ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා අස් විය.

වසර 3ක ගිවිසුමක් යටතේ පුහුණුකරු වගකීම බාර ගත්තත්” ඔහු කටයුතු කළේ මාස 15ක කාලයක් පමණි. පසුගිය වසර 07ක (2011 සිට) කාල වකවානුව දෙස හැරී බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාවන් 09ක දී ප්‍රධාන පුහුණුකරුවන් 08 දෙනෙකුගේ (ස්ථිර සහ තාවකාලික) සේවය ලබාගෙන ඇත. නමුත් ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන තුනේ පසුවන දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන කණ්ඩායම්වලට එම කාල වකවානුව තුළම අවශ්‍ය වී ඇත්තේ පිළිවෙළින් පුහුණුකරුවන් 2, 3 හා 5 බැගින් පමණි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ඉතිහාසයේ මතකයේ රැඳුණු තරග 5ක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය…

මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වගකීම දැරූ එම පුහුණුකරුවන් 08 දෙනා සහ ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගත කළ කාලය පිළිබඳ සටහනකි.

ට්‍රෙවර් බේලිස් (2007 අගෝස්තු – 2011 අප්‍රේල්)

Bayliss Image Courtesy of AFP
Bayliss Image Courtesy of AFP

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය දරමින් මහත් ජනාදරයට පත්ව සිටි ටොම් මූඩිගෙන් පසුව 2007 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ට්‍රෙවර් බේලිස් මහතා පත්විය. ඔහු හට පැවරුණු පළමු වගකීම වූයේ එම වසරේ දී ම පැවති පන්දුවාර 20 ලෝක කුසලානය යි.

ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී පළමු වටයෙන් අනතුරුව සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ නමුත් එම වටයේ දී තරගාවලියෙන් ඉවත් වන්නට ඔවුන්ට සිදු විය. ඉන් අනතුරුව බේලිස් යටතේ පැවති පළමු තරගාවලිය වූයේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය යි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජයට පත්විය. ඔහුගේ ධූර කාලය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ දී එංගලන්තය සමඟ පැවති තරග 3ක ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගනිමින් වාර්තා විය.

බේලිස් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස වසර 04ක සාර්ථක ධූර කාලයක් දැරූ බව සඳහන් කළ හැක. ඔහුගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 50%කට ඉහළ තරග ජයග්‍රහණ ප්‍රතිශතයක් පවත්වා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ධූර කාලය අතරතුර යම් කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ සහ එක්දින ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ රැඳෙන්නට ද සමත් විය. එමෙන්ම එම කාල වකවානුව තුළ 2008 වසරේ ආසියානු කුසලානයේ ශූරයින්, 2009 වසරේ පන්දුවාර 20 සහ 2011 වසරේ එක්දින ලෝක කුසලානවල අනු ශූරයින් ලෙස ජයග්‍රහණ ලබා ගන්නට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

2011 වසරේ දී ඔහුගේ ධූර කාලය අවසානයේ ඔහු AFP මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ;

“ඕස්ට්‍රේලියාව වගේ හොඳ කණ්ඩායම් පසුපස ඔවුන් වෙනුවෙන් හොඳ සහ ශක්තිමත් කළමනාකාරිත්වයක් සිටිනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඒ තත්වය වර්ධනය විය යුතුයි. ක්‍රීඩකයින්ට එල්ල වුන බාධා හමුවේ වුවද ඔවුන් තරගවල දී දක්‍ෂතා දක්වපු ආකාරය පිළිබඳව මම පුදුමයට පත්වෙනවා. මට හිතෙන විදහට ඒක මේ කලාපය තුළ තිබෙන ගැටලුවක්. නමුත් ක්‍රීඩකයින් ඉතාම දක්‍ෂයි. සමහර අවස්ථාවල දී කණ්ඩායමේ නායකයාට ක්‍රිකට්වලට කිසිදු සම්බන්ධයක් නැති ගැටලුවලට පවා මුහුණ දෙන්න සිදු වෙනවා.”

එම ප්‍රකාශයෙන් පැහැදිලි වන කරුණක් වන්නේ බාහිර බලපෑම්වලින් ශ්‍රී ලංකා කණ්ඩායමට කාලයක් පුරාවට ගැටලු ඇතිවෙමින් පැවති බවයි.

ස්ටුවර්ට් ලෝ (2011 මැයි – 2011 ජුනි)

Law Image Courtesy of AFP
Law Image Courtesy of AFP

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු පිතිකරුවෙක් වූ ස්ටුවර්ට් ලෝ 2009 වසරේ සිට බේලිස් මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඒ අනුව 2011 වසරේ අප්‍රේල් මාසයේ දී බේලිස්ගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ලෝව පත්කරන ලදි.

ඔහු එම ධූරයට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් කැලඹීමකට ලක්ව සිටි අවස්ථාවකය. ඒ 2011 එක්දින ලෝක කුසලානයෙන් අනතුරුව මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නායක සහ උපනායක යන ධූරවලින් ඉල්ලා අස්වූයේ අවස්ථාවේ දී ය. කෙසේ නමුත් එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසත්, එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ අතර පැවති එකම පන්දුවාර 20 තරගය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

රුමේෂ් රත්නායක (2011 ජූලි – 2011 අගෝස්තු)

Image Courtesy of AFP
Image Courtesy of AFP

එංගලන්ත සංචාරය සඳහා ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූවත් ලෝව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය නැවතත් හිස්විය.

ඒ අනුව අගෝස්තු මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස උපාලි ධර්මදාසගේ නායකත්වය යටතේ පැවති තාවකාලික කමිටුව විසින් හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වූ රුමේෂ් රත්නායකව පත්කරන ලදි.

තරගාවලිය සාර්ථක කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අසමත් වූ අතර ඔවුන් එක්දින තරගාවලිය තරග 2-3ක් ලෙසත්, ටෙස්ට් තරගාවලිය තරග 0-1ක් ලෙසත් පරාජයට පත්විය. කෙසේ වුවත් එහි දී පැවති පන්දුවාර 20 තරග දෙකම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජෙෆ් මාර්ෂ් 2011 සැප්තැම්බර් – 2012 ජනවාරි)

Image Courtesy of AFP
Image Courtesy of AFP

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා පත්වූ දක්‍ෂතම පුහුණුකරුවන්ගෙන් කෙනෙක් වන ජෙෆ් මාර්ෂ්ගේ කාල වකවානුව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ දක්‍ෂතා දක්වාවි යැයි බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළ නමුත් ඔහුගේ ධූර කාලය මාස 04කට සීමා විය.

මාර්ෂ් සාමාන්‍ය පුද්ගලයෙකු නොවීය. ඔහු අළු බඳුන කුසලානය මෙන්ම ක්‍රිකට් ලෝක කුසලානයත් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙසත් ජයග්‍රහණය කර තිබුණි. ඔහු 2011 වසරේ දී පුහුණුකරු ධූරය සඳහා පත්වෙද්දී එළඹුණු 2013 වසරේ දී අවසාන වීමට නියමිතව තිබූ වසර 2ක ගිවිසුම ඉන් අනතුරුව දීර්ඝ කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටියේ 1999 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණයක් කරා මෙහෙය වූ ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක කුසලාන ජයග්‍රහණයක් කරා මෙහෙය වීමේ අභිප්‍රාය ඇතිවය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ කැලඹීමක් මත 2012 ජනවාරි මාසයේ දී මාර්ෂ් වෙනුවට ග්‍රැහැම් ෆෝඩ්ව එම තනතුර සඳහා පත්කරන ලදි. මාර්ෂ්ගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ටෙස්ට් තරග 5න් 3ක් පරාජය වූ අතර එක් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් විය. කෙසේ වුවත් එම ජය ගත් එක් තරගය සුවිශේෂී එකක් වූයේ එය ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණය වීම නිසාවෙනි.

අනතුරුව ඔහුගේ ගිවිසුම වැරදි ලෙස අවලංගු කිරීම පදනම් කරගෙන මාර්ෂ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගත් අතර අවසානයේ දී ඔහු ක්‍රිකට් ආයතනය සමඟ මූල්‍යමය වශයෙන් එකඟතාවයකට ළඟාවිය. මෙම මූල්‍යමය එකඟතාවේ මුදල් ප්‍රමාණය හෙළිකෙරුනේ නැත.

මෙම ගැටලුව ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා සිටි අනාගත අපේක්ෂකයින්ට ද බලපෑමක් එල්ල කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරු වගකීම බාරගන්නැයි ඉල්ලා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වූ රිචඩ් නික්සන්ගෙන් ඒ පිළිබඳ විමසා සිටි විට ඔහු අයිලන්ඩ් පුවත්පතට පවසා සිටියේ,

“ජෙෆ් මාර්ෂ්ට මුහුණ දීමට සිදුවුණ සිදුවීම මට බලපාපු එක් දෙයක් වුනා.” යනුවෙනි.

ග්‍රැහැම් ෆෝඩ් – පළමු ධූර කාලය (2012 ජනවාරි – 2013 දෙසැම්බර්)

Image Courtesy of AFP
Image Courtesy of AFP

ජෙෆ් මාර්ෂ්ව ඉවත් කරමින් 2012 වසරේ ජනවාරි මාසයේ දී ග්‍රැහැම් ෆෝඩ්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරන ලදි. මාර්ෂ් මෙන්ම ෆෝඩ් ද ඉහළ පෙළේ කණ්ඩායම්වල පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබූ දක්‍ෂ පුහුණුකරුවෙක් විය.

