පසුගිය දා අති සාර්ථකව අවසන් වූ 6 වන හ’බර්ට් කුසලාන පැසිපන්දු ශූරතාවය මඩකලපුව සාන්ත මයිකල් විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. පැසිපන්දු ක්‍රීඩාව කොළඹට පමණක් සීමා වීමේ අවදානමක් ඇති සමයක ලංකා සිතියමේ අනෙක් කෙළවරට ක්‍රීඩකයන් රැගෙන ගොස් තරගාවලියක් ක්‍රීඩා කරවීමට හැකි වීම ම භාග්‍යයට කරුණක් බව පසක් කළ යුතුයි.

හර්බර්ට් කුසලානය ගුවන් හමුදාවට

සාන්ත මයිකල්ස් විදුහල් පරිශ්‍රයේ පැවති 6 වන හර්බර්ට් අනුස්මරණ කුසලාන පැසිපන්දු තරගාවලිය අතිඋත්කර්ෂවත්..

Basketball 1උණුසුම් දේශගුණයක් සහිත පරිසරයකින් සමන්විත වන මඩකලපුව හා බැදුණු පැසිපන්දු ඉතිහාසය, ඊටත් වඩා උණුසුම් බව සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට පැසිපන්දු ක්‍රීඩාව හඳුන්වා දී වසර 100ක් ගත වන මොහොතක මෙම විමසා බැලීම මඩකලපුව හා බැදී පැසිපන්දු ඉතිහාසය හා එහි ඇති සබැඳියාවයි.

තරගාවලිය අතරතුර අපට හිටපු මයිකල්ස් විද්‍යාලයේ හිටපු පැසිපන්දු පුහුණුකරු මැල්කම් ඩෙලීමා මහතා සමඟ පිළිසඳරක යෙදෙන්නට අවස්ථාව හිමි විය. මයිකල්ස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් මෙන්ම පසුව පොලිස් කණ්ඩයම නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් දිනා ගත් එතුමා මෙහි දී අප සමඟ සිය මතකය ආවර්ජනය කළේ මෙලෙසයි.

“1948 දී පූජක මිලර් හා පූජක රීමන්ඩ් දෙදෙනා මයිකල්ස් විද්‍යාලයට පැමිණීම අපි ලබපු ලොකු භාග්‍යයක්. රීමන්ඩ් පූජකතුමා මයිකල්ස් විද්‍යාලයේ පුහුණුකරු තනතුර භාර ගැනීම අපට තවත් වැදගත් සිදුවීමක් වුනා. මයිකල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ  ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් 1950 වසරේ ජාතික ශූරතා පැසිපන්දු තරගාවලියේ අනුශූරතාවයට පත් වීම අපට ඉදිරියට යන්න ලොකු උදව්වක් වුනා, නමුත් කණ්ඩායම ක්‍රීඩා කළේ නැගෙනහිර පළාත නියෝජනය කරමින්.”

තවදුරටත් අදහස් දක්වමින් එතුමා මෙසේ ප්‍රකාශ කළේය.

Basketball 3“හ’බර්ට් පියතුමාගේ සමයේ මයිකල්ස් කණ්ඩායමට මෙන්ම මඩකලපුවටත් ලොකු කීර්තියක් ගෙන දෙන්න සමත් වුනා, අපට පුළුවන් වුනා පාසල් පැසිපන්දු ඉතිහාසය කණපිට පෙරළන්නට, ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා ගන්නට. මේ හැම අවස්ථාවකම මඩකලපු ජනතාව අපිට ශක්තියක් වුනා, සමහර අවස්ථාවල දී අවසන් මහා තරග පවා පරාජය වුනත් ඔවුන් අපේ පිටිපස්සෙන්ම වගේ හිටියා. අපිට මතකයි පළමු වෙනි වෙබර් කුසලාන තරගාවලිය මඩකලපුවේ පැවැත්වූ අවස්ථාව. පාසලම පිරෙන්නට අපිට සහයෝගය දක්වපු පිරිස හිටියා. නමුත් අද වන විට පාසල් කණ්ඩායමේ දක්ෂතා එතරම්ම හොඳ මට්ටමක නැති නිසා ඒ පිරිස තරමක් අපෙන් ගිලිහි ගිහින් තියෙනවා.”

වර්තමානය තුල ප්‍රධාන පැසිපන්දු කණ්ඩායම් කිහිපයකම මයිකල් ආදී ශිෂ්‍යයින් ක්‍රීඩා කරනු අපට දැක ගත හැකියි. එයිනුත් තිමති නිතුෂන් ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනයට අවස්ථාව උදා කර ගත් අතර අවසන් වරට පැවති 51 වන ජාතික ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගත් ගුවන් හමුදා කණ්ඩායමේ ඇන්තනි වෙනිටෝ හා ශ්‍රීතසාන් ශ්‍රී යන ක්‍රීඩකයන් ද මයිකල්ස් විද්‍යාලයේ සිප් සතර හැදෑරූ වූවන් බව සිහි කළ යුතුයි.

Basketballමෙහි දී ඇන්තනි වෙනිටෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් අතර ශ්‍රීතසාන් ශ්‍රී නිමා වූ සාග් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා පැසිපන්දු සංචිතයට ඇතුළත් වී සිටීම ද ඔවුන්ගේ දක්ෂතා මැනවින් කියාපායි.

මෙවර තරගාවලියේ අවසන් තරග නැරඹීම සඳහා ද සැලකිය යුතු ජනකායක් පැමිණ සිටි අතර ප්‍රවේශ පත්‍ර පවා ලබාගෙන මෙම තරග නැරඹීම සඳහා ඔවුන් පැමිණීම අගය කළ යුතුයි.

අවසන් වශයෙන් තරගාවලියේ සංවිධායක කමිටුවේ සාමාජික වල්ලුවන් මහතා අප වෙත මෙසේ අදහස් දැක්විය.

Basketball 3“තරගාවලියක් මඩකලපුව ප්‍රදේශයේ සූදානම් කරන කොට ගැට‍ළු රාශියකට මුහුණ දෙන්න වෙනවා, නමුත් තරගයක් බලන්න එන පිරිස අඩු වීම ගැන අපිට කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. මොකද තමන්ගේ නගරයේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා බලන්න ඉස්සර ඉඳල ම මේ පිරිස එනවා. අපිට ඕනේ අපේ පාසල් කණ්ඩායම තව ඉදිරියට ගේන්න. එ්කට දැනටමත් ගොඩක් අය උදව් කරනවා. කොළඹ ඉන්න අපේ ආදී ශිෂ්‍යයන් හැමෝම උදව් කරනවා, තව පැසිපන්දු ක්‍රීඩා කළ ආදී ශිෂ්‍යයන් හැමදෙනාම වාගේ අපට උදව් කරනවා. පාසල් කණ්ඩායමේ පසුබෑම හදාගෙන 80 දශකයේ වගේ දක්ෂතා දක්වන්න තමයි අපි උත්සහ කරන්නේ.”

කෙසේ වෙතත් පාසල් පැසිපන්දු ඉතිහාසය උඩු යටිකුරු කළ මයිකල්ස් කණ්ඩායමට නැවත තම දක්ෂතා අතරට එන්නට අවස්ථාව ලැබෙන බව අපට තරගාවලිය තුල දී පෙනෙන්නට වූ කරුණක්. එයට හේතුව මඩකලපු ජනතාව ඔවුන් පසුපසින්ම සිටීමයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට