ක්‍රිකට් නිලවරණය නියමිත දිනයට පවත්වනවා – ක්‍රිකට් නිසි බලධාරි

156

නියමිත පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 21 වන දින පැවැත්වීමට මේ වන විට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිසි බලධාරි සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසීය.

ඊයේ (12) පස්වරුවේ කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ ඒ සඳහා සියලු කටයුතු මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතින බවයි.

ක්‍රිකට් නිලවරණයට පෙර තවත් නඩුවක්

ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් විචාරකයින්ගේ හා ක්‍රිකට්ලෝලීන් …

ක්‍රීඩා අමාත්‍යාංශය මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සඳහා පත් කෙරුණු අභියාචනා කමිටුව විසින් ගනු ලැබූ තීරණ සමඟ ගොඩ නැගී තිබෙන තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. හිටපු විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් ද සමන්විත වූ ත්‍රිපුද්ගල අභියාචනා කමිටුව විසින් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සභාපති තනතුරට ඉදිරිපත්ව සිටි මොහාන් ද සිල්වා මහතාගේ සහ රවීන් වික්‍රමරත්න මහතාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබුණේ පසුගිය සති අන්තයේ දීයි.

ඉකුත් දා (11) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස ඉදිරිපත් කළ චෝදනා කිහිපයකට ද ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී චූලානන්ද පෙරේරා මහතා පිළිතුරු ලබා දෙන ලදි.

මොහාන් ද සිල්වා පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ විශ්‍රාමලත් විනිසුරුවරයෙකු සහ හිටපු රජයේ සේවකයන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට ක්‍රීඩා නීතියේ සඳහන් අභියාචනා කමිටුවට හිටපු විනිසුරුවන් දෙදෙන් ඇතුළත් කර තොබීම හේතුවෙන් මෙම කමිටුව නීත්‍යානුකූල නොවන එකක් බවයි. කෙසේ වෙතත් ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා පැහැදිලි කළේ අධිකරණ ක්ෂේත්‍රයට අයත් විනිසුරුවන් ද රජයේ සේවකයන් වන බැවින් රජයේ සේවකයන් දෙදෙනෙක් සිටීමේ කොන්දේසිය සම්පූර්ණ වී තිබෙන බවයි.

විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට …

එමෙන්ම අභියාචනා කමිටු තීරණය පිළිබඳ තමන්ට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් ලැබී නොමැති බවට මොහාන් ද සිල්වා මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දුන් ලේකම්වරයා පැවසුවේ සති අන්තය තුළ ක්‍රීඩා අමාත්‍යාංශය තුළ රාජකාරි සහ ලිපි හුවමාරු නොවන බැවින් ඊයේ දිනයේ සියලු ලිපි ලේඛන නිසි අයුරින් යැවීමට කටයුතු  කර ඇති බවයි.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මොහාන් ද සිල්වා පාර්ශ්වය මතු කළ ප්‍රධාන කරුණ වූයේ තමන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවයි. ඊට ප්‍රතිචාර ලෙස ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සහ ක්‍රිකට් ආයතන නිසි බලධාරි චූලානන්ද පෙරේරා මෙලෙස අදහස් පළ කළේ තවමත් කිසිවෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ද මතු කරමිනි.

ඕනෑම කෙනෙකුට නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. සමහර දේවල් තියනවා අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවලට අපිට උත්තර දෙන්න බැහැ. අපිට විශ්වාසයක් තියෙනවා මේ නිලවරණය 21 වැනිදා පවත්වන්නට පුළුවන් කියලා. එහෙමත් නැති වුනෝතින් ICC එකත් එක්ක මේ පිළිබඳ සාකච්ඡා කරලා ඒ පියවර ගන්න අමාත්‍යාංශයට හැකියාව තියනවා.

පසුගිය වසරේ මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අධිකරණ වාරණ නියෝගයක් හේතුවෙන් කල් දමන්නට සිදු වූ අතර වරින්වර කල් යමින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් හොබවන ලද නිසි බලධාරි තනතුරක් යටතේ පරිපාලනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන 21 වැනිදා යි. යම් කිසි හෙයකින් මෙම මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නොහැකි වුවහොත්, මාර්තු 2 වැනිදා ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධානීන්ගේ රැස්වීම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් ද පවතියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<