තරගාවලියේ තෙවන දිනයේ තවත් තරග 3ක් කොළඹ පොලිස් පැසිපන්දු පිටියේ දී පැවැත්වුනු අතර මෙම තරගවලදී වෙළඳසේවා කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කණ්ඩායමත්, වෙළඳසේවා කාන්තා කණ්ඩායමට එරෙහිව යුධ හමුදා කාන්තා කණ්ඩායමත් තරග වැදුණු අතර දිනයේ අවසන් තරගය සත්කාරක පොලිස් පිල හා හම්බන්තොට කණ්ඩායම අතර පැවැත්විය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team. Place your vote and make your team the Peoples Team of the championship.

වෙළඳසේවා කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කණ්ඩායම

වෙළඳසේවා කණ්ඩායම තමන් තරගාවලියේ මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කරමින් පොලිස් පැසිපන්දු පිටියේ දී පැවති පළමු තරගය සඳහා පිවිසුණු අතර නාවික හමුදා කණ්ඩායම ගම්පහ කණ්ඩායම ඉදිරියේ ජයග්‍රහණය වාර්තා කර තිබුණි.

මෙවර ශූරතාවය දිනා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පල කරන වෙළඳසේවා කණ්ඩායම තරගයේ පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 7කින් තරගයේ පෙරමුණ ගත්තේ නාවික හමුදා කණ්ඩායම පීඩනයට ලක් කරමිනි.

තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 40-26ක් ලෙස වෙළඳසේවා කණ්ඩායම ප්‍රබල තත්වයකට ඔසවා තබමිනි.

කෙසේ වෙතත් තෙවන කාර්තුවේ දී තරගයට අවතීර්ණ වූ නාවික හමුදා ක්‍රීඩකයින් වෙළඳසේවා ආරක්ෂක අන්තය ඉදිරියේ ලකුණු රැස්කිරීමට සමත් වූ අතර නාවික හමුදා පිලේ ලහිරු පෙරේරා හා අසංක මහේෂ් යන ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය.

ලහිරු පෙරේරාගේ වැඩිමල් සොහොයුරු චරිත් පෙරේරා පසුගිය තරගවාරයන් වලදී  නාවික හමුදා කණ්ඩයම නියෝජනය කල අතර මෙවර වෙළඳසේවා කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිස සිටියි.

තරගයේ අවසන් කාර්තුවේ දී ලකුණු පරතරය අඩු කිරීමට යොවුන් නාවික හමුදා පිල සමත් වුවත්, තම අත්දැකිම් ප්‍රයෝජනයට ගත් වෙළඳසේවා ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 2ක් පමණක් ලබා දෙමිනි.

තරගය අවසානයේ ලකුණු සටහන 77-64ක් ලෙස දැක්වුණු අතර නාවික හමුදාව වෙනුවෙන් ලහිරු පෙරේරා ලකුණු 24ක් ලබා ගන්නා ලදි.


Photo : Senior Nationals Basketball Championship 2017

වෙළඳසේවා කාන්තා කණ්ඩායමට එරෙහිව යුධ හමුදා කණ්ඩායම

මෙවර තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන වෙළඳසේවා කාන්තා පිල තම ප්‍රබලත්වය මානව පෙන්නුම් කල තරගයක් ලෙස මෙය හැඳින්විය හැක.

තරගයේ පළමු කාර්තුවේ මිනිත්තු 5ක් ගත වන තෙක් යුධ හමුදා ක්‍රීඩිකාවන්ට කිසිදු ලකුණක්  රැස් කිරීමට මෙහි දී වෙළඳසේවා කණ්ඩයම ඉඩ ලබා නොදුන් අතර කාර්තුව අවසන් වූයේ ලකුණු 18-05ක් ලෙස වෙළඳසේවා ක්‍රීඩිකාවන් පෙරමුණේ තබමිනි.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු සටහන 35-12ක් ලෙස දිස්විය.

තරගයේ සම්පුර්ණ පාලනය වෙළඳසේවා ක්‍රීඩිකාවන් සතු වූ අතර යුධ හමුදා පිල වෙනුවෙන් අවසන් කාර්තුවේ දී කෙයාෂා සිරිවර්ධන ලකුණු 6ක් රැස් කිරීමට සමත් වුවත් එය පරාජයෙන් ගැලවීමට ප්‍රමාණවත් නොවීය.

යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් J. තුෂාන්දනී ලකුණු 15ක් වාර්තා කල අතර ජයග්‍රාහී වෙළඳසේවා කණ්ඩායම වෙනුවෙන් කුමරින් ද සිල්වා ලකුණු 16ක් රැස් කරන ලදි. ඇය 2010 වසරේ මෙන්ම 2012 වසරේ ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයේ කාන්තා අංශයේ දක්ෂතාම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 54-31ක් ලෙස වාර්තා විය.


සත්කාරක පොලිස් පිල හා හම්බන්තොට කණ්ඩායම

පැවති අවසන් තරගය මෙය වූ අතර පොලිස් කණ්ඩායම තමන් සහභාගී වූ පළමු තරගය ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියේ පරාජය වූ අතර දෙවන තරගය මඩකලපු කණ්ඩායම හමුවේ ජයග්‍රහණය කරන ලදි. අනෙක් අන්තයෙන් තමන් සහභාගි වූ පළමු තරගය යුධ හමුදා කණ්ඩායම මතුවේ පරාජය වීමට හම්බන්තොට ක්‍රීඩකයින්ට සිදු විය.

තරගයේ පළමු අර්ධය තරමක් තරගකාරී වූ අතර දෙපිලටම තරගය දෝලනය වන බවක් පෙනෙන්නට විය. පළමු කාර්තුව ලකුණු 15-10ක් ලෙස ජය ගන්නට හම්බන්තොට පිල සමත් වුවත් තම සත්කාරක ක්‍රීඩා පිටියේ තරග වැදුණු පොලිස් කණ්ඩායම තරගයේ දෙවන භාගය වන විට පෙරමුණ ගැනීමට සමත් විය.

එහිදී ලකුණු සටහන 30-27ක් ලෙස දැක්විය.

දෙවන අර්ධයේ තමන් ක්‍රීඩා කල රිද්මය තරමක් අඩාල කල හම්බන්තොට ක්‍රීඩකයින් සෙමෙන් තරගය තම පාලනයට යටත් කරගැනීමට සමත් විය. මෙහිදී හම්බන්තොට පිල වෙන්වෙන් මිතිල අබේසිංහ හා ඉසුරු පෙරේරාගේ ක්‍රීඩා විලාශය ඉස්මතු වූ අතර හම්බන්තොට කණ්ඩයමේ ප්‍රධානම අවිය වන රොෂාන් රන්දිම මෙහිදී අගනා සහයක් ලබාදෙන ලදී.

පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ අඩුපාඩු හේතුවෙන් අවසන් කාර්තුවේ දී තරගය ඔවුන් අතින් ගිලිහෙන්නට වූ අතර තරගය හම්බන්තොට පිල ජය ගත්තේ මෙවර තරගාවලියේ ප්‍රථම ජයත් සමඟයි.

තරගය අවසානයේ ලකුණු සටහන 66-48ක් ලෙස දැක්විණි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට