පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු 27 වෙනි වරට පැවැත්වීමට නියමිතව තිබූ  වෙළඳසේවා පැසිපන්දු ලීග් තරගාවලිය ජුනි මස දෙවන සතියේ දී පැවැත්වීමට තීරණය කර ඇත. වෙළඳසේවා ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන් කාර්යාල තුළින් ඈත්වී එකිනෙකා සමඟ කරට කර තරග වැදීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල තතු විත්ති සොයා බලමු.

තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පිරිමි කණ්ඩායම් 6ක් සහ කාන්තා කණ්ඩායම් 3ක් තරග වැදීමට නියමිතයි. ඒ අනුව එම කණ්ඩායම් 9 අතරින් හැටන් නැෂනල් බැංකු පිරිමි කණ්ඩායම දෙස අපි හැරී බලමු.

සෙලාන් බැංකු කාන්තා කණ්ඩායම සූදානමින්

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු, 27 වෙනි වරට පැවැත්වීමට නියමිතව තිබුණු වෙළඳසේවා පැසිපන්දු ලීග් තරගාවලිය ජුනි මස දෙවන සතියේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පසුගිය වසරේ පැවති තරගාවලියේ දී අර්ධ අවසන් වටයේ තරගය එක් ලකුණකින් පරාජය වීම නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ අනුව පසුගිය වසර දෙකේ දී ම පැවති තරගාවලිවල දී හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට අවාසනාවන්ත ලෙස අර්ධ අවසන් වටයෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. මෙවර තරගාවලිය සඳහා ඔවුන්ට නිරන්තරයෙන් පුහුණුවීම් සැසි පැවැත්වීමට නොහැකි වුවත් පසුගිය වසරේ සිදු වූ අඩුපාඩු සාදා ගනිමින් මෙවර තරගාවලියට හොඳින් මුහුණ දීමට ඔවුන් සූදානමින් පසුවෙයි.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම වසර 4-5ක පමණ කාලයක් සඳහා එකට ක්‍රීඩා කළ කණ්ඩායමකි. එමනිසා නිතර පුහුණුවීම් කටයුතුවල නිරත වීමට අපොහොසත් වීම ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර පවතින අවබෝධයට සහ එකමුතුකමට ප්‍රබල බලපෑමක් එල්ල නොකරනු ඇත. පසුගිය අවුරුදු කිහිපය පුරාවටම හැටන් නැෂනල් කණ්ඩායමේ විශේෂත්වය වූයේ ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව වන අතර මෙම වසරේ දී ද එම ක්‍රීඩා රටාව ඒ ආකාරයටම ක්‍රියාවට නැංවෙන බව නොඅනුමාන ය.

කෙසේ වුවත් නිතර පුහුණුවීම් කටයුතු සිදු කිරීමට නොහැකි වීම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය කෙරෙහි බලපෑමක් එල්ල කරනු ඇත. ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන අනෙක් කණ්ඩායම් සමඟ සංසන්දනාත්මකව බැලූ කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය තරමක් පහළ මට්ටමක පවතියි. එමනිසා ඔවුන් පුහුණුවීම් කටයුතුවල දී වැඩි අවධානයක් යොමු කරනු ලැබුවේ ඔවුන්ගේ කුසලතාවන් ඉහළ නංවා ගැනීමට සහ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවෙන ක්‍රියාකාරකම්වල නිරත වීමට ය.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන අවධානය යොමු කළ විට ඔවුන් සතුව ශක්තිමත් කණ්ඩායමක් සිටින බව පැහැදිලි වේ. එමනිසා තරග අතරතුර දී ක්‍රීඩකයින් ආදේශ කිරීම තුළින් සහ ක්‍රීඩකයින් මාරු කිරීම තුළින් ඔවුන්ගේ කණ්ඩායම තුළ පවතින දුර්වලතාවය වන ක්‍රීඩකයින්ගේ අඩු ශාරීරික යෝග්‍යතා මට්ටමට පිළියම් යෙදීමට හැකි වනු ඇත. ඒ අනුව තරගාවලියේ සෑම තරගයක දී ම පාහේ ඔවුන්ට එම උපක්‍රම අතිශය වැදගත් වනු ඇත.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ නායක මහීල් එගොඩලොවත්ත ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසුවේ,