ඔහු හට පැවරුණු පළමු වගකීම වූයේ ඕස්ට්‍රේලියාවේ දී පැවති ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමඟ තුන්කොන් තරගාවලියකි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් දක්‍ෂතා දැක්වූ නමුත් ඔවුන් එහි අවසන් තරග මාලාව තරග 2-1ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

ඔහුගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් වැදගත්ම ජයග්‍රහණය වූයේ 2012 වසරේ පන්දුවාර 20 තරගාවලියේ අනුශූරතාවය ජයග්‍රහණය කිරීමයි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු පන්දුවාර 20 ලෝක කුසලාන ජයග්‍රහණය ඉතා ආසන්නයට ළඟා වන්නට සමත් විය. කෙසේ නමුත් එම ෆෝඩ්ගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 4ක් පමණක් ජයග්‍රහණය කරද්දී තරග 5ක් පරාජයට පත්වූ අතර තරග 4ක් අවසන් වූයේ ජය-පරාජයෙන් තොරව ය.

2013 වසර අවසානයේ දී ඔහුගේ ගිවිසුම දීර්ඝ කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඔහු එංගලන්තය බලා පිටත්ව ගියේ සරේ ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ලෙස වගකීම් බාර ගනිමිනි. 2016 වසර දක්වා එහි පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගන්නා ලදි.

පෝල් ෆාබ්‍රෙස් (2014 ජනවාරි – 2014 අප්‍රේල්)

Image Courtesy of AFP
Image Courtesy of AFP

2014 වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ වගකීම බාර ගත් ෆාබ්‍රේස්ගේ ධූර කාලය තුළ 1996 වසරේ එක්දින ලෝක කුසලානයෙන් අනතුරුව ජයග්‍රහණය කළ ප්‍රථම ලෝක කුසලානය වූ 2014 වසරේ පන්දුවාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් ඔහු ද වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කළේ නැත.

වසර දෙකක ගිවිසුමක් යටතේ ධූරයේ වැඩ බාරගෙන මාස 3ක කාලයක් ඉක්මවා යද්දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහුගේ ඉල්ලා අස්වීම බාරදුන්නේ ඔහුට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ තනතුරක් පිරිනැමීමත් සමඟය. එහි දී ඔහුට ඉහළ වැටුපක් මෙන්ම තමා උපන් රටේ කටයුතු කිරීමට ද අවස්ථාව ලැබෙන නිසා ඔහු එම තනතුර බාර ගන්නා ලදි. කෙසේ නමුත් ඔහුගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 18න් පරාජයට පත්වූයේ එක් තරගයක් පමණක් වන අතර මෙම කාල වකවානුවේ දී කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලානය මෙන්ම ආසියානු කුසලානය ද ජයග්‍රහණය කරන්නට සමත් විය.

මාවන් අතපත්තු (2014 අප්‍රේල් – 2015 සැප්තැම්බර්)

Image Courtesy of AFP
Image Courtesy of AFP

ෆාබ්‍රෙස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව තිබූ  එකම විකල්පය වූයේ එවකට සහාය පුහුණුකරු ධූරයේ කටයුතු කරමින් සිටි මාවන් අතපත්තුව  ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා පත්කිරීමයි. ෆාබ්‍රෙස් හට එම ධූරය ලබා දීමට පෙර ද අතපත්තු පිළිබඳව සලකා බලා ඇත. ඒ අනුව ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ බාර ගත් ඔහු එම තනතුර සඳහා වසර 15කට පසුව පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා විය.

ඔහුගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 16කට පසුව එංගලන්තයේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළේ 2014 වසරේ පැවති එංගලන්ත තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයග්‍රහණය කරමිනි. නමුත් ඉන් අනතුරුව පාකිස්ථානයට සහ ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලි දෙක පරාජය වීමෙන් අනතුරුව 2015 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු ඉල්ලා අස්වීමට හේතුව ඔහු හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ නැත.

ජෙරම් ජයරත්න (2015 සැප්තැම්බර් – 2015 දෙසැම්බර්)

Image Courtesy of AFP
Image Courtesy of AFP

අතපත්තු සිය ධූරයෙන් ඉල්ලා අස්වී දවස් 4ක් ගෙවී යද්දී තනතුර සඳහා තාවකාලික පුහුණුකරුවෙක් ලෙස ජයරත්නව පත්කරන ලදි. ඔහු 2008 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ ප්‍රධානී තනතුර සඳහා පත්කරනු ලැබීය. කෙසේ වුවත් ඒ වන විට බේලිස් යටතේ පැවති ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙම තනතුර යටතට අයත් නොවීය. ඔහු මෙම තනතුර සඳහා පත්කරනු ලැබුවේ නැවතත් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් හෝ චන්දික හතුරුසිංහ එම තනතුර සඳහා පත්කරගන්නා තෙක් ය.

