සිංහ පෝතකයන් කොදෙව් බිමේ අණසක පතුරවයි

3022

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන නිල නොවන (සිව් දින) ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම පාහේ තමන් සතු කර ගන්නට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ජැමෙයිකාවේ ෆ්ලොරන්ස් නගරයේ ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ (20) දිනයට නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු වාසිය සටහන් වුනේ 370ක් ලෙසයි.

දසුන්ගේ ශතකයෙන් පසු පන්දු යවන්නන් වැඩ අල්ලයි

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර දෙවන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය…

මේ තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු 294ට පිළිතුරු ලෙස කොදෙව් ‘ඒ’ කණ්ඩායම  ලකුණු 14ක් ලබා සිටින ලදි. පළමු දිනයේ දඟපන්දු යවන්නන් දැක්වූ දක්ෂතා පිළිබඳ දෙවන දිනයේ උදෑසන ම ශ්‍රී ලංකා ‘ඒ’ නායක ධනංජය ද සිල්වා තැබූ විශ්වාසය ඵල දරන්නට ගත වූයේ පන්දුවාර 6ක් පමණයි. ඊයේ පිටියට පිවිසි සැඳෑ’රක්ෂක පිතිකරු ඩේමියන් ජෙකබ්ස්ගේ ආරක්ෂාව බිඳ දැමූ මාලින්ද පුෂ්පකුමාර ඊළඟ පන්දුවෙන්ම පළමු තරගයේ සාර්ථක පිතිකරණයක යෙදුණු විශාල් සිංග්ගේ කඩුල්ල ද බිඳ හෙලන්නට සමත් විය.

තවත් පන්දුවාර දෙකක ඇවෑමෙන් පළමු දිනයේ පිටියට පිවිසි අනෙක් පිතිකරුවා වූ නායක සාමාර් බෘක්ස් දැවී ගියේ කසුන් රාජිත පන්දුවෙන් එල්ල කළ පීඩනයේ ගොදුරක් ලෙසිනුයි. කඩුලු රකින ක්‍රීඩක ජමාර් හැමිල්ටන් ලකුණු 8ක් ලබා සිටිය දී පුෂ්පකුමාරගේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී යද්දී පළමු තරගයේ ශතක ලාභියා වූ සුනිල් අම්බ්‍රිස්ගේ ලකුණු 29ක ප්‍රතිරෝධය නිමා කරන්නට අසිත ප්‍රනාන්දු කටයුතු කළේ තම පළමු කඩුල්ලේ අයිතිය හිමිකර ගනිමින්.

ලකුණු 69කට කඩුලු 7ක් දැවී තිබූ මොහොතේ පිටියේ එක්වූ රකීම් කෝන්වෝල් සහ ෂෙල්ඩන් කොට්‍රේල් ලකුණු 65ක අගනා සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. කෝන්වෝල් පන්දු 45කින් වේගවත් ලකුණු 46ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟයි. කොට්‍රේල් පන්දු 52ක් පුරා තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 18ක් ලබා ගන්නා ලදි.

මලික් – අසාම් ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!

සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවට සුබ ඵල ගෙන දෙන බවට සැලකෙන සුප්‍රසිද්ධ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) ශ්‍රී ලංකාවට උරුම වූයේ ඉතාමත් දරුණු පරාජයකි.

යලිත් වරක් පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගන්නට සමත් වූ මාලින්ද පුෂ්පකුමාර මෙම සබඳතාව බිඳ දමා කෝන්වෝල් සහ කියොන් ජෝසප් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර, කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ අවසන් කඩුල්ල දවාගත් ෂෙහාන් ජයසූරිය තම පෞද්ගලික කඩුලු එකතුව 2 දක්වා ඉහළ දමා ගන්නට සමත් විය. මේ අනුව කොදෙව් ‘ඒ’ පළමු ඉනිම ලකුණු 137කට සීමා වෙද්දී අගනා පන්දු යැවීමක නිරත වූ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 6ක් බිඳ හෙලන ලදි.