HNB Basketball Captain“පසුගිය වසරේ තරගාවලියේ දී අපි අර්ධ අවසන් තරගය පරාජයට පත්වුණේ එක ලකුණකින්. එමනිසා හොඳින් ක්‍රීඩා කරලා මෙම වසරේ දී තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන්න අපි බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමට ජාතික තලයේ පුහුණුකරුවෙක් සිටීම අපගේ ඉලක්කයට යන්න උදව් වේවි. පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගත් කණ්ඩායම කාණ්ඩ තරග වටයේ දී පරාජයට පත්කරන්න අපිට පුළුවන් වුනා. එමනිසා පැවැත්වෙන තරගවල දී අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළොත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්න බැරි වෙනත් කිසිදු හේතුවක් මම දකින්නේ නැහැ. කෙසේ වුවත් අපිට ෆෙයා ෆස්ට් කණ්ඩායම වැනි කණ්ඩායම්වලින් අනිවාර්යයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වෙයි.”  

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ පුහුණුකරු ප්‍රසන්න ජයසිංහ මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අපිට මේ වෙනකන් නිතර නිතර පුහුණුවීම් කටයුතු සිදු කරන්න හැකි වුණේ නැහැ. නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයින් දැන් මහන්සි වෙලා පුහුණුවීම් කටයුතු සිදු කරනවා. විශේෂයෙන් ඔවුන් තුළ පවතින අඩුපාඩු හදා ගන්නත්, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවාගන්නත් ඔවුන් මහන්සි වෙනවා. තරගාවලිය සඳහා සහභාගී වන අනෙක් කණ්ඩායම් අපිව අවතක්සේරු කළත් අපි හැමවෙලේම ඔවුන්ට හොඳ තරගයක් ලබා දීලා ඔවුන්ව පුදුම කරන්න සමත් වුනා. මෙම වසරේ දී තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන්න නම් අපිට අපේ ලකුණු ලබා ගැනීමේ අවස්ථා සාර්ථක කර ගැනීමේ ප්‍රතිශතය වැඩි දියුණු කර ගන්න සිදු වෙනවා. ඒක එතරම් අපහසු කාර්යයක් නෙමෙයි. ඒ වගේම කණ්ඩායම තුළ අපිට හොඳ ආදේශක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුත් සිටිනවා. තරගයේ ආරම්භක ක්‍රීඩකයින් 5 දෙනාට මහන්සි වූ විට අපිට ඔවුන්ව ආදේශ කරන්න පුළුවන්. මෙවර තරගාවලිය තුළ දක්ෂ, සමබර කණ්ඩායම් කිහිපයක්ම සිටියත් අපි හිතනවා මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබන්න අපිට හැකි වෙයි කියලා.”

හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ පුහුණුකරු ප්‍රසන්න ජයසිංහ මහතා ක්ෂේත්‍රය තුළ අත්දැකීම් බහුල පුද්ගලයෙක් වන අතර ඔහු පසුගිය දා අවසන් වූ SABA ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ පසුගිය වසරේ දී පැවති වයස අවුරුදු 18න් පහළ ආසියානු කාන්තා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. ඒ අනුව ඔහු සතුව ඇති ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් හේතුවෙන් තරග අතරතුර දී එක් එක් අවස්ථාවට ගැළපෙන පරිදි කණ්ඩායමේ අවශ්‍ය වෙනස්කම් සිදු කරන්නට ඔහු සමත් වන බව නොඅනුමාන ය.

හැටන් නැෂනල් බැංකු පිරිමි පැසිපන්දු කණ්ඩායම: මහීල් එගොඩලොවත්ත (නායක), තමීන්ද්‍ර ප්‍රනාන්දු, තිලාන් චන්දන, නිමේෂ් ප්‍රනාන්දු, නිමේෂ් කාවින්ද, ලක්ෂාන් කුලතුංග, ෂෙහාන් උදයංග, විජය බාස්කර්, නිපුන් ලක්‍ෂිත, හිරාන් විජේසූරිය, රොෂාන් රන්දිම, ඉසුරු පෙරේරා

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට