51වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයේ පළමු මට්ටමේ තරග ආරම්භ වීමට තවත් දින කිහිපයක් තිබිය දී මේ විමසුම ශ්‍රී ලංකා යුධ හමුදා පැසිපන්දු කණ්ඩායම් වෙතයි. කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම පළමු මට්ටමේ ශූරතාවයන් සඳහා තරග වදින ශ්‍රී ලංකා යුධ හමුදා පැසිපන්දු කණ්ඩායමෙහි ගෙවී ගිය වසරේ අවසන් භාගයේ දැක්වූ දක්ෂතා ඉහල මට්ටමක පැවතිනි.

නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමඟ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යුධ හමුදා පිරිමි කණ්ඩායම පසුගිය කාලය තුල තරගාවලිය සඳහා හොඳ සූදානමකින් යුතුව තම පුහුණුවීම් කටයුතුවල නිරත වූ බව අපට දැන ගන්නට ලැබුණි.

යුධ හමුදා පිරිමි කණ්ඩායම අවසන් වරට පැවති ආරක්ෂක සේවා පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගුවන් හමුදා පිල ඉදිරියේ අනුශූරතාවය දිනා ගැනීමට සිදු වූ අතර 2016 වසරේ පැවති හර්බට් කුසලාන පැසිපන්දු තරගාවලියේදී ද අනුශූරතාවයෙන් පමණක් සෑහීමට පත්වන්නට සිදුවිය.

මෙවර කණ්ඩායමේ පුහුණුකරු වන හර්ෂ ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ,

Army Men`s Coach“මාස 15ක පමණ කාලයක සිට කණ්ඩායමේ පුහුණුකාරධූරයට පත්වන්නට මා හට අවස්ථාව හිමි වුනා. කණ්ඩායමක් වශයෙන් අවසන් තරගාවලීන් දෙකේදීම අනුශූරතාවයෙන් සෑහීමට පත්වෙන්න සිදුවුනත්, මෙවර තරගාවලියට කණ්ඩායමක් වශයෙන් හොඳ සුදානමකින් පසුවෙනවා”

තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ “ඉදිරිපෙළ  ක්‍රීඩකයින්ගෙන් වැඩි ලකුණු රැස්කිරීම පිලිබඳව අත්හදා බලමින් සිටින බවත් එය කණ්ඩායමට පහසුවක් වන බවයි”.

අසංක සුවාරිස් අප වෙත මෙසේ අදහස් දැක්විය.

Asanka Suwaris”තරගාවලියට අපේ කණ්ඩායම සුදානමින් සිටිනවා. ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් ලකුණු රැස්කිරීම කණ්ඩායමක් වශයෙන් අපට වාසිදායක වන නිසා තරගාවලියේ ඉදිරියට යාමට අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක තිබීම හොඳ අවස්ථාවක් වේවි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට. පසුගිය කාලය පුරාවටම කණඩායමක් වශයෙන් පුහුණුවීම් වල නිරත වීම අපට විශාල පහසුවක් වුනා.”

මෙවර තරගාවලියට එක්වන පිරිමි කණ්ඩායම පන්දු විදීම අතින් ඉතා ඉහල ස්ථානයක සිටින අතර ඉදිරි පෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ඔවුන්ට වාසිදායක වනු ඇත. පන්දු නැවත හැරවීම් (Turn-overs) ප්‍රමාණය වැඩි වීම කණ්ඩායමේ ඉදිරි ගමනට බාධාවක් වනු නොඅනුමානයි.

ගෙවී ගිය තරගාවලීන් තුල යොවුන් ක්‍රීඩක නිචුල ලියනගේ, පවන් ගමගේ හා ලක්ෂිත කෞශල්‍යය යන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දක්ෂතා කැපී පෙනුණු අතර මෙවර කණ්ඩායමේ නායකයා මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩක අසංක සුවාරිස්ගේ මගපෙන්වීම කණ්ඩායමට විශාල වාසියක් වනු ඇත.