ලකුණු 161 ක වාසියක් සමඟ වුවත් නැවත පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට යලිත් වරක් සිය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැත. සඳුන් වීරක්කොඩි ලකුණු 2කටත්, නායක ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක එක් ලකුණ බැගින් ලබා සිටියදීත් දැවී ගිය අතර රොන් චන්ද්‍රගුප්තගේ දෙවන ඉනිම ලකුණු 14කට සීමා විය.

ලකුණු 38කට කඩුලු 4ක් දැවී තිබූ මොහොතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලබා දුන් ෂෙහාන් ජයසුරිය, රොෂේන් සිල්වා සමඟින් එක්ව 5 වන කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ගොඩනගන ලදි. ෂෙහාන් වේගවත් ලකුණු 32ක් රැස් කිරීමෙන් පසු දුවද්දී දැවී යාමකට හසු විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ශතක ලාභියා වූ දසුන් ශානක, රොෂේන් සමඟින් එක්ව ඉනිම ස්ථාවර කිරීමේ සබඳතාව ගොඩනැගුවේ ඉන් අනතුරුවයි.

කොදෙව් පන්දු යවන්නන් හට තරගයේ පාලනය අතට ගැනීමට ඉඩ ලබා නොදුන් දසුන් පන්දු 85ක් තුල ලකුණු 60ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින්. පළමු  ඉනිමට වඩා සංයමයෙන් යුතුව ගොඩනැගුනු ඔහුගේ පිතිකරණයට නැවතීමේ තිත තැබුවේ සිය තුන්වන කඩුල්ලට හිමිකම් කියූ රකීම් කෝන්වෝල් විසිනුයි. ඒ වන විට රොෂේන් – දසුන් සබඳතාව දැක්වුණේ ලකුණු 106ක් ලෙසින්.

අසිත ප්‍රනාන්දුගෙන් මානුෂීය සත්කාරයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආධුනික පන්දු යවන්නෙක් හට සිය පාවහන්…

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිමේ නැංගුරම බවට පත්වූ රොෂේන් සිල්වා දිනය අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ අගනා ලකුණු 85ක් ලබා ගනිමිනි. පන්දු 145ක් පුරා දිවෙන ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 2කින් වර්ණවත් වී තිබේ. වනිඳු හසරංග ලකුණු 7ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

මේ අනුව දෙවන දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම කඩුලු 6කට ලකුණු 213ක් ලෙස සටහන්ව තිබූ අතර, අද (21) දිනය තුළ පිතිකරණ අංශයෙන් ලැබෙන දායකත්වය මත දඟපන්දු යවන්නට ඉහළ සහයක් ලබා දෙන ට්‍රෙලෝනි තණ තීරුවේ ජයග්‍රහණයක් සොයා ගැනීම සිංහ දෙවන පෙළට එතරම් අපහසු නොවනු ඇති.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 294 (73.3) – දසුන් ශානක 102*,ධනංජය ද සිල්වා – 73, චරිත් අසලංක – 41, රොෂේන් සිල්වා – 30, කියොන් ජෝසප් – 3/32, ඩේමියන් ජෙකබ්ස් – 2/74, රකීම් කෝන්වෝල් – 2/85

කොදෙව් ‘ඒ’ පළමු  ඉනිම – (සියල්ලන් දැවී) – 137 – රකීම් කෝන්වෝල් – 46, සුනිල් අම්බ්‍රිස්  -29, ශෙල්ඩන් කොට්‍රේල් 18, මාලින්ද පුෂ්පකුමාර – 6/52, ෂෙහාන් ජයසුරිය – 2/8

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම – 213/6 – රොෂේන් සිල්වා – 85*, දසුන් ශානක – 60, ෂෙහාන් ජයසුරිය – 32, රකීම් කෝන්වෝල් – 3/70

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවන ඉනිමේ කඩුලු 4ක් අතැතිව කොදෙව් ‘ඒ’ පළමු ඉනිමට වඩා ලකුණු 370ක් ඉදිරියෙන්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<