​ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් ද​?​ සභාපති සහ CEO උත්තර දෙයි

418
Sri Lanka Cricket deny financial instability

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් මාස 9කින් බංකොලොත් වන බවට පසුගිය දා සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත් වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.

ඉන්දීය නිල නොවන මාධ්‍යයක් ඔස්සේ පැතිර ගිය මෙම අසත්‍ය පුවත මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ ද වේගයෙන් පැතිර ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පුවත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් කරන ලද වගකීම් රහිත ප්‍රකාශයක් බව පවසා ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුටත් ආබාධයක්

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන මාර්කස්…

මෙම සිදුවීමේ විනිවිදභාවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, පාර්ශවකරුවන් හා විධායක කමිටුවේ සාමාජිකයන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට ප්‍රවේශ පත්‍ර මිල දී ගත් බව ක්‍රිකට් ආයතනය පවසා ඇත. තවද එසේ ලෝක කුසලානය සඳහා සහභාගි වන නිලධාරීන් තම පෞද්ගලික වියදමින් ඒ සඳහා සහභාගි වන බවත්, විධායක කමිටුවේ සාමාජිකයින්ට තම වියදම සඳහා අනුග්‍රාහකයන් විසින් ගුවන් ටිකට්පත් ලබා දුන් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විදිහට මට වගකීමෙන් කියන්න පුළුවන් අපිට කිසිදු මූල්‍යමය අර්බුදයක් නෑ. මම හා මගේ සියලුම කමිටු සාමාජිකයන් පසුගිය මාස තුන හමාරක කාලය තුල සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව සෑම ගිණුම් කටයුත්තක්ම කරලා තියනවා. 2019 පෙබරවාරි මාසයේ දී අපි කමිටුවට එන විට මූල්‍යමය තත්වය මෙතරම් හොඳට තිබුණේ නෑ. අපි සංවර්ධන කාර්‍යයන් හා අනෙකුත් වියදම් නිසියාකාරව පාලනය කරනවා,. මට සහතික වෙන්න පුළුවන් අපිට කිසිම මූල්‍යමය අර්බුදයක් නෑ. මේ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අපිව හා අපේ කණ්ඩායම අධෛර්යමත් කරන්න දරන උත්සාහයන්. “ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටියා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිම වෙලාවක බංකොලොත් වෙන්නේ නෑ. අපි පසුගිය වසර සමඟ බැලුවම යම් තරමක ආදායමේ අඩුවක් තියනවා ඒත් අපේ මූල්‍යමය තත්වය සතුටුදායකයි. අපේ කමිටුව හැමවෙලේම ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. මේ ප්‍රචාර වල කිසිම සත්‍යතාවයක් නෑ“ ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

මාලිංග හදිසියේ ගෙදර එයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ…

“මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මූල්‍යමය ගැටලුවක් නෑ. නිරන්තරයෙන් පැවැත්වෙන කළමනාකරණ කමිටු රැස්වීම්වල දී මම ඉදිරිපත් කරන වාර්තාව මගින් අපේ වියදම් සියල්ල විනිවිදභාවයකින් හා විධිමත් ගිණුම්කරණයකට ලක්වෙනවා. ඒක තමයි ඒ නිලධාරීන්ගේ වගකීම. ඒක වැරදියට ප්‍රසිද්ධ කිරීම කණගාටුදායකයි. “ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත් බවට පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට හා සියලු පාර්ශවකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය වශයෙන් ස්ථාවර බව එම ආයතනය පවසා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයන් හා එම අනුග්‍රහයන් සම්බන්ධයෙන් පැතිර යන පුවත් ද කිසිදු සත්‍යතාවයකින් තොර බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම්දී ඇත. මෙලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<