ග්‍රැහැම් ෆෝඩ් – දෙවන ධූර කාලය (2016 ජනවාරි – 2017 ජුනි)Ford-2

ෆෝඩ් දෙවන වරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වගකීම බාර ගත්තේ ඔහු ඒ වන විට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන සරේ කණ්ඩායමේ දැරූ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වෙමිනි. ඔහු ඒ වන විටත් සරේ කණ්ඩායම ප්‍රාන්ත තරගාවලියේ දෙවන කාණ්ඩයේ ශූරතාවය දක්වා මෙහෙය වන්නට සමත්ව තිබුණි.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එළඹුණු ගිවිසුම කල් ඉකුත් වීමට තිබුණේ 2019 වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් අනතුරුව ය. කෙසේ නමුත් ඔහු කටයුතු කළ මෙම මාස 15ක කාලය තුළ ඉහළ දස්කම් දක්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් නොවූ නමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ දී තරග 4-0ක් ලෙස පරාජයට පත්කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වීම අතිශය වැදගත් සිදුවීමක් විය.

ඔහු ඉතා දක්‍ෂ පුහුණුකරුවෙක් ලෙස හිටපු ක්‍රීඩකයින් මෙන්ම වත්මන් ක්‍රීඩකයින් ද ඔහුට ප්‍රශංසා කළ අතර ඔහුට ගැටලු ඇතිවීම ආරම්භ වූයේ අසංක ගුරුසිංහව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රිකට් කළමනාකරු ලෙස පත්කිරීමත් සමඟයි. ඒත් සමඟම ෆෝඩ් ගුරුසිංහට වගකීමට බැඳී සිටි අතර ඒ අනුව ෆෝඩ්ගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වූ කරුණ එය විය. මෙවන් තත්වයක් ඇති වේ යැයි බොහෝ දෙනෙක් ඒ වන විට ද අදහස් දක්වා තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සිදත් වෙත්තමුණි ඒ අතරින් කෙනෙකි. සන්ඩේ ටයිමිස් පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,

“මට හිතෙනවා ගැටලුවක් ඇතිවෙයි කියලා. මම අසංක ගුරුසිංහට පිතිකරුවෙක් වශයෙන් ඉතාමත් ගෞරව කරනවා. නමුත් මම දඹුල්ලේ දී පැවති තරගය (බංග්ලාදේශ කණ්ඩායම සමඟ) බලන්න ගියාම දැක්කා ඔහු පිටිය මැද දී සනත් ජයසූරිය සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් සමඟ කතාබහ කරමින් සිටිනවා. නමුත් මම එතන පුහුණුකරුව දැක්කේ නැහැ. මට ඒ ගැන ගැටලුවක් ඇතිවුණා. දැන් බලන්න, මෙතන ඉන්නවා ක්‍රිකට් පුහුණුකරුවෙක් සහ කළමනාකරුවෙක්. මම දන්නේ නැහැ ඔවුන්ට ඔවුන්ගේ කාර්යයන් හරියට බෙදලා දීලා ද තියෙන්නේ කියලා. මට පේන විදිහට, මම හිතන්නේ ග්‍රැහැම් ෆෝඩ් තවත් වැඩි කාලයක් ඉන්න එකක් නැහැ. කණ්ඩායම පිළිබඳ තීරණ ඔහු වෙනුවට වෙන කෙනෙක් ගන්න එක ගැන ඔහු සතුටට පත්වෙන එකක් නැහැ.”

ඒ අනුව ශූරයින්ගේ කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් දිවයිනට පැමිණීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ පරිදි ෆෝඩ් සිය ඉල්ලා අස්වීම බාර දුන්නේ ය. එයට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනෙක් දක්වා තිබුණේ කණ්ඩායම පිළිබඳ කටයුතුවලට ක්‍රිකට් ආයතනය අනවශ්‍ය ලෙස මැදිහත්වීම බවයි.

ඒ අනුව ෆෝඩ්ගේ නික්ම යාමත් සමඟ හිස් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා නැවතත් තාවකාලික විසඳුමක් ඉදිරිපත් විය. ඒ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කරගෙන සිටි නික් පෝතස්ව කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත්කිරීමයි. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවෙකු සොයමින් සිටියි. නමුත් පසුගිය කාලය පුරාවට සිදු වූ සිදුවීම් හේතුවෙන් කවුරුන් හෝ එම ධූරය බාර ගැනීම සඳහා ඉදිරිපත් වෙයි ද? යන්න පැන නැඟී ඇති ගැටලුවකි.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න