මෙවර තරගාවලියට එක්වන යුධ හමුදා පිරිමි කණ්ඩායම මෙසේය,

අසංක සුවාරිස් (නායක), ශ්‍රියන්ත පෙරේරා, කෙවින් විවෙක්ෂන්, සංජන සෙනරත්, පවන් ගමගේ, නිචුල ලියනගේ, යසන්තික ප්‍රේමලාල්, ජීවන් අභයරත්න, හර්ෂ රාජපක්ෂ, ලක්ෂිත කෞශල්‍යය, ආලෝක කමතෙවත්ත, චන්දිම විජේතිලක, ඩිලාන් සම්පත්, හර්ෂ ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), චමත් පුෂ්පකුමාර(සහය පුහුණුකරු)

පිරිමි කණ්ඩායමට නොදෙවෙනි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන යුධ හමුදා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ නවක මුහුණු රැසක්ද සමඟිනි.

තරගාවලියට එක්වන කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක රොෂාන් රන්දිම මහතා තරගාවලිය පිළිබඳව මෙසේ අදහස් දැක්විය.

Army Women`s Coach“අප මෙවර තරගාවලියට එක්වන්නේ නවක ක්‍රීඩිකාවන් රැසක් සමඟයි. පාසල් කණ්ඩායම් නියෝජනය කරමින් මෑතකදී පාසල් හැරගිය ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේ දායකත්වය අපට මෙවර හිමිවෙනවා. කණ්ඩායමක් ලෙස ඉතා ඉහල මට්ටමකට පැමිණෙන්න උත්සහ කරන සමයක මෙම ක්‍රීඩිකාවන්ගේ එක්වීම කණ්ඩායමේ අනාගතයට හොඳ ආයෝජනයක් වේවි, තරගාවලිය දෙස බැලූ විට අනෙක් කණ්ඩායම් වලට හොඳ අභියෝගයක් වීමට අපි සුදානම්.”

තරගාවලියට එක්වන කාන්තා කණ්ඩායමේ නායකත්වය මෙවර හිමිව ඇති තිලිනි චන්දිමා මෙසේ අප වෙත අදහස් දැක්විය.

Army Women`s Captain“තරගාවලියට එක්වන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම අබාධ වලට ලක්වීම කණ්ඩායමක් විදිහට අපට විශාල පාඩුවක්. නමුත් නවක ක්‍රීඩිකාවන් ගැන අපිට විශ්වාසය තැබිය හැකියි. කණ්ඩායමක් වශයෙන් පුහුණුවීමට ලැබුණු කාලය අඩු වුවත් තරගාවලියට හොඳ සුදානමකින් පසුවෙනවා. අපගේ ප්‍රධනාතම බලාපොරොත්තුව මෙම තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමයි.”

ආක්‍රමණශීලි අන්තයේ වේගවත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන යුධ හමුදා ක්‍රීඩිකාවෝ ලකුණු 3 ලබා ගැනීම් අතින් ද ඉහල ස්ථානයක සිටි නමුත් කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේම අඩුව කණ්ඩයමේ ඉදිරි ගමනට බලපාන අතර නැවත ලබා ගැනීම් (rebounds) අවම වීම ලකුණු ලබා ගැනීමට ඇති දෙවන අවස්ථාවන් අවම කරයි.

මෙවර තරගාවලියට එක්වන යුධ හමුදා කාන්තා කණ්ඩායම මෙසේය,

තිලිනි චන්දිමා (නායිකා), හර්ෂනී දිලිනි (උප නායිකා), කෙයාෂා සිරිවර්ධන, මෙලීසා දුනුවිල, යසාරා සිරිවර්ධන, ශෝබා විමලදාස, ඇන්ද්‍රියා ෆොන්සේකා, ජීවතාසන් තුෂානන්දනී, දිලන්ජලි සමරසේකර, නදීෂා, කුනතීපා ඉලගේශ්වරන්, චලනි රසිකා, රොෂාන් රන්දිම (ප්‍රධාන පුහුණුකරු), සුරංග කොඩිකාර (සහය පුහුණුකරු)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<