිප දෙනෙකුගේ කොන්ත්‍රාත්තු අලුත් කිරීමට පියවර ගෙන තිබුණේ නැත. 

එතැන් සිට මේ දක්වා පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කළ 49 හැවිරිදි රුවින් පීරිස් මහතා කටයුතු කළ අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මනෝජ් අබේවික්‍රම මහතා තවදුරටත් කටයුතු කරනු ලැබේ.

රෝහිත්ගේ ද්විත්ව ශතකය නිසා දකුණු අප්‍රිකාවට තවත් ඉනිමක පරාජයක්!

තම සත්කාරකත්වය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ මණ්ඩලයට ඇතුළත් කළ පුහුණුකරුවන් අතර තරමක් විශ්මය දන්වන ඇතුළත් කිරීමක් වූයේ, ජෙරම් ජයරත්න මහතා උපදේශක පුහුණුකරුවෙකු ලෙස බඳවා ගැනීමයි. 

පසුගිය වසර 3කට ආසන්න කාලයක් පුරා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළේය. ජයරත්න මහතා උපදේශක පුහුණුකරුවෙකු ලෙස පසුගිය මාස දෙකක කාලය තුළ ක්‍රීඩකයින් තුල ආත්ම විශ්වාසය ගොඩනැගීමට සමත්ව ඇති බවක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ජෙරම් මහතා දක්වනු ලබන දායකත්වයට සමගාමීව පුහුණුකරුවෙක් ලෙස ඔහු ලබා තිබෙන ප්‍රගතිය නිරීක්ෂණය කර ඇති බලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන කළමනාකරු (High Performance Manager) තනතුර ද ඔහු වෙත පිරිනැමීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

කෙසේ නමුත් මීට එම තනතුරේ කටයුතු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අසංක ගුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව ද අලුත් කිරීමට SLC කටයුතු කර නැත.

“අපි තවමත් පුරප්පාඩු වූ තනතුරු පූර්නය කිරීමේ කටයුතු අවසන් කරලා නැහැ. ඒ ඔක්කොම වැඩ අවසන් අදියරේ තියෙන්නේ. කෙසේ වෙතත්, ජාතික කණ්ඩායමෙන් හොඳම දේ එළියට ගැනීම සඳහා අප තෝරා ගත යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳව අපට පැහැදිලියි. ජාතික කණ්ඩායමට මෙන්ම ‘A’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ ජාතික ක්‍රිකට් සංයුතියට සම්බන්ධ සියලු දෙනාටම වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම සඳහා උපදේශක පුහුණුකරුවන් පත්කිරීමට අපි බලාපොරොත්තුවෙන් පසුවෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් ThePapare.com වෙත පැවසීය.

ThePapare.com වෙත ලැබුණු විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන මාර්ක් රාම්ප්‍රකාෂ් මහතා මීළඟ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමට වැඩි ඉඩක් පවතී.

ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා වැඩි සම්භාවිතාවක් තිබූ අපේක්ෂකයින් වූ මයික් හෙසන්, ටොම් මූඩි, රසල් ඩොමින්ගෝ, පෝල් ෆාබ්රේස් සහ ඩීන් ජෝන්ස් වැනි පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු පිළිබඳව සෑහීමකට පත් නොවීම නිසාවෙන් සටනින් ඉවත් වී තිබෙන බව වාර්තා වේ. 

50 හැවිරිදි රාම්ප්‍රකාෂ් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය (ECB) සමඟ මේ වසරේ සැප්තැම්බර් දක්වා ගිවිසුම් ගත වූ නමුත් වසර පහකට ආසන්න කාලයක් සේවය කිරීමෙන් පසු 2019 මාර්තු මාසයේ දී පිතිකරණ පුහුණුකරු තනතුරෙන් ඔහුව නෙරපා හරින ලදි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාම්ප්‍රකාෂ් සමඟ සාර්ථක ගිවිසුමකට පිවිසියහොත් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කළ රුමේෂ් රත්නායකට නැවතත් වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදු වනු ඇත. 

එසේම හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස පත් කරනු ඇති බවත් ThePapare.com වෙත වාර්තා වේ. කෙසේ නමුත් ඔහු වේගපන්දු යවන පුහුණුකරු ලෙස නොව කොන්ත්‍රාත්තු පදනම මත වේගපන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස පමණක් බඳවා ගැනීමට අපේක්ෂාවෙන් පසුවේ. 

42 හැවිරිදි ලී සමඟ එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වුවහොත්, ඔහු පාකිස්තානයේ සිටි දක්ෂ වේගපන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් මහතා, වේගපන්දු යවන්නන් දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විවිධ වැඩසටහන් සඳහා සහභාගී කර ගනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙවරක් සිදු කර තිබෙන අක්‍රම්, 2016 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වේගපන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.

>>Video – ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ද්විත්ව ශතක ලාභීන් – සිංහලෙන් ක්‍රිකට් 07<<

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් සිටි දක්ෂතම පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ්ස් මහතා පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වී විවිධ වැඩමුළු පවත්වන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත සැකැස්ම තුළ පන්දු රැකීමේ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සඳහා වන උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමටත් ඔහු අපේක්ෂාවෙන් පසුවේ.

ඉදිරි මාස 24 තුළ පන්දුවාර විස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පන්දුවට පහර දීමේ හැකියාව (Power Hitting) වැඩිදියුණු කිරීම සඳහා ඉංග්‍රීසි ජාතික ජූලියන් වුඩ් සමඟ ගිවිසුම්ගත වීමට අදහස් කර ඇත. ඔහු පසුගිය වසර දෙකකට ආසන්න කාලය පුරාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර පිතිකරුවන් සමඟ ද කටයුතු කර තිබේ.

වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි දඟපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කළ පියල් විජෙතුංග මහතාගේ කොන්ත්‍රාත්තුව අලුත් නොකරමින්, හිටපු පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන සක්ලේන් මුස්තාක් සමඟ ගිවිසුම් ගත වීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියි.

42 හැවිරිදි පිට දඟපන්දු යවන ක්‍රීඩක මුස්තාක් ටෙස්ට් හා එක්දින කඩුලු 496ක් දවා ගෙන තිබෙන අතර 2019 ලෝක කුසලානය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළේය.

SLC විසින් මෙම පුහුණුකරුවන් පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් විශාල වෙනසකට ලක්වනු ඇති බව නම් නොඅනුමානයි.

ඕස්ට්‍රේලියාවට එරෙහි පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස පළමු සතියේ දී අවසන් වන අතර ඉන්පසුව පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය.

අනාගත පුහුණුකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හි තවත් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<