තරගාවලියේ දෙවන දිනයේ (29) සවස ද මූලික වටයේ තවත් තරග 3ක් පැවැත්වුනු අතර එම තරග වලින් ජයග්‍රහණය ලබා ගැනීමට පොලිස්, ගුවන් හමුදා සහ යුද හමුදා පැසිපන්දු කණ්ඩායම් සමත් විය.

දෙවන දිනයේ දී ගුවන් හමුදාවට තියුණු ජයක්

හර්බර්ට් කුසලාන පැසිපන්දු තරගාවලියේ දෙවන දිනයේ (29) උදෑසන තරග ආරම්භ කරමින් පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම තරග බිමට පිවිසුණි. මෙතෙක් තරගාවලිය තුල පැවති තීරණාත්මකම…

පොලිස් කණ්ඩායමට එරෙහිව බැටික්ලෝ බ්ලු කණ්ඩායම

පොලිස් කණ්ඩායම තමන් සහභාගී වූ තරග 2න් එකක් ජයගෙන ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියේ ලකුණු 2කින් පරාජයට පත් විය. අනෙක් අන්තයෙන් බැටික්ලෝ බ්ලු පිල තමන් සහභාගි වූ තරග 2කම පරාජය වීම ද කැපී පෙනෙන්නට විය.

තරගයේ පළමු කාර්තුව තුල දී පොලිස් කණ්ඩායම තම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ව විවේක ගන්වන ලදි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් සත්කාරක පිල තම ලකුණු රැස් කිරීම නොනවත්වා සිදු කිරීමට සමත් වූ අතර තරගයේ පීඩනය පොලිස් කණ්ඩායම දෙසට යොමු කිරීමට ද සමත් විය.

පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 12 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවන්නට කණ්ඩායම දෙකටම හැකි විය.

දෙවන කාර්තුවේ ද පොලිස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් හමුවේ ලකුණු ලබා ගත් බැටික්ලෝ බ්ලු කණ්ඩායම තරගයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය.

දෙවන කාර්තුවේ අවසන් බාගයේ තරගයට අවතීර්ණ වූ පොලිස් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් පීඩනය තරමක් පාලනය කර ගන්නට සමත් වුවත්, පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 35-31ක් ලෙස බැටික්ලෝ කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

මෙහිදී #10 ක්‍රීඩක උගන්තන්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනුණු අතර පොලිස් කණ්ඩායම වෙනුවෙන් #11 ක්‍රීඩක අරුල්ගේ දක්ෂතා ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රශංසාවට ලක්විය.

කෙසේ වෙතත් නැවතත් තම රිද්මයට පැමිණි පොලිස් කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුවත් සත්කාරක කණ්ඩායම දිගින් දිගටම ලකුණු රැස්කිරීම පොලිස් කණ්ඩායමට හිසරදයක් විය. එසේම #5 ක්‍රීඩක ඇන්ටෝගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය.

තරගයේ අවසන් ලකුණු සටහන 69-58ක් ලෙස දිස්වූයේ පොලිස් කණ්ඩායමට වසර 4කට පසු හර්බට් කුසලාන අවසන් පූර්ව තරගයකට දොර විවර කරමිනි.

තරගයෙන් අනතුරුව පොලිස් කණ්ඩායමේ නායක J. ජයසුන්දර අප වෙත අදහස් දැක්විය,

“2013 තරගාවලියෙන් පස්සේ හර්බර්ට් කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසීම අපට ලැබුණු හොඳ අවස්ථාවක්, කණඩායමක් විදිහට අපි මෑත කාලයේ දක්ෂතා අතින් පසු බැසීමක් තිබුනත් අපි කණ්ඩායමක් විදිහට දැන් හොඳින් ක්‍රීඩා කරනවා. අවසන් මහා තරගයට පිවිසීම අපේ ප්‍රධානතම අරමුණයි.”


ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව මුතුවාල් කණ්ඩායම

ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම තමන් සහභාගී වූ තරග දෙකම ජය ගැනීමට සමත් වූ අතර මුතුවාල් කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය විය.

කෙසේ වෙතත් ආරම්භයේ සිටම මුතුවාල් ක්‍රීඩකයින්ට ලකුණු රැස්කිරීමට ඉඩ ලබා නොදුන් ගුවන් හමුදා ක්‍රීඩකයින් ආරම්භයේ දී ම ලකුණු 17ක් ලබා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 2ක් පමණක් ලබා දෙමිනි.

මෙහිදී #14 ඔසද උමයංගගේ ලකුණු 3 විසි කිරීම් කැපී පෙනෙන අවස්ථාවක් විය. නමුත් නැවතත් ජවයකින් යුතුව තරගයට අවතීර්ණ වූ මුතුවාල් ක්‍රීඩකයින් තරගයේ පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 25-12ක් ලෙස ලකුණු පරතරය අඩු කිරීමට සමත් විය.

කෙසේ වෙතත් නැවත තරගයට අවතීර්ණ වූ කණ්ඩායම් දෙකම තම කණ්ඩායම ජයග්‍රහණයට ගෙන යාමට වෙර දරනු දක්නට ලැබුණි. තරගයේ ලකුණු පරතරය වැඩි වුවත් මුතුවාල් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩාශීලීත්වය අගය කළ යුතුය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට 39-22ක් ලෙස තම ජය තහවුරු කර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

තරගයේ අවසන් ලකුණු සටහන 71-42ක් වශයෙන් දැක්විය.

තරගයෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ ගුවන් හමුදා කණ්ඩායමේ නායක ග්‍රේෂන් අන්තෝනි පවසා සිටියේ,

“අපි කණ්ඩායමක් ලෙස 51 වැනි ජාතික ශූරතාවය දිනා ගත්තා, ඒ නිසා මෙම තරගාවලිය ජය ගන්න අපි හොඳ මානසික මට්ටමකින් ඉන්නවා.”

මුතුවාල් කණ්ඩායමේ සහය පුහුණුකරු රොෂේන් ස්ටිල්මන් මෙසේ අදහස් දැක්විය.

“ගුවන් හමුදාව ඉතාමත් හොඳ කණ්ඩායමක්, තරගාවලිය තුල අපිට මෙවර හොඳ ගමනක් යන්න තිබුණු අවස්ථාව නැති වී ගියා, අපි ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඉදිරියටත් කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.”


යුද හමුදා කණ්ඩායමට එරෙහිව බැටික්ලෝ රෙඩ් කණ්ඩායම

තරගාවලියේ ඉදිරියට යෑමට කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජය වැදගත් විය. තරගය ආරම්භයේ දී ම තම ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මැද ක්‍රීඩා කළ සත්කාරක පිල ලකුණු 6ක් ලබා ගත්තේ ප්‍රතිවාදී යුද හමුදා පිලට කිසිදු ලකුණක් හෝ ලබා නොදෙමිනි.

නමුත් තම දක්ෂතා උපයෝගී කර ගත් යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 10-9ක් ලෙස පෙරමුණ ගනිමින් තරගයේ පළමු කාර්තුව අවසන් කරන්නට සමත් විය.

දෙපැත්තට දෝලනය වෙමින් තිබූ තරගය තරමක් හෝ තම අණසකට ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වුවත් ඇතැම් අවස්ථා වල දී බැටික්ලෝ කණ්ඩායමේ වේගවත් ක්‍රීඩා රටාව දරා ගත නොහැකි වූ බවක් යුද හමුදා පිලෙන් දිස් විය.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධයේ ලකුණු සටහන ලකුණු 32-22ක් ලෙස දැක්වූයේ යුද හමුදා ක්‍රීඩකයින් ඉදිරියෙන් තබමිනි.

තරගයේ තෙවන කාර්තුව ආරම්භයේ දී ම ඉක්මන් ලකුණු 8ක් සත්කාරක පිල ලබා ගත්තේ ප්‍රතිවාදී යුද හමුදා ක්‍රීඩකයින්ට ලකුණු දෙකක් පමණක් ලබා දෙමිනි. කෙසේ වෙතත් යුද හමුදා ක්‍රීඩක සංජන සෙනරත්ගේ දක්ෂතා හේතුවෙන් නැවතත් ලකුණු තත්වය ලකුණු 48-35ක් ලෙස වර්ධනය කර ගැනීමට යුද හමුදා පිල සමත් විය.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 57-79ක් ලෙස දිස්වූයේ යුද හමුදා පිලේ ඉදිරි ගමන ස්ථාවර කරමින් පමණක් නොව මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ගණන ද වාර්තා කරමිනි.

තරගයෙන් අනතුරුව යුද හමුදා කණ්ඩායමේ නායක ඩිලාන් සම්පත් අප වෙත මෙසේ අදහස් දැක්විය.

”අප අර්ධ අවසන් පූර්ව වටයේ දී පොලිස් කණ්ඩායම පරාජය කරන්න බලාපොරොත්තු වෙනවා, තරගාවලියේ ශූරතාව දිනා ගැනීම අපේ අරමුණයි.”

මේ අනුව A කාණ්ඩයෙන් ගුවන් හමුදා කණ්ඩායම හා පොලිස් කණ්ඩායමත්, B කාණ්ඩයෙන් යුද හමුදා කණ්ඩායම හා යාපනය කණ්ඩායමත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට