තරගාවලියේ තෙවන දිනයේ මූලික වටයේ තරග 6ක් පැවැත්වුණු අතර ඉන් තරග තුනක් හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේ දී පැවැත්විය. මෙම තරග වලින් ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකම ජය ගැනීමට සමත් වීම විශේෂ සිදුවීමක් වූ අතර අනෙක් තරගයේ ජය කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට හිමිවිය.  

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team. Place your vote and make your team the Peoples Team of the championship.

ගුවන් හමුදාව හා මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායම අතර තරගය

තරගය ආරම්භයේ සිටම තරගය තම පාලනයට ගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් මඩකලපු ක්‍රීඩකයින්ට තම සුපුරුදු රිද්මයට පැමිණීමට අවස්ථාවක් නොදෙන ලදී. මෙහිදී මඩකලපු කණ්ඩායමේ ආරක්ෂාකාරී අන්තයේ දුර්වලතා කැපී පෙනුණු අතර ගියවර ශූරයන් දිගින් දිගටම ලකුණු රැස් කිරීමට සමත් වීම මඩකලපු කණ්ඩායමට හිසරදයක් වූ බව පෙනුණි.

තරගයේ පළමු අර්ධය ලකුණු 48-21ක් ලෙස නිමා විය.

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩයම් දෙකම ලකුණු රැස් කිරීමේ අවස්ථා මඟ හරවා ගත් අතර අවසන් කාර්තුවේ නැවත තරගයට එළඹීමට මඩකලපු කණ්ඩායම උත්සහ දැරුවත් තරගය අවසන් වූයේ ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 21 පහසු ජයක් හිමිකර දෙමිනි.

තරගය අවසානයේ ලකුණු සටහන ලකුණ 76-57ක් ලෙස දිස්විය.


ගුවන් හමුදා කාන්තා පිල හා කොළඹ දිස්ත්‍රික් කාන්තා පිල

දිනයේ දෙවන තරගය ලෙස පැවති ගුවන් හමුදා කාන්තා පිල හා කොළඹ දිස්ත්‍රික් කාන්තා පිල අතර තරගය තරමක් උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගයේ ආරම්භය ගුවන් හමුදා කණ්ඩායමට ඉතා සුබදායක වූ අතර ඔවුන්ගේ වේගවත් ලකුණු ලබා ගැනීමේ ප්‍රතිඵලය ලෙස ලකුණු 8ක පරතරයක් පළමු කර්තුවේදීම ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 30-21ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පෙරමුණ ගනිමිනි.

තරගයේ දෙවන අර්ධය පළමු අර්ධයට වඩා තරගකාරී වූ අතර කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන් තරගයේ පෙරමුණ ගැනීමට උත්සහ කල අතර එය සාර්ථක කරගැනීමට ප්‍රබල ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැත.

කෙසේ වෙතත් තරගයේ ලකුණු පරතරය අඩු කිරීමට මෙහිදී කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන් සමත් වූ අතර තරගයේ අවසන් විනාඩි 2 තුල ගුවන් හමුදා ක්‍රීඩිකාවන් දියත් කල ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව ප්‍රතිවාදීන්ගේ ලකුණු ලබා ගැනීම සීමා කිරීමට සමත් වූ අතරම තරගයේ ජය ඔවුන්ට හිමි කර දීමට ද  සමත් විය.

තරගය අවසානයේ ලකුණු සටහන ලකුණු 44-39ක් ලෙස දැක්විය.


කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම

දිනයේ අවසන් තරගය පිරිමි අංශයේ එකක් වූ අතර එහිදී කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම තරග වැදුණි. ගම්පහ කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු තරග දෙකම තියුණු සටනකින් පරාජයට පත්වීම ඔවුන්ට පීඩනයක් ගෙන දුන් බව නොරහසකි.

කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම තම පළමු තරගයේ දී පාසල් කණ්ඩායම ලකුණු 66-51ක් ලෙස පරාජයට පත් කරන ලදී.

තරගයේ ආරම්භය තරමක් උණුසුම් වූ අතර කණ්ඩයම් දෙකම කරට කර තරගයක නිරත වූ බව පෙනෙන්නට විය. නමුත් දෙවන භාගයේ අවසන් කොටසේ දී තරගය සෙමෙන් තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ තරගය ලකුණු 16කින් පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වීමයි.

තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු සටහන 29-13ක් ලෙස දැක්විය.

ලකුණු රැස් කිරීමේ දී ගම්පහ කණ්ඩායම එතරම් දක්ෂතා නොපෙන්වූ අතර කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම කෙමෙන් තරගයේ අණසක තමන් සතු කර ගැනීමට සමත් විය. තරගය නිමාවූයේ තරගාවලියේ තෙවන පරාජයත් ගම්පහ කණ්ඩායමට හිමිකර දෙමිනි.

තරගය අවසානයේ ලකුණු සටහන 57-32ක් ලෙස දිස්විය.

Photos : Senior Nationals Basketball 2017