පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමු, 27 වෙනි වරට පැවැත්වීමට නියමිතව තිබූ වෙළඳසේවා ලීග් පැසිපන්දු තරගාවලිය, ජුලි මස දෙවන සතියේ දී පැවැත්වීමට තීරණය කර ඇත. වෙළඳසේවා ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන් කාර්යාල තුළින් ඈත්වී එකිනෙකා සමඟ කරට කර තරග වැදීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල තතු විත්ති සොයා බලමු.

කුසලානය හඹා යන DFCC කණ්ඩායම

වෙළඳසේවා පැසිපන්දු තරගාවලියේ 27 වන පරිච්ඡේදය ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණි..

තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පිරිමි කණ්ඩායම් 6ක් සහ කාන්තා කණ්ඩායම් 3ක් තරග වැදීමට නියමිතයි. ඒ අනුව එම කණ්ඩායම් 9 අතරින් කොමර්ෂල් ක්‍රෙඩිට් කාන්තා කණ්ඩායම දෙස අපි හැරී බලමු.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පසුගිය වසරේ පැවති තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහි දී අවසන් මහා තරගයේ දී ඔවුන් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හමුවේ පැවති තරගය පරාජයට පත්විය. මෙම වසරේ දී ද තරගාවලිය සඳහා ඔවුන් හොඳ සූදානමකින් පසුවන අතර පුහුණුවීම් කටයුතු ද සාර්ථකව සිදු කිරීමට ඔවුන් සමත්ව ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම මීට මාස තුනකට පමණ පෙර සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරන ලදි. මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම දක්ෂතාවලින් සපිරි තරුණ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වන නිසා සැලකිය යුතු කාලයක් සඳහා පුහුණුවීම් කටයුතුවල නිරත වීම ඔවුන්ට ඉතා වැදගත් කාරණයක් විය. ඒ නවක ක්‍රීඩිකාවන් තරග ජයග්‍රහණය කිරීමට හැකි වන පරිදි සූදානම් කළ යුතු වීම නිසාය. ඒ අනුව ඔවුන් දිගු කාලීන පුහුණු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.

Peoples Team of the MSBA League 2017 – Vote

The 27th Edition of the Mercantile Basketball League will commence during the third week of June.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හට උස අවාසියක් වී ඇති නිසාවෙන් පුහුණුවීම් කටයුතුවල දී ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ ඔවුන්ගේ වේගය වැඩිදියුණු කර ගැනීමටයි. උස අවාසියක් වුවත් ඉක්මනින් ආරක්ෂක උපක්‍රම සහ ප්‍රහාරක උපක්‍රම අතර මාරු වීමට හැකි වීම තුළින් ඔවුන්ට ප්‍රතිවාදී කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැක.

තරගාවලිය සඳහා අවශ්‍ය කුසලතාවන් වැඩිදියුණු කර ගැනීමට අමතරව ඔවුන් තරගාවලිය සඳහා මානසික වශයෙන් ද සුදානම් වී ඇත. ඒ අනුව ඔවුන් ක්‍රියාත්මක කළ දිගු කාලීන පුහුණු සැලැස්මේ එක් අරමුණක් වූයේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම් හැඟීම ඉහළ නැංවීමයි. තරුණ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වන කණ්ඩායමක් වන නිසා තරගවල දී එකිනෙකා අතර හොඳ විශ්වාසයක් පැවතීම තරග ජයග්‍රහණය කිරීමට මහත් රුකුලක් වනු ඇත.

කොමර්ෂල් ක්‍රෙඩිට් කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ගයාන් මීදෙණිය මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

coach“මම කාන්තා කණ්ඩායමක් පුහුණු කරන්න බාර ගත්තේ අවුරුදු 19කින් පසුවයි. මෙතරම් කාලයක් මම පුහුණු කළේ පුහුණු කණ්ඩායම්. නමුත් කණ්ඩායම තරගාවලියට හොඳ සූදානමකින් පසුවන නිසා මේක එතරම් අපහසු කාර්යයක් වෙන එකක් නැහැ. පසුගිය වසරේ තරගාවලියේ දී හොඳින්ම ක්‍රීඩා කරන්න නොහැකි වුනත් අපි මෙවර සෑම පැතිකඩකින්ම වගේ ගොඩක් ඉදිරියට ඇවිත් තියෙන්නේ. විශේෂයෙන් මානසික වශයෙන්. කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පසුගිය කාලය පුරාවට ගොඩක් මහන්සි වුන නිසා අපි දැන් හොඳ තත්වයක සිටිනවා. ඒ වගේම කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවක්ම වගේ එක සමාන දක්‍ෂතා මට්ටම්වල සිටීම අපේ කණ්ඩායමට ලොකු වාසියක්.”

තුෂානි රාජපක්ෂ කොමර්ෂල් ක්‍රෙඩිට් කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන අතර ඇයට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන ප්‍රසාදි ඩි කෲස්ගේ සහයෝගය අතිශය වැදගත් වනු ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රසාදි සතුව ඇති ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට තරග ජයග්‍රහණය කිරීමට වැදගත් වනු නොඅනුමානයි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කාන්තා කණ්ඩායමේ නායිකා තුෂානි රාජපක්ෂ ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසුවේ;

Thushani Rajapakse“අපේ කණ්ඩායම සතුව ඇති විශාලම ශක්තිය තමයි අපේ පුහුණුකරුවා සහ කණ්ඩායම තුළ තිබෙන ජවය. ඒ වගේම අපේ කණ්ඩායම තුළ සිටින නවක ක්‍රීඩිකාවන්ගේ වේගය හොඳ මට්ටමක පැවතීම කණ්ඩායමට තවත් වාසියක්. ඒ අනුව අපේ කණ්ඩායම සමබර කණ්ඩායමක් කියලා කියන්න පුළුවන්. මට විශ්වාසයි මෙම තරගාවලියේ දී අපි ක්‍රීඩා කරන සෑම තරගයක දී ම ලොකු වෙනසක් කරලා අපිට තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්න හැකි වෙයි කියලා.”

හොඳ සූදානමකින් පසුවන නිසා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට තරගාවලියේ දී දක්ෂතා අතරට පැමිණීමට හැකි වනු ඇතැයි අනුමාන කළ හැක. ඔවුන් සතුව ඇති එකම අවාසිය අත්දැකීම් අඩු මට්ටමක පැවතීම වන අතර එම අඩුව සිදු කළ පුහුණුවීම් කටයුතු නිසා එතරම් බලපෑමක් එල්ල නොකරනු ඇත. මන්ද, හොඳ සූදානමකින් පසුවන කණ්ඩායමක් සෑම විටම පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් වන හෙයිනි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කාන්තා පැසිපන්දු කණ්ඩායම: තුෂානි රාජපක්ෂ (නායිකාව), ප්‍රසාදි ඩි කෲස්, දෙව්නි කෞෂල්‍යා, ඈන් ස්ටෙෆනි, ඉෂිකා ඇලස්, ඈන් මෙලීසා, කෞෂිකා වර්ණසූරිය, මාෂා පල්ලවල, අංජලී පෙරමුණගම, වින්ද්‍යා ජයසිංහ, අනූපමා වෙද්ගොදර

